තේරීම් කාරක සභාවෙන් : බුද්ධි අංශ හෝ ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් නෑ - ආශු

තේරීම් කාරක සභාවෙන් : බුද්ධි අංශ හෝ ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් නෑ - ආශු

“මේ රටේ බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ ආරක්ෂා කර ගැනීමේ වගකීම අපට පැහැදිලිවම තිබෙනවා. බුද්ධි අංශවලට සහ ආරක්ෂක අංශවලට හානියක් වන කිසිම දෙයක් මේ කාරක සභාව ඇතුලේ සිද්ධ වෙන්නේ නැහැ, එවැනි දෙයක් සඳහා ඉඩ ලබා දෙන්නෙත් නැහැ” යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශූ මාරසිංහ අවධාරණය කරයි.

මන්ත්‍රීවරයා මේ බව අවධාරණය කළේ පසුගියදා කොළඹදී පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදීය.

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන විමසා බැලීමට පත් කළ විශේෂ තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් ජනමාධ්‍ය දැනුවත් කිරීම සඳහා මෙම සාකච්ඡාව කැඳවා තිබුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පතී වික්‍රමරත්නද මේ අවස්ථාවට එක්ව සිටි අතර මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ආශු මාරසිංහ මන්ත්‍රීවරයා මෙසේ ද සඳහන් කළේය.

"මමත් ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න මහතාත් මේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ තේරීම් කාරක සභාවේ සාමාජිකයින් දෙදෙනකු ලෙස ඒ ගැන අප දෙදෙනාගේ පෞද්ගලික මතය ප්‍රකාශ කිරීමටයි. තේරීම් කාරක සභාව කමිටුව ලෙස මේ සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් කිරීම වැදගත් නමුත් මේ අවස්ථාවේ කමිටු සාමාජිකයින් සියලු දෙනාම ඒකරාශි කරගෙන එය කරන්න අවස්ථාවක් නැති නිසා අපි තීරණය කළා මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වලා මොකක්ද සිද්ධ වුණේ කියන කාරණය පෞද්ගලික මතය හැටියට ඉදිරිපත් කරන්න.

බුද්ධි අංශ හෝ ජාතික ආරක්ෂාවට හානියක් නෑ !

අපේ කමිටුව කටයුතු කළේ, ඉතාම පැහැදිලිව බුද්ධි අංශවලට හෝ ජාතික ආරක්ෂාවට හානියක් නොවන ආකාරයටයි. ඒ විතරක් නොවෙයි, විශේෂයෙන් මාධ්‍ය වාර්තා කරන විට මේ සාක්ෂිකරුවෝ වාර්තා කරන යම් කාරණා හෝ යම් මතය, එය විකෘති කරන අන්දමින් සංස්කරණය කරන්න එපා කියලා අපි මාධ්‍යවලිනුත් ඉල්ලා සිටියා. ඒ නිසා අපි ඉතාම පැහැදිලිව ඉල්ලා සිටියා “සංස්කරණය නොකළ දර්ශන” වාර්තා කරන්න කියලා.

මේ කමිටුව හමුවේ කියවුණ ඇතැම් දේ සංස්කරණය කළොත් විකෘතිවීම් වෙන්න පුළුවන්. වාක්‍ය කිහිපයකින් කියන දේ සංස්කරණය කළොත් එය විකෘති විය හැකියි. ඒ නිසයි අපි සංස්කරණය සම්බන්ධයෙන් විශේෂයෙන්ම ඉල්ලා සිටියේ. ඒ රීතිය ඒ ආකාරයෙන්ම ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අපි මාධ්‍ය ආයතනවලට ස්තුතිවන්ත වෙනවා.

ඒ කමිටුවේදී සාක්ෂි අහපු සෑම අවස්ථාවකදීම අපේ හැම සාමාජිකයෙකුම අදාළ සාක්ෂිකරුවන්ගෙන් ඉල්ලා සිටියා, “ඔබට මේ ප්‍රශ්නයට පිළිතුරු දිය හැකිනම් ඒ පිළිතුරු දියහැකි ආකාරයට පිළිතුරු දෙන්න” කියලා.

වගකීමෙන් විමසුවා : වගකීමෙන් සාක්ෂි දුන්නා !

අපි ඒකෙන් අදහස් කළේ යම්කිසි කාරණයක් මේ අවස්ථාවේ ප්‍රකාශ කළ නොහැකි නම් ඕනෑම වේලාවක අවස්ථාවක් තිබුණා, විශේෂයෙන් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන් දෙදෙනක් වන ආරක්ෂ අමාත්‍යාංශ ලේකම්තුමා සහ බුද්ධි අංශ ප්‍රධානියා ආවා. ඔවුන් දෙදෙනාම බොහොම වගකීමෙන් තමයි කමිටුව හමුවේ උත්තර දුන්නේ.

