අද යුගයේ බොහෝ දෙනා සොයා බලන කරුණ වන්නේ රටකට උචිත හොඳ ම ක්‍රමවේදය හොඳ ම රාජ්‍ය පාලනය සහ මාර්ග සිතියම බවත්, ඊට පැහැදිලි පිළිතුර වන්නේ මැද මාවත හෙවත් තුන්වැනි මාවත බවත්, මෙය සමාජයට ඇති එකම විකල්පය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති, ආචාර්ය ඩන්ස්ටන් ප්‍රනාන්දු විසින් ලෙනාඩ් වුල්ෆ් සම්බන්ධයෙන් රචනා කරන ලද කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
ජනතාව ගේ අර්ථසාධකයටත් පිට්පොකට් ගැසූ යුගයක් තිබුණා
''මේ මැද මාවත තුළ සැවොම බෙදාගත් හා ඇතුළත් කර ගත් සෞභාගයක් නිර්මාණය වෙනවා. වර්ධනය ගැන කතා කරන විට සැවොම ඇතුළත් කර ගත් වර්ධනයක් විය යුතු යි. පසුගිය කාලයේ රට බංකොලොත්භාවයට ලක්ව ගොඩ ඒමට විවිධ ප්‍රයත්න දරන විට ජාත්‍යන්තර මූලය ආයතනවලට වහල්වී සාතිශය බහුතරයක් සාමාන්‍ය ජනතාව, වැඩකරන ජනතාව මැද පන්තිය පසෙකලා ලුම්පන් ධනවාදය තුළ ගජමිතුරු ධනවාදය රජකරවන ජාත්‍යන්තර ගිවිසුම්වලට ගොස් අහිංසක වැඩකරන ජනතාව ගේ අර්ථසාධකයට පවා පිට්පොකට් ගැසූ යුගය අමතක කළ නොහැකි යි. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේ දී බිලියනපතියන් පොහොසතුන් බේරා වැඩකරන ජනතාව බිල්ලට දුන්නා.
ලෙනාඩ් වුල්ෆ් ගෙන් පාඩම් රැසක් උගත හැකියි

ලෙනාඩ් වුල්ෆ් අධිරාජ්‍යවාදී පාලකයකු වුවත්, නැති බැරි අය ඇති හැකි අය කරන න්‍යාය ක්‍රියාත්මක කර වැව් පද්ධතිය සංවර්ධනය කළා. අද රටක් ලෙස විශේෂයෙන් ම අවදානම්භාවයේ අන්තයට ගොස් ඇති මොහොතක මේ අවදානම්භාවය එක්සත් ජාතීන්ගේ සංවිධානය හඳුන්වන්නේ බහුමානය දරිද්‍රතාව ලෙස යි. පාස්කු ප්‍රහාරයේ සිට දිට්වා සුළි කුණාටුව දක්වා වූ ව්‍යවසන රැසකට අප රට මුහුණ දුන්නා. ඒ අතර මැදපෙරදිග යුද්ධයේ අභියෝගයට ද මුහුණ දෙන්න සිදුව ඇති නිසා මේ අවස්ථාවේ අප ජනතා කේන්ද්‍රීය වී ජනතා සහභාගීත්වය උනන්දු කළ යුතු යි. එහි දී ලෙනාඩ් වුල්ෆ් මහතාගෙන් පාඩම් රැසක් ගෙන ගැනීමට තිබෙනවා. පවතින ජනප්‍රිය මතය වන්නේ අධිරාජ්‍යවාදය තුළ ලෝකය පුරාවට ම අධිරාජ්‍යවාදයට යටත්වූ රටවල් බොහෝ විට ගසාකෑමට සූරාකෑමට ලක්වෙමින්, ඒ රටවල්වල සම්පත් අහිමිවෙමින්, අධිරාජ්‍යවාදී ක්‍රමවේද තුළ ලෝකයේ බොහෝ යටත්විජිත රාජ්‍යයන්වල ජනතාව මුහුණ දුන් ඛෙදනීය තත්ත්වයන් ගැන අමිහිරි ඉතිහාසය ගැන විවිධ මතිමතාන්තර යි. ඒ අධිරාජ්‍යවාදී පාලනය තුළ නිලධාරියකු ලෙස කාර්යභාරයන් රැසක් ඉටු කළ ලෙනාඩ් වුල්ෆ් මහතා බොහෝ අවස්ථාවල දී ජනතා කේන්ද්‍රීය සංවර්ධනයකට ප්‍රගතිශීලී දියුණුවකට ජනතාවත් තමා ජීවත් වූ බල ප්‍රදේශයත් යොමු කරන්න උත්සුක වුණා.
නව ලිබරල්වාදී ලුම්පන් ධනවාදය තවත් අන්තවාදයක්
ලෝකයේ අද බොහෝ විට දක්නට ලැබෙනනේ විවිධ න්‍යායන් මත ක්‍රියාත්මක සංවර්ධන ක්‍රියාවලි. ඉහළ සිට පහළ දක්වා ගලා එන විවිධ නම්‍යශීලී නොවන න්‍යායන් තුළ නිර්මාණය වූ එක්තරා පෙළැන්තිවාදයකට ලක්වූ න්‍යායන් ලොව පුරා දක්නට ලැබෙනවා. රාජ්‍ය පමණක් වැඩකටයුතු කරන න්‍යායන්, සමාජවාදී ක්‍රමවේද තුළ අන්ත සමාජවාදයට යාම, මධ්‍යගතවීම රාජ්‍ය තුළ ක්‍රියාත්මක වී රටත් ජනතාවගේත් සුබසිද්ධිය මේ රාජ්‍ය තීන්දු කරනවා. එක් අන්තයක ඒ දේ දකින විට තවත් අන්තයක එක්තරා ගජමිතුරු කණ්ඩායම් අන්තවාදී ධනවාදී ක්‍රමවේද අනුගමනය කරමින් ගජමිතුරු ධනවාදය ක්‍රියාත්මක නිදහස් වෙළෙපොළ බලවේගවල නාමයෙන් උග්‍ර පොහොසතුන් සුපිරි පොහොසතුන් බවට පත් කිරීමත් දුප්පත් ජනතාව අන්ත පතුලට පත් කරන නව ලිබරල්වාදී ලුම්පන් ධනවාදය තවත් අන්තවාදයක්. සැබවින්ම රටක් ගොඩනගන්න දියුණු කරන්න යා යුතු හා යා හැකි එකම මාවත මැද මාවත යි; එය තුන්වැනි මාවත යි. මේ තුන්වැනි මාවතේ ප්‍රධාන ම ලක්ෂණයක් වන්නේ සහභාගීත්ව සංවර්ධනය යි. ලෙනාඩ් වුල්ෆ් ගේ පසුකාලීන ක්‍රියාකාරකම් දෙස බලන විට ජනතා මූලික ජනතාව මුල්කර ගත් ජනතා කේන්ද්‍රීය ජනතාව විසින් නායකත්වය ලබා දෙන සංවර්ධන ක්‍රමවේද මේ ලෙනාඩ් වුල්ෆ් චරිතයේ දක්නට ලැබෙනවා. මේ වැඩපිළිවෙළ තුළින් ඔහු: වාරි, කෘෂිකර්මාන්ත, පාසල්, සෞඛ්‍ය ආදී ක්ෂේත්‍ර දියුණු කර ජනතාවට සෙත සලසන, ජනතාවට ප්‍රතිලාභ ලැබෙන ජන මුල සංවර්ධන වැඩපිළිවෙළක වැදගත්කම පෙන්වා දුන්නා.''

