එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර විශේෂ හමුවක් අද (06) පාර්ලිමේන්තුවේදී පවත්වා ඇති අතර පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ප්‍රථම වතාවට රටේ සියලූ ජන කොටස් එකමුතු වූ නමුත්, පසුව සංවිධානාත්මකව සිදු කළ දේශපාලනික ජාතිවාදී වැඩ කටයුතු ඔස්සේ යම් යම් කොටස් ඒ එකමුතුව බිඳ දමන්නට කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වාදී ඇති බව වාර්තා වෙයි.
එසේම දේශපාලන හෝ ජාතිවාදී ව්‍යාපාරවලට එම එකමුතුකම විනාශ කිරීමට ඉඩ නොතැබිය යුතු බව ද එහිදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කල බවත් වාර්තා වෙයි.
පසුගිය සති අන්තයේ පැවැති සත්‍යග්‍රහ ව්‍යාපාර හා ඒ සමඟ ඇති වූ ජාතිවාදී ව්‍යාපාර හේතුවෙන් මුස්ලිම් අමාත්‍යවරු තනතුරු අත්හැරීම සහ මුස්ලිම් ජනතාව ඈත් වීම සුභදායී තත්ත්වයක් නොවන බවත් අග්‍රාමාත්‍යවරයා පවසා ඇති අතර මේ සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි ස්වාමීන් වහන්සේ කළ ප්‍රකාශය සමග සම්පූර්ණයෙන් ම තමන් එකඟ වෙන බවත්, ජාතීන් වශයෙන් බෙදීම ඉතා නරක තත්ත්වයක් බවත් අවධාරණය කර ඇත.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මෙසේද පවසා තිබේ.
“පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව රටේ සිංහල ජනතාව එකට එකතු වුණා. දෙමළ, මුස්ලිම් ජනතාව ද ඔවුන් සමග එකතු වුණා. එවැනි එකමුතු වීමක් මීට පෙර සිදුවී නැහැ. එම එකමුතුකම පදනම් කර ගනිමින් ඉදිරියට යාමට අවශ්‍ය වැඩපිළිවෙළක් අපි සකස් කළා.
නමුත් පසුගිය සති අන්තයේ පැවැති සත්‍යග්‍රහය සහ ඒ සමඟ ඇති වූ ජාතිවාදී ව්‍යාපාරය හේතුවෙන් මුස්ලිම් අමාත්‍යවරු රජයෙන් ඉවත් වුණා. මේ හේතුවෙන් මුස්ලිම් ජනතාවත් මේ එකමුතුවෙන් වෙන් වී යාමක් සිදුව තිබෙනවා. එය රටට හොඳ තත්ත්වයක් නොවන බව අප තේරුම්ගත යුතුයි. ඔවුන් පසුගිය සති අන්තයේ ක්‍රියාත්මක කළේ ජාතිවාදී ව්‍යාපාරයක් බව කිව යුතුයි.
ත්‍රස්තවාදී ප්‍රහාරයේ බෝම්බකරුවන්, සැකකරුවන්, කුමන්ත්‍රණකරුවන් හඳුනා ගැනීමට, ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට අප සීග්‍රයෙන් කටයුතු කරමින් සිටියා. රටේ නීතිය සහ සාමය ආරක්‍ෂා කිරීමට කටයුතු කළා. නමුත් ඇතැම් පිරිසක් එම ආරක්‍ෂක තත්ත්වය බිඳ දැමීමට කටයුතු කළ ආකාරය පසුගිය දිනවල දී අප දුටුවා.
කුලියාපිටිය ප්‍රදේශයේ දී සිදුවුණේ දේශපාලනිකව සිදු කළ ජාතිවාදී වැඩසටහනක්. පසුගිය සති අන්තයේදීත් සිදුවුණේ දේශපාලනිකව සිදු කළ ජාතිවාදී වැඩසටහනක් ක්‍රියාත්මක වීමයි. ව්‍යාපාර ස්ථාන වසා දමන ලෙසත් පැවසුවා. ප්‍රාදේශීය සභා මට්ටමේ මන්ත්‍රීවරුන් විසින් මෙම ජාතිවාදී කෝලාහලය මෙහෙය වූවා. මෙම ජාතිවාදී ගැටලූ ඇති කළේ සංඝයා වහන්සේලා නොවෙයි. එය ඇති කළේ දේශපාලනඥයින් බව පැවසිය යුතුයි. ඔවුන් හැම දෙයක්ම සිදු කළේ දේශපාලන වාසි ලබා ගැනීමටයි.
මේ රටේ නීතිය හා සාමය ස්ථාපිත වීම වැළැක්වීම, අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදය සාර්ථකව පාලනය කිරීම ආදියට ඔවුන් අකමැති වුණා. ඒ හරහා දේශපාලන වාසි ලබා ගැනීමට ඔවුන්ට අවශ්‍ය වුණා. අද රටේ ඇති වී තිබෙන තත්ත්වය එයයි.
මේ පිළිබඳව මම අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කර තිබෙනවා. ත්‍රෛනිකායික සංඝයා වහන්සේලාට මම ස්තුතිවන්ත වෙනවා. මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශය සමග අපි එකඟ වෙනවා. අපි ජාතීන් වශයෙන් බෙදීම ඉතා නරක තත්ත්වයක්. අපි සහයෝගයෙන්, එකමුතුවෙන් කටයුතු කළ යුතුයි.
නිදහස ලබාගත් දිනයේ සිට මේ රටේ මුස්ලිම් දේශපාලඥයන් අමාත්‍ය තනතුරු දරමින් කටයුතු කළා. එල්.ටී.ටී.ඊ. යුද්ධ කාලයේත් ඒ ආකාරයටම මුස්ලිම් අමාත්‍යවරුන් වැඩ කටයුතු කළා. මුස්ලිම්, දෙමළ, සිංහල දේශපාලනඥයන්ගේ එකතුවෙන් අපේ රට තුළ ශ්‍රී ලාංකික අනන්‍යතාවක් ගොඩනැගී තිබෙනවා. සිංහල ජනතාවට තිබෙන හොඳම ආරක්‍ෂාවත් එය බව වටහා ගත යුතුයි.
මේ පිළිබදව පුළුල් සාකච්ඡාවක් ඇති කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි ස්වාමීන් වහන්සේ මුණගැසීමටත් මම බලාපොරොත්තු වෙනවා. රටේ සියලූම දෙනාගේ එකමුතුව අපි යළිත් ඇති කර ගත යුතුයි.
එසේ නොමැතිව ජාතිවාදය මුල් කර ගත් දේශපාලන ව්‍යාපාර ආරම්භ කිරීමට කවුරුන් හෝ කටයුතු කරනවා නම් එම දේශපාලන ව්‍යාපාරවලට මුහුණ දීමට අප සූදානම් විය යුතුයි. රටේ එකමුතු බව ආරක්‍ෂා කර ගත යුතුයි. මෙම ජාතිවාදී ව්‍යාපාරවලට ඇතැම් මාධ්‍ය අනුබල ලබාදීම පිළිබඳව මම කණගාටු වෙනවා. නමුත් අද වන විට මුළු රටම ජාතිවාදය ප්‍රතිෙක්‍ෂ්ප කර තිබෙන බව මම අවසාන වශයෙන් පැවසිය යුතුයි.”

