Language Switcher

V2025

ආණ්ඩුවේ ව්‍යාජ රංගනය අතේ පත්තුවීම නිසා දේපළවලින් පළිගන්නවා - උදයන්ත වීරතුංග

 ආණ්ඩුවේ ව්‍යාජ රංගන බොහොමයක් අතේ පත්තු වී හමාර නිසා දැන් ජන්ද වාසි ලබා ගැනීමට වෙනත් බොරු ගොතමින් සිටින බවත් තමන් උපයාගත් දේපල අයුතු ඉපයීමක් බව සඳහන් කරන්නේ ඒ අනුව බවත් රුසියාවේ හිටපු තානාපති උදයන්ත වීරතුංග සඳහන් කරයි.

ජාත්‍යන්තර වරෙන්තුවක් ඇත්නම් විදෙස් සංචාර කරන්නේ කොහොමද ? දැනුත් ඉන්නේ නේපාලයේ

විද්‍යුත් තැපෑල ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් හිටපු තානාපතිවරයා මේ බව සඳහන් කරන අතර ඔහුගේ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව තිබෙන්නේ
මේ වන විට තමන්ට යුක්රේනියාවේ ජිවත් වීමට පමණක් නොව නොයෙක් රටවල් වල සංචාරය කිරීමට හැකියාව තිබීමෙන් තමන්ට එරෙහිව කිසිදු ඉන්ටර්පෝල් වරෙන්තුවක් නැති ඔප්පු වන බවත් මෙම දිනවල තමන් නේපාලයේ සංචාරය කරමින් සිටින බවය.

උදයන්තගේ දේපළවලට වාරණයක්

කෙසේ වුවත් මේ වන විටත් උදයංග වීරතුංග සතු කිසිඳු දේපලක් විකිණීම, උකස් කිරීම හෝ පැවරීම තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත්කර ඇත.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මේ නියෝගය නිකුත් කර තිබෙන්නේ පසුගිය රාජපක්ෂ පාලන සමයේ සිදු වූ මිග් යානා ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කර ඇති උදයංග වීරතුංග සම්බන්ධව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.

අදාළ ඉල්ලීම සිදුකරමින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දන්වා ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී සිදුවී ඇති බව පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් උදයන්ත වීරතුංග සැකපිට අත් අඩංගුවට ගැනීමට නියමිතව සිටින බවත් ඔහුට අයත් ඉඩම් දෙකක් දොම්පෙ ප්‍රදේශයේ පවතින බවත්ය.

එසේම බොරැල්ල ප්‍රදේශයේ සුඛෝපභෝගී තට්ටු නිවාස ගොඩනැගිල්ලක්ද ඔහු සතු බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දන්වා ඇත.

ඒ අනුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ මිග් යානා මිලදී ගැනීමේදී නීති විරෝධී ආකාරයට උපයාගත් මුදල්වලින් ඉහත දේපළ මිලදී ගෙන ඇති බවට සැක පහළ වී ඇති බවත් ඒ පිළිබඳව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පරීක්ෂණ සිදුකරන බැවින් අදාළ දේපළ විකිණීම පැවරීම සහ උකස් කිරීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසය.

නඩු ඉක්මනින් අවසන් කරන්න අලුත් නීති ගේනවා - අගමැති

මේ අතර නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා නීති සකස් කරමින් පවතින බවත් නඩුවක් අවසන් වීම සඳහා ගතවන උපරිම කාලය වසර තුනක් දක්වා සීමා කිරීම එමඟින් අපේක්ෂා කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කර ඇත.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ පසුගියදා හෝමාගම ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින්ය.තමන්ට එරෙහිව නගා තිබෙන චෝදනා සියල්ල අසත්‍ය බව සඳහන් කරමින් "හිටං හුටං ආණ්ඩුවේ දඩුවම් මන්දිරය දේපල උදුරා ගත්තත්, රටට සත්‍යය එළිවි හමාරයි" යන ශීර්ෂයෙන් යුතුව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයන්ත වීරතුංග විද්‍යුත් තැපෑලට යොමුකළ ලිපිය පහත දැක්වේ.