මේ අවස්ථාවේ තම තමන්ගේ දේශපාලන කෝණවලින් බලලා සමාජ මතයක් හදන්න උත්සාහ කරනවා. මේ කාලේ ලංකාවේ බොහොම ජනප්‍රිය වචන දෙකක්නේ ජාතික ආරක්ෂාව සහ බුද්ධි අංශ අඩපණ කිරීම. ඉතිං මේ වචන දෙක අතර දෝලනය වන, ජාතික ආරක්ෂාව සහ බුද්ධි අංශ ගැන කතා කිරීමට අයිතිය තියෙන්නේ තමන්ට පමණයි කියලා හිතන ඇතැම් දේශපාලනඥයෝ තමන්ගේ දේශපාලන කණ්නාඩිවලින් බලන එක තමයි අපි දැක්කේ.

බුද්ධි අංශ ක්‍රියාකාරකම් ගැන ප්‍රශ්නකර නැහැ !

මේ තේරීම් කාරක සභාව හරහා බුද්ධි අංශ දුර්වල කරන බවට පසුගිය දින කිහිපය තුළ ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය සහ බොහෝ දුරට සමාජ මාධ්‍ය තුළ මතයක් හැදුණා. ඒ නිසා ඉතාම පැහැදිලිව කියන්න ඕනෑ අපි අහපු කිසිම තැනක සඳහන් වෙලා නැහැ අදාළ ප්‍රදේශයේ බුද්ධි අංශ භාර නිලධාරීන් කවුද ? ඒ අය කරන ක්‍රියාමාර්ග මොනවාද ? කොහොම කරන්නේ ?, උදාහරණයක් ලෙස කාත්තන්කුඩි ප්‍රදේශයේ, අපි අහලා නැහැ. එවැනි ප්‍රශ්නයක් අහන්න අපි ඉඩ දෙන්නෙත් නැහැ.

ඒ නිසා වගකිව යුතු මන්ත්‍රීවරු විදිහට අපි ප්‍රකාශ කරන්නේ මේ රටේ බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ ආරක්ෂා කර ගැනීමේ වගකීම අපට පැහැදිලිවම තිබෙනවා. බුද්ධි අංශවලට සහ ආරක්ෂක අංශවලට හානියක් වන කිසිම දෙයක් මේ කාරක සභාව ඇතුලේ සිද්ධ වෙන්නේ නැහැ.
ඇයි මේ කාරක සභාවට විරුද්ධ වෙන්නේ කියලා අපිට සැකයක් තිබෙනවා. මේ කාරක සභාවට මුලින්ම අත්සන් කළේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් බව ඔබ හොඳින්ම දන්නවා. ඒ නිසා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ කාර්යභාරය විය යුත්තේ මේ කාරක සභාව තුළට පැමිණ කටයුතු කිරීමයි. මේ කාරක සභාවට අවශ්‍යයෙන්ම 12 දෙනෙක් සහභාගී විය යුතුයි. දැනට ඉන්නේ නව දෙනයි. අවශ්‍ය නම් ඒ ගණන 15 දක්වා වැඩිකළ හැකි බවට අපි කතානායකතුමා සමග සාකච්ඡා කළා.

මේ සම්බන්ධයෙන් මම ජනතා විමුක්ති පෙරමුණට සහ දෙමළ ජාතික සන්ධානයට ස්තුතිවන්ත වෙනවා. ඔවුන්ට කාරක සභාවට සහභාගී වුණා. දමිළ ජාතික සන්ධානයේ සුමන්තිරන් මන්ත්‍රීතුමා පසුගිය දිනවල විදේශගතව සිටි නිසා සහභාගී වුණේ නැහැ. ඒ නිසා මම කියන්නේ අනෙක් විපක්ෂ මන්ත්‍රීවරුන්ට තාම ඉඩකඩ තියෙනවා මේ කාරක සභාවට එන්න. එළියේ ඉදගෙන තමන්ගේ දේශපාලන කෝණයෙන් මේක බලන්නේ නැතිව මේකට එන්න.

තේරීම් කාරක සභාවේ අපේක්ෂාව !

ඒ වගේම තමයි මේ රටේ ජනතාවට අයිතියක් තියෙනවා අප්‍රේල් 21 සිදුවීම ගැන කලින් දැනුවත්ව සිටියාද, එය වළක්වා ගන්න හැකියාවක් තිබුණාද, එවැනි දැනුවත්වීමක් කර තිබුණා නම් ඇයි එය වළක්වා නොගත්තේ කියන කාරණා දැන ගන්න. ඒ අයිතිය තමයි මේ කාරක සභාව හරහා ජනතාවට ලබා දෙන්න අපි උත්සාහ කරන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ කාරක සභාව හරහා ඉදිරියේදීත් ඕනෑම අවස්ථාවක ආදාළ නිලධාරීන්ට, ආරක්ෂක ලේකම්වරයා කිව්වා වාගේ සාක්ෂි දෙන්න පුළුවන්.

