පූජිතගේ පෙත්සමේ කරුණු බරපතලයි !

පූජිතගේ පෙත්සමේ කරුණු බරපතලයි !

ජනාධිපති සිරිසේන ඇතුළු මෙරට ජාතික ආරක්ෂාව සම්බන්ධව කටයුතු භාර ආරක්ෂක ප්‍රධානීන්ගේ බරපතල නොතකා හැරීම හේතුවෙන් පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට තිබූ අවස්ථාව අහිමිවී ඇති බවට ප්‍රබල චෝදනාවක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත්ව ඇති බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

මේ වන විට ජනාධිපති සිරිසේන විසින් අනිවාර්ය නිවාඩු යවා තිබෙන පොලිස්පති පූජිත ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අතුරු තහනම් නියෝගයක් ඉල්ලා ගොනුකර ඇති පෙත්සම උපුටා දක්වමින් ඔවුන් මේ බව පෙන්වා දෙයි.

ලංකා ඉතිහාසයේ නොවූ දෙයක් !

සිවිල් ආරක්ෂාව සම්බන්ධව බලතල ඇති පොලිස්පතිවරයා ජාතික ආරක්ෂක කවුන්සලයට නොකැදවා තිබීම දැන හෝ නොදැන ජන ජීවිතය අනතුරේ හෙලීමක් බවත් ඒ හරහා මේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගවීම ලංකා ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් බවත් ඔවුන් පෙන්වා දෙයි.

දේශපාලන විචාරක අදහස වන්නේ මෙතරම් බරපතල චෝදනාවක් ගම්‍ය වන ආකාරයට පොලිස්පතිවරයකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇත්තේ ප්‍රථම වතාවට බවය.

ඒ අනුව මතුව ඇති තත්ත්වය දේශපාලන විචාරකයන් විසින් මෙසේ විග්‍රහකොට දක්වයි.

පොලිස්පති නැතුව සිවිල් ආරක්ෂාව සම්බන්ධව කටයුතු කරන්නේ කවුද ?

පූජිත ජයසුන්දර විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම අනූව 2018 ඔක්තොම්බර් මාසයේ සිට පාස්කු ප්‍රහාරය එල්ලවු 2019 අප්‍රේල් 21 ඉරිදා දිනය දක්වා ඔහුව ආරක්ෂක කවුන්සලය සදහා කැදවා නැත.

තමන්ට වරින් වර ඇතැම් බුද්ධි තොරතුරු ලබාදුන්නත් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීම මේ හරහා වැලැක්වීමකට ලක්ව තිබේ.

කෙසේ වුනත් පවතින තත්ත්වය හමුවේ පවා සීමිත තොරතුරු මත පදනම්ව තමන්ට පනවා තිබූ සීමාවන්ට යටත්ව හැකි උපරිමයෙන් ක්‍රියාමාර්ග ගැනීමට පූජිත ජයසුන්දර කටයුතු කර ඇති බවත් පෙත්සමේ සදහන් කර ඇත.

බුද්ධි ප්‍රධානියා සහ ආරක්ෂක ඇමැති අතර සම්බන්ධයක් නැද්ද ?

පූජිත ජයසුන්දර සිය පෙත්සමේ සදහන් කරන ආකාරයට රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ වශයෙන් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සෘජුව ජනාධිපතිට වාර්තා කර තිබේ.

මේ අතර ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් 09 වනදා පැවති සාකච්ඡාව සදහා පොලිස්පති සහභාගීව ඇත.

අන්තවාදී ඉස්ලාම් කොටස් විසින් ප්‍රහාරයක් එල්ල කරනු ලැබීමේ අනතුර රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ විසින් එහිදී අවධානයට යොමුකර ඇත. නමුත් එහි බරපතලතාවය හා වහාම ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කර නැත.

එසේම එදින හෝ ඊට ආසන්න දිනක ජාතික බුද්ධි අංශ ප්‍රධානි සිසිර මෙන්ඩිස් ලිපියක් යොමුකර ඇති අතර එහි සහරාන් හාෂිම් සහ ඔහුගේ අධාරකරුවන් වෙතින් එල්ලවිය හැකි ප්‍රහාරයක් ගැන සදහන් කර තිබී ඇත.

එහිදී මේ සම්බන්ධව රහස් විමර්ශනක් සිදුවන බවත් අවධානයෙන් සිටීමේ වැදගත්කමත් සදහන් කර තිබී ඇත.