දේපළ ඉපයීම

මා විසින් අයුතු ලෙස උපයාගත් දේපල ඇති බව හුවා දැක්වීමට යහපාලන ආණ්ඩුව ජන්ද කාලයේදී අලුත්ම උත්සාහයක නිරතව ඇත. මා විසින් වසර 32 ඇතුලත, නීත්‍යනුකූලව එතෙරදී උපයන ලද විදේශ විනිමය, ශ්‍රී ලංකාවේ අනේවාසික විදේශ ගිණුම් වල (NRFC) තැන්පත් කර ඇති අතර එම විදේශ මුදල් උපයෝගී කරමින් මෙම දේපල මිලදීගෙන ඇති බව කිව යුතුය. අදාළ කාලයේදී මහා බැංකුවේ අනුමැතිය මත විදේශ විනිමය තැන්පත් කරන ලද සියලුම ගිණුම්, 2015.04.29 දා සිට මහා බැංකුව විසින් අක්‍රිය කර ඇත්තේ කිසිදු අධිකරණ නියෝගයක් පවා නොමැති බව, 2017.01.04 දින බි/639/15 දරණ නඩුව සම්බන්ධව නිකුත් කල නියෝගය මගීන් සනාථ වන්නේය. පසුගිය වසර තුනක් තුල දඩයම් මන්දිරය මගේ ගිණුම් පරික්ෂා කර අද චෝදනා කරන්නේ, මා විසින් නිත්‍යානුකූලව මිලදී ගෙන ඇති, වත්කම් බැරකම් ප්‍රකාශයට ඇතුලත් කර ඇති දේපලය. වත්කම් බැරකම් ප්‍රකාශය මගීන් වාර්ෂිකව ඉදිරිපත් කර ඇති මෙම දේපල සැගවීමට මට අවශ්‍ය නැත. එවැනි දේපල සදහා තහනම් නියෝග නිකුත් කරන මොංගල් පාලනයක් ඇති වාතාවරණයකදී, ඔබ එතෙරදී උපයන මුදල් මෙරට බැංකුවල තැන්පත් කිරීම හෝ රටෙහි ආයෝජනය කිරීම නිසා, මා මෙන්ම යහපාලනයේ ගොදුරක් නොවන්න. මෙය රටෙහි භයානක පොලිස් රාජ්‍යයක් බිහිවෙමින් පවතින බවට ඔප්පු කරන එක් අවස්ථාවක් වුවද, මෙම පොලිස් රාජ්‍යයේ බිහිවීම තුලින් රටට සිදූවන විනාශයට විරෝධය පෑමට පෙබරවාරි 10දා ලැබෙන අවස්ථාව උපයෝගී කර ගන්නා ලෙස ලාංකික ඔබගෙන් ඉල්ලා සිටිමි.

FCID එක අධිකරණය නොමග යවලා

මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් ඉක්බාල් අතාස් විසින් සිදුකරන ලද පැමිණිල්ලේ අදාළ විමර්ෂණ කටයුතු කරමින් නිතිය නමන කල්‍යාණි මිත්‍ර, පූජිතගේ පරික්ෂණ පිළිබඳ කිසිදු විරෝධයක් නැති නමුත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ ෆ්‍රැන්සිස් විසින් අධිකරණය නොමග යවා ඇති බව නිකං හිටං දැනගත යුතුය. මෙම ගිවිසුම අත්සන් කල කාලය තුල මා, ශ්‍රී ලංකාවට පැමිණ නැති බව ආගමනය විගමන දත්ත අනුව පෙනීයන නමුත්, මා එම ගිවිසුම ලංකාවට රැගෙනවිත් ගුවන් හමුදාපතිගේ අත්සන් ලබාගෙන නැවත රැගෙන ගිය බවට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම නිසා අධිකරණය විසින් මා සැකකරුවනකු ලෙස නම්කර ඇත. තානාපති කාර්යාලයේ දී යුක්රේන්මාෂ් අධ්‍යක්‍ෂක වෙනුවෙන් එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂක ගේනාධි ස්තුදිනිකින් යන අය එම ගිවිසුම අත්සන් කර ඇති අතර ලංකා රජය වෙනුවෙන් ගුවන් හමුදාපති අත්සන් කර ඇත. මා විසින් කිසිදු අත්සනක් යොදා නැති අතර ගිවිසුමට අදාළ කරුණු සඳහා වගකීම ගුවන් හමුදාපති ඇතුළු ඔහුගේ නිලධාරීන් භාරගත යුතු බව රටෙහි නීතියට නොපෙනීම වනාහි බැදුම්කර හොරුන් ආරක්ෂා කරමින් දේශපාලන පළිගැනීම් පොලිස් භීෂණය හරහා ක්‍රියාත්මක කිරීමේ හිටං ගේ තවත් දේශපාලන රංගනයකි.