ඒ වගේම යම්කිසි නිලධාරියෙක් මාධ්‍ය නැතිව සාක්ෂි ලබා දෙන්න පුළුවන් යැයි ඉල්ලීමක් කළත් ඒ අවස්ථාවත් ලබාදිය හැකියි. අපි ඒ සියලුම අවස්ථාවන්වලට ඉඩ දෙන්න තමයි මේ කාරක සභාව බොහොම විනිවිදභාවයකින් කටයුතු කරන්න සැලසුම් කළේ.
ජාතික ආරක්ෂාව සහ බුද්ධි අංශ කියන කාරණා දෙක ඉදිරියට ගෙන මේ රටේ ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය නවත්වන්න කිසිවෙකුට අයිතියක් නැහැ.

අපි පසුගිය කාලය පුරාම කතා කළ දෙයක් තමයි, අප්‍රේල් 21 දා ප්‍රහාරයට මේ පාර්ලිමේන්තුවේ 225 දෙනාම වගකිව යුතුයි. අපි හැමදෙනාම වගකීමක් තිබෙනවා, මේ සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් වුණේ කොහොමද ? එහි සිදුරක් නිර්මාණය වුණේ කොහොමද ? ඒවා වසා දමන්නේ කොහොමද ? කියලා දැන ගන්න. ඒ නිසා අපි සියලු දෙනාම මේ වගකීම නිසියාකාරයෙන් අවබෝධකර ගත යුතුයි. මේ කාරක සභාව රටට අවශ්‍යයයි, සියලු දෙනාටම සත්‍ය දැන ගන්න අවශ්‍ය වටපිටාව තමයි අපි මේ නිර්මාණය කරන්නේ.

පාර්ලිමේන්තු ඉතිහාසයේ සුවිශේෂ අවස්ථාවක් !

මේ තේරීම් කාරක සභාව පාර්ලිමේන්තු ඉතිහාසයේ සුවිශේෂ අවස්ථාවක්. මේ කාරක සභාවේ පමණක් නොවෙයි 16ක් පමණ වන සියලුම කාරක සභාවල සිදුවන සිද්ධීන්, නැතිනම් කාරක සභා පැවැත්වෙන ආකාරය අනෙක් රටවල වාගේ ජනමාධ්‍යවලට විවෘත කරන්න කියලා කතානායකතුමාගෙන් අපි ඉල්ලා සිටියා. අපේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් පිටත සුවිශේෂ කාර්යභාරයක් කරනවා. ඒවා කිසිම තැනක වාර්තා වෙන්නේ නැහැ. ඒ නිසාම දෝ සමාජය තුළ, විශේෂයෙන් සමාජ ජාල මාධ්‍යවල කියනවා පාර්ලිමේන්තුව තුළ සිටින 225ම අවශ්‍ය නැහැ, ඒ කට්ටිමයම එළවන්න ඕනෑ, නැතිනම් ගිනිතියන්න ඕනෑ කියලා. මේ කමිටු ඇතුළේ සිදුවන කිසිම දෙයක් ජනතාව දන්නේ නැහැ. රටේ අනාගතය ගැන තීන්දු තීරණ ගන්න ප්‍රතිපත්ති සකස් කරන්නේ මේ කමිටුවලදීයි.

උදාහරණයක් හැටියට අධ්‍යාපනය සම්බන්ධ කාරක සභාව, මම එහි සභාපතිවරයා, අපි අධ්‍යාපනය සම්බන්ධ තීන්දු තීරණ රැසක් ගන්නවා. නමුත් අපිට හැකියාවක් නැහැ අපි මේ කමිටුව හරහා කරන සුවිශේෂ කාර්යභාරය මාධ්‍ය හරහා එළියට දෙන්න. ඒ නිසා තමයි මින් ඉදිරියට ඇමෙරිකාව, කැනඩාව, ජපානය ආදි අනෙක් රටවල්වල සිදුවෙනව වාගේපාර්ලිමේන්තු රැස්වීම් වාගේම කාරක සභා රැස්වීම් සියල්ලත් ජනමාධ්‍ය මගින් සජීවීව වාර්තා කරන්න කියලා අපි පාර්ලිමේන්තුව හැටියටම ඉල්ලා සිටියේ .

මේ සෑම රටක්ම සලකන්නේ මෙය ජනතාවගේ අයිතියක් වශයෙනුයි. මං හිතන්නේ ඒ අයිතිය තමයි මේ අවස්ථාවේ ජනතාවට, පාර්ලිමේන්තුවට ලැබුණේ. මේක සුවිශේෂී අවස්ථාවක්. ඒ වගේම අභියෝගයක්. එනිසා අපි ඒ අභියෝගය බාර ගන්න ඕන. ඒ වගේම තමය අපි ඒ අභියෝගයෙන් පළා යන්නත් සූදානම් නැහැ. අපි ඒ අභියෝගය භාර ගෙන නිවැරදිව කටයුතු කරන්නයි මේ කමිටුව හැටියට බලාපොරොත්තු වෙන්නේ.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න