ජනාධිපති අපේක්ෂකත්වයට : කරූට අඩු රනිල්ගේ ආශීර්වාදය විතරයි !

ජනාධිපති අපේක්ෂකත්වයට : කරූට අඩු රනිල්ගේ ආශීර්වාදය විතරයි !

මීළඟ ජනාධිපතිවරණය සඳහා තරග කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය තුළින් ඉල්ලීමක් ඉදිරිපත් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් සලකා බැලීමට සූදානම් බව කථානායක කරු ජයසුරිය පවසයි.

ඔහු ඒ බව කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන්නේදැයි බීබීසී සිංහල සේවය සමඟ ෆේස්බුක් ඔස්සේ සජීවී සංවාදයකට එක්වෙමිනි.

"මගේ නම බොහෝ අවස්ථාවල සඳහන් වෙනවා. ඒ වගේම බොහෝ දෙනෙක් ඒ සඳහා ආරාධනා කර තිබෙනවා. රට වෙනුවෙන් යළි කැප කිරීමක් කරන්න සූදානම්. සියලු දෙනාගේ ආශීර්වාදය ලැබුනොත් ජනාධිපතිවරණයට තරග කිරීම ගැන සලකා බලනවා" යනුවෙන්ද එහිදී ඔහු පැවසීය.

එහිදී කතානායකවරයා අවධාරණය කර සිටියේ පක්ෂ නායකත්වයේ ආශීර්වාදය