ආණ්ඩුවට අභියෝගයක්

මෙම ප්‍රහාරක ගුවන්යානා තත්ව පරික්ෂාකිරීමේන් පසු “Factory Acceptance Certificate” ගුවන් හමුදාපති හා ප්‍රධාන ඉංජිනේරු විසින් එම නියෝජ්‍ය අධ්‍යක්‍ෂක සමග යුක්රේනියාවේ ලුවෝෆ් කර්මාන්ත ශාලාවේදී මෙන්ම කොලඹදී ද අදාළ සහතික අත්සන් කර ඇත. එසේ නම් ගිවිසුම අත්සන කල යුක්රේනියා ජාතිකයා පිළිබඳ චෝදනා කිසිවක් මට අදාළ නැත. එපමණක් නොව ගුවන් හමුදා නිලධාරීන් ඔහු සමග ඍජුව වැඩ කර ඇති බව මෙයින් ඔප්පු වන්නේය. එදා එම සහතික වල මුල් පිටපත් ගුවන් හමුදාවේ නිර්දේශ සමග මහජන බැංකුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ගුවන්යානා 8 සදහා සියලු ගෙවීම් සිදුකර ඇත. ඉතිරි පිටපත් අදාළ විදේශ බැංකුවට ඉදිරිපත් කර යුක්රේනියානු පාර්ශවය රජය ගෙවා ඇති මුදල් ලබා ගෙන ඇත. එය ගුවන් හමුදා LC ගිවිසුමෙහි ඇති ප්‍රධාන කොන්දේසියකි. එසේ ගිවිසුමට අදාළ මුදල් මගේ ගිණුම්වලට බැරවී ඇති බවට සාක්ෂි ඇත්නම්, ඒවා වහාම අධිකරණයට ඉදිරිපත් කර නිතිය ක්‍රියාත්මක කරන ලෙස හිටං හුටං ආණ්ඩුවට මා අභියෝග කරමි.

මිග් ගුවන්යානා ගනුදෙනුව ගැන හරියට දන්නවාද ?

මිග් ගිවිසුම යුක්රේන්මාෂ් අත්සන් නොකළ බව මුල්‍ය අපරාධ විමර්ශන ආයතනය චෝදනා කරන අතර එම ගිවිසුමට අමතරව වෙනත් ගිවිසුමක් ඇති බව යහපාලන වාචාල ඇමතිවරුන් චෝදනා කරයි. එසේ දෙවන ගිවිසුමකට රජය අත්සන් කර නැත. නමුත් එම චෝදනා අනුව ගුවන් හමුදාවේ ඇති එම මිග් ගුවන්යානා 8 ම අප රටට ලබා දී ඇත්තේ කුමන ගිවිසුමක් යටතේද යන්න යුක්රේනියානු රජයෙන් දැනගැනීමට කටයුතු කලයුතු අතර එවැනි දෙවන ගිවිසුමකට රජය අත්සන් කර ඇති බවට සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කල යුතුය. එසේ සාක්ෂි ඉදිරිපත් නොකරන්නේ, එය ද ඩුබායි බැංකුවක තිබෙන ඩොලර් බිලියන 18ක් ගැන යහපාලන ආණ්ඩුව කල ප්‍රචාරය හා සමානව තවත් හිටං හුටං මුසාවකි. නමුත් හිටපු මොංගල් විදේශ ඇමතිවරයා ඇතුළු නියෝජිතයන් විමර්ශන කටයුතු සඳහා යුක්රේනයට කිහිප වාරයක් පැමිණි ඇති අතර, මා හට කටඋත්තරයක් ලබා දීමට කිසිදු අවස්ථාවක් ලබා දී නැත. ඕනෑම රාජ්‍ය නිලධරයකු යුක්රේනියාව තුල සිදුකරන රාජකාරි සංචාරයක දී දිනකට රුපියල් 91,000ක් ගෙවීමක් ලබන බැවින්, මා ගැන සෙවීමට කිව් නගරයට පැමිණීමට නොයෙක් කතා නිර්මාණය කිරීම හිටං හුටං ආණ්ඩවේ නීතිය නමන දඩයම් මන්දිරය අද පුරුදු වී ඇත.

