උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි නිවාස 10000 ක් ඉදි කිරීමේ වැඩසටහනෙහි මුල් පියවර යටතේ ඉදි කෙරුණු නිවාස ජනතාව වෙත පිරිනැමීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මේ අවස්ථාව සංකේතවත් කරමින් ඊයේ (02) පෙරවරුවේ නිවාසලාභීන් පස් දෙනෙකු වෙත නිවාස පිරිනැමීම යාපනයේ නැදුන්කර්නි ප්‍රදේශයේදී සිදු කෙරිණි.
යාපනයට ආවේනික සාම්ප්‍රදායික සංස්කෘතික ලක්ෂණ පිළිබිඹු කරමින් අග්‍රාමාත්‍යවරයා ඇතුළු ප්‍රධාන ආරාධිතයන් පිළිගැනුණු අතර නිවෙස් විවෘත කිරීමෙන් අනතුරුව අගමැතිතුමන් විසින් නිවැසියන් වෙත මුළුතැන්ගෙයි උපකරණ කීපයක් ද පරිත්‍යාග කරන ලදී.
ඔවුන්ගේ වත්මන් ජීවන රටාවන් හා පුද්ගලික තොරතුරු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇති බවත් වාර්තා වෙයි.
2019 ජනවාරි මාසයේ ආරම්භ කළ මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ මේ වනවිට නිවාස 4750 ක් ඉදිවෙමින් පවතී. උතුරු පළාතේ දිස්ත්‍රික් 05 තුළ නිවාස 3600 ක් හා නැගෙනහිර දිස්ත්‍රික් 03 තුළ නිවාස 1150 ක් මේ වනවිට ඉදිකෙරෙමින් තිබේ.
එහි දෙවන අදියර ලෙස නිවාස 5250 මැයි මස තුන්වන සතියේ සිට ඉදිකිරීම් කටයුතු ආරම්භ වී තිබේ. ඒ අනුව උතුරු පළාතට තවත් නිවාස 3900 ක් සහ නැගෙනහිර පළාතට තවත් නිවාස 1350 ක් ඉදිරියේදී ලබාදීමට නියමිතයි.
මෙම අවස්ථාවට මුදල් අමාත්‍ය මංගල සමරවීර, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා, ධර්මලිංගම් සිද්ධාර්ථන්, යාපනය මහනගර සභාවේ නාගරාධිපති එමානුවේල් ආනෝල්ඩ්, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෙඣීවන කටයුතු අමාත්‍යංශ ලේකම් වී. සිව ඥානසෝති, ඇතුළු දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවී සිටියහ.

