ඉල්ලං කන්න බෑ : ඕන නම් ඉවත් කරන්න - සාලි සහ හිස්බුල්ලා සිරිසේනට දන්වයි !

ඉල්ලං කන්න බෑ : ඕන නම් ඉවත් කරන්න - සාලි සහ හිස්බුල්ලා සිරිසේනට දන්වයි !

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති සිරිසේන වෙත යොමුකර ඇති බව පැවසෙන මාධ්‍ය වාර්තා පළවූ නමුත් මෙතෙක් එවැනි ලිපියක් ලැබී ඇති බවක් තහවුරුව නැති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

එසේම ජනාධිපති සිරිසේන නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි වෙත අද (03) දවල් 12.00 ට පෙර තම ධූර වලින් ඉල්ලා අස්වන ලෙස දන්වා ඇතත් ඔවුන් සිය ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කර ඇති බවත් එම ආරංචිමාර්ග සඳහන් කරයි.

ලැබී ඇති වැඩිදුර තොරතුරු අනුව රතන හිමියන් විසින් ආරම්භ කර ඇති මාරාන්තික උපවාසය හමුවේ ජනාධිපති සිරිසේන පත්ව ඇති දුෂ්කරතාව සැළකිල්ලට ගෙන තාවකාලික පදනමින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිගේ නියෝජිතයන් කිහිපදෙනෙකු ඊයේ (02) දවස පුරා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා වෙත සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි වෙතින් ඉල්ලීම් සිදුකර ඇත.

නමුත් ඔවුන් ඒ සෑම අවස්ථාවකම සඳහන් කර ඇත්තේ ජනාධිපති පත්ව ඇති දුෂ්කරතාව ගැන හැඟීමක් ඇති නමුත් ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වුවහොත් එල්ලවී ඇති අභූත චෝදනා වක්‍රව තමන් විසින්ම පිළිගැනීමක් සිදුවන බැවින් තාවකාලික පදනමින් හෝ ඉල්ලා අස්විය නොහැකි බවය.

හිස්බුල්ලා - සිරිසේන රාත්‍රියේ හමුවෙලා !

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ඊයේ (02) රාත්‍රියේ ද නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා සහ ජනාධිපති සිරිසේන අතර විශේෂ හමුවක්ද සිදුව ඇත. එම හමුවෙන් පසුව නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා ජනාධිපතිගේ නියෝජිතයන්ට දන්වා ඇත්තේ තමන්ට ඉල්ලා අස්වන ලෙස ඉල්ලීමක් ජනාධිපති වෙතින් ඉදිරිපත් නොවූ බවය.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි අද (03) දහවල් 12.00 ට පෙර ඉල්ලා අස්වන ලෙස ජනාධිපති සිරිසේන දන්වා ඇත්තේ ඉන් අනතුරුවය.

ඉල්ලං කන්න බෑ - ඕන නම් ඉවත් කරන්න - සාලි සහ හිස්බුල්ලා සිරිසේනට දන්වයි !

වාර්තා වන ආකාරයට එහිදී ඔවුන් දන්වා ඇත්තේ රතන හිමිගේ උපවාසය හමුවේ ජනාධිපති සිරිසේන පත්ව ඇති දුෂ්කරතාව සම්බන්ධව තමන්ට තේරුම් ගත හැකි නමුත් ඉල්ලා අස්වීමක් සිදුකළ හොත් එය සාධාරණ පරීක්ෂණයක් පවා නොමැතිව නිකරුණේ චෝදනා පිළිගැනීමක් සිදුවන බවත් එබැවින් කිසිම හේතුවක් මත ඉල්ලා අස්වීමක් තමන් වෙතින් අපේක්ෂා නොකරන ලෙසය. අවශ්‍ය නම් ජනාධිපති බලතල යොදා තමන්ව ආණ්ඩුකාර ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිට අවස්ථාව ඇති බවත් එහිදී ඔවුන් පෙන්වාදී ඇතැයිද වාර්තා වෙයි.

මේ අතර ඊයේ (02) රාත්‍රියේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි අතර හමුවක් සිදුව ඇති අතර එහිදී මේ මොහොතේ ඉල්ලා අස්නොවීමට ඔවුන් පොදු තීරණයක් ගෙන ඇති බවත් වාර්තා වෙයි. ඒ අනුව ඔවුන්ගේ ස්ථාවරය වී ඇත්තේ ජනාධිපති විසින් සිදුකළ තම පත්වීම් ජනාධිපති විසින්ම නැවත අවලංගු කරන්නේ නම් ඒ පිළිගත යුතු බවය.

කෙසේ වුවත් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා සිය ධූරයෙන් ඉල්ලා අස්වීම සහ ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති පිළිගත් බව සඳහන් පුවත ජනාධිපති ලේකම් කාර්යාල නියෝජිතයන් විසින් නිර්මාණය කෙරුණක් බවටද තොරතුරු වාර්තා වෙයි. ජනාධිපති මාධ්‍ය අංශය යටතේ නඩත්තු වන එම පාර්ශවයේ වෙබ් අඩවි කිහිපයක් මෙය පළමුව වාර්තා කර තිබූ අතර පසුව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන සතු වෙබ් අඩවි කිහිපයක්ද ජනාධිපති කාර්යාලයේ ජේෂ්ඨ නිලධාරියකු උපුටා දක්වමින් වාර්තා කර තිබිණ.

රිෂාඩ්ගේ ඇමැතිකමට විදින්න අගමැතිගේ සහය පතයි !

එසේම අද (03) උදෑසන වන විට එම මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ අද දහවල් 12.00 ට පෙර සිය ධුර වලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති සිරිසේන නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි වෙත දන්වා ඇති බවය. එසේම එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් වෙත ද ඉල්ලා අස්වන ලෙස දන්වා ඇති බවත් එය ජනාධිපතිගේ විශේෂ නියෝජිතයකු වෙතින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත දන්වා ඇති බවත් එම මාධ්‍ය වාර්තා වල දැක්වෙයි.

තවද එම වෙබ් අඩවි මේ වන විට වැඩිදුරටත් වාර්තා කරන්නේ රතන හිමිගේ මාරාන්තික උපවාසයට පාදකවී සිටින අනෙක් පාර්ශවය වන රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කළහොත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ එකතුව ඔහුගේ අමාත්‍ය ධූරය සම්බන්ධව තීරණයක් ගැනීමට නියමිත බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න