සිතාසි එවන එකත් ලේසි නෑ

1985 සිටම යුක්රේනියාවේ ජීවත් වූ මා, රුසියාවේ ශ්‍රී ලංකා තනාපතිකමින් ඉවත් වූ පසුත් ජීවත්වනේ කිව් නගරයේය. එහි මගේ නිවසට සිතාසිය භාර දීමට නම් රටවල් 3ක ස්ථාන 12ක් අතර ලිපි හුවමාරු කර සිතාසි භාරදිය යුතුය. 1961දී සම්මත ජාත්‍යන්තර වියානා සම්මුතියේ කොන්සුලර් උපදෙස් තුල අඩංගු රාජතාන්ත්‍රික ක්‍රමවේදය අනුගමනය කරමින් සිතාසියක් භාරදීම, දින 7ක් ඇතුලත කල නොහැකි බව දන්නා යමපල්ලෝ, අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අධිකරණය නොමග යැවීමට හවුල් වන තානාපතිවරු මෙන්ම පොලිස් යමපල්ලන්ගේ ක්‍රියාවලිය නීතියේ කන්‍යාවට නොපෙනිම වනාහි හුටං ගේ පොලිස් රාජ්‍යයේ උපරිම ලක්ෂණ සනාථ කිරීමකි.

නොයෙල්ගේ මරණයට සම්බන්ධ නෑ

තානාපතිවරයකු හැටියට හිමිව තිබුණු රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රය 2015 මාර්තු 06 දින අවලංගු කර ඇති බව සනාථ වී ඇති අවස්ථාවක අවලංගු නොකළ බවට චෝදනා කරමින්, පෞද්ගලික භාණ්ඩ අඩංගු කන්ටේනරය දැනට මාස 34ක් පුරා රදවාගෙන සිටින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දේශපාලන පළිගැනීම් මාරපන යුගයේදී ද අපමණය. යුක්රේනියා ආණ්ඩු විරෝධී කැරළිකාරුවන්ට ආයුධ සැපයීම ගැන යුක්රේනියා ආණ්ඩුව මට විරුද්ධව පරීක්ෂණයක් කරන බවට යහපාලන නපුංසකයන් එදා ගෙන ගිය ප්‍රචාරය තවත් බොරුවක් බව අද සනාථ වී හමාරය. රුසියාවේ ශ්‍රී ලංකා තනාපති කාර්යාලයේ පණිවිඩකරුවකු ලෙස සේවය කල නොයෙල් රණවීරගේ මරණයට මා වගකීව යුතු බවට තවත් මුසාවක් යහපාලන නපුංසකයෝ එදා පතුරුවා සිටියේය. මෝටර් රථ ආපදාවකින් සිදූවූනු එම මරණය සම්බන්ධයෙන් එස්. වි. සැම්සනොව් නැමැති රුසියානු ජාතික රියදුරුට විරුද්ධව රෝස්තෝව් නා දොන් දිස්ත්‍රික් උසාවියේ ගොනුකරන තුබුණු අපරාධ පරීක්ෂණය අවසන් විය. රුසියානු රජය එම නඩු වාර්තාව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයට ලබාදීම නිසා එම මුසාවත් අතේ පත්තු විය. යහපාලන ආණ්ඩුව බලයට පත් වූ විගසම රණවීරගේ මෘත දේහය ගොඩගනු ලැබූ අතර එම දේහය හොර රහසේම වසරකට පසු 2016 මාර්තු 25දින නැවත භූමදානය කර ඇත.

 හිටං හුටං ආණ්ඩුවේ බොරු සියල්ලම අතේ පත්තු වී හමාර නිසා දැන් ජන්ද වාසි ලබා ගැනීමට වෙනත් බොරු ගොතමින් සිටී. අද මට යුක්රේනියාවේ ජිවත් වීමට පමණක් නොව නොයෙක් රටවල් වල සංචාරය කිරීමට කිසිදු ඉන්ටර්පෝල් වරෙන්තුවක් නැති බව නැවතත් ඔප්පු කරමින් මෙම දිනවල නේපාලයේ සිටින බව කිව යුතුය. එසේ නමුත් මෙම රජයෙන් මට සහ මා සේවය කල ආණ්ඩුවේ ප්‍රබලයින්ට සිදූවී තිබෙන දරුණු දේශපාලන පළිගැනීම් නිසා, දැනට ලංකාවට පැමිණීමට අදහසක් නැත. නමුත් ඔවුන් මට විරුද්ධව එල්ල කරන චෝදනා සියල්ල අමූලික බොරු බව ලංකාවේ ජනතාවගේ දැනගැනීමට ඉතා වගකීමෙන් මෙම ප්‍රකාශ රටවැසියන්ට ඉදිරිපත් කරමි.

උදයාංග වීරතුංග - රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති