පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ කටයුතු කිසිඳු ආකාරයකට නවත්වන්නේ නැති බව එක්සත් ජාතික පෙරමුණ සඳහන් කරයි.
එසේම පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ සාක්ෂි හරහා අනාවරණය වන සත්‍ය කරුණු සම්බන්ධව දැනගැනීමට ට ජනතාව සතු අයිතිය විනාශ කිරීමට ඉඩ නොතබන බවත් එහි ප්‍රකාශකයකු පැවසීය.
පාර්ලිමේන්තුව වාර අවසාන කළද, මෙම විශේෂ කාරක සභාව අහෝසි නොවන බවත් අවධාරණය කළ එම ප්‍රකාශකයා ජාතික ආරක්ෂාව කියන්නේ රටත් එහි වෙසෙන ජනතාවත් ආරක්ෂා කිරීම මිස රටත් ජනතාවත් අවධානමේ හෙළුවන් කවුද යන්න සහ ඒ වෙනුවෙන් වන වගකීම් පැහැර හැරිය පාර්ශව අනාවරණය නොකර වසංකිරීම නොවන බවත් ඔහු පෙන්වා දුන්නේය.
එසේම ජනාධිපති කියන කියන ආකාරයට කටයුතු කිරීමේ කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බවත් එබැවින් කිසිඳු වෙනසකින් තොරව සහ ඉතාම වගකීම් සහිතව පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ කටයුතු අඛණ්ඩව සිදුකිරීමේ දැඩි තීරණයක පාර්ලිමේන්තුව සිටින බවත් එම ප්‍රකාශකයා පැවසීය.
අවසන් වාර්තාව එනතුරු තේරීම් කාරක සභාව දිගටම - මන්ත්‍රී ආශු !
මේ අතර තේරීම් කාරක සභාවේ කටයුතු කිසිඳු ලෙසකින් නැවැත්වීමේ සූදානමක් නොමැති බව එහි සාමාජික, පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය ආශූ මාරසිංහ ද මාධ්‍ය වෙත පවසා තිබේ.
එහිදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කර ඇත.
“මම දන්නේ නෑ ජනාධිපතිවරයා ඇයි මෙහෙම කියන්නේ කියන එක. අනෙක් කරුණ ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තියෙනවා ලෝකෙ මෙහෙම වෙලා නෑ කියලා. ලෝකයේ විවිධ රටවල මෙහෙම වෙලා තියෙනවා.. ඒවත් මාධ්‍ය ඉදිරියේ කරන්නේ. අමෙරිකාවේ, එංගලන්තයේ, ජපානයේ වගේ රටවලත් මේක කරනවා. යම් කාරණයක් සඳහා තේරීම් කාරක සභාවක් දැම්මාම..කොන්දේසි විරහිතවා අදාළ ඔක්කොම පුද්ගලයන්ව ගේනවා. ඇයි මේ කතාව කියන්නේ..මේක අපිට ගැටලුවක්. අපේ දැක්මේ හැටියට තේරීම් කාරක සභාව දිගටම පැවතිය යුතුයි කියන දැක්මේ අපි ඉන්නවා. අනිවාර්යයෙන්ම තේරීම් කාරක සභාවේ වාර්තාව එනකම් අපි මේක දිගටම ක්‍රියාත්මක කරනවා. ඒ නිසා තේරීම් කාරක සභාව කිසිවේලාවක නවත්වන්නේ නෑ. ”