පූජිත ජයසුන්දරගේ රාජකාරිය ඉටුකරලාද ?

ඒ අනුව ක්‍රියාත්මක වී ඇති පොලිස්පති පූජිත ජයසුන්දර මේ කාරණය,

* බස්නාහිර පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ,

* අපරාධ , සංවිධානාත්මක අපරාධ , මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශය, විශේෂ කාර්‍ය බලකාය භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් ,

* ප්‍රභූ ආරක්ෂක අංශයේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක,

* ත්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි වරුණ ජයසුන්දර

යන පොලිස් ප්‍රධානීන් වෙත දන්වා ඇත

එසේම පූජිත ජයසුන්දර ගොනුකළ මේ පෙත්සමට අනූව 2019 අප්‍රේල් 9 සහ 10 යන දින වල පළාත් 9 ම භාරව සිටින ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දුරකථනයෙන් දැනුවත් කිරීමට ද ඔහු කටයුතු කර තිබේ.

තවද 2019 අප්‍රේල් 18, 19,20 යන දින වල තව්හිද් ජමාත් සංවිධානය සම්බන්ධ ලිපි 3ක් රාජ්‍ය බුද්ධි සේවය වෙතින් යොමුකර ඇති අතර එහි වැඩිදුරටත් විමර්ශන සිදුකරන බව අවධාරණය කර තිබී ඇත. නමුත් කිසිදු උපදෙසක් හෝ ක්‍රියාමාර්ගයක් එයින් ඉල්ලා නැත. පූජිත ජයසුන්දර පෙත්සමේ සදහන් කර ඇත්තේ එම ලිපි තම දැනගැනීමට පමණක් එවා ඇති බවය.

ත්‍රස්ත ප්‍රහාර සුළුකොට තැකීම !

මේ අතර 2019 අප්‍රේල් 20 ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු දුරකථනයෙන් පොලිස්පති අමතා රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන දුන් තොරතුරු ගැන දැනුවත් කර ඇත. පසුව පොලිස්පති පූජිත සහ නිලන්ත ජයවර්ධන දෙවරක් ඒ සම්බන්ධව දුරකථන මාර්ගයෙන් අදහස් හුවමාරු කරගෙන ඇත.

කෙසේ වුවත් 2018 අග භාගය වන විට ජනාධිපති සහ අගමැති අතර සම්බන්ධතා පිරිහීගොස් ඇති බව පූජිත ජයසුන්දර ට අවබෝධ වී ඇති අතර ඒ හමුවේ ඔහු කිසිවෙකුට හෝ පක්ෂග්‍රාහී ලෙස කටයුතු කර නැත.

කෙසේ වුවත් පොලිස්පති පූජිත ජයසුන්දර සිය පෙත්සමේ අවධාරණය කර ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ සියළු අවස්ථා වල බුද්ධි තොරතුරු ජනාධිපති ට දී ඇති බවය.

එසේම අදාල අවස්ථා වලදී පමණක් තමන්ට දැනගැනීම පිණිස බුද්ධි තොරතුරු වාර්තා කර ඇති බවත් අනෙක් කිසිදු අවස්ථාවක බුද්ධි තොරතුරු ගැන දැනුම් දී නොමැති බවත් පොලිස්පති පූජිත සිය පෙත්සමේ සදහන් කර ඇත.

ආරක්ෂක කවුන්සලයේ වැදගත්කම දන්නේ නැද්ද ?

එමෙන්ම ආරක්ෂක කවුන්සලයේ සාකච්ඡා ගැන තමන් දැනුවත් නැති බවත් තීන්දු තීරණ ගැන දැනුවත් බවක් මේ හමුවේ තමන්ට නොමැති බවත් අදාල පෙත්සමේ සදහන් කර තිබේ.

මේ අනූව පොලිස්පති පූජිත ජයසුන්දර සිය ධූරයෙන් අනිවාර්ය නිවාඩු යැවීමට එරෙහිව අතුරු තහනමක් ඉල්ලා ඇති අතර දේශපාලන විචාරකයන් සදහන් කරන්නේ රටේ ජාතික ආරක්ෂාව වෙනුවට ඉතා ග්‍රාම්‍ය තීන්දු තීරණ හේතුවෙන් ජන ජීවිතය අනාරක්ෂිත කර ඇති බවට චෝදනා මේ හරහා ගම්‍ය වන බවයි.

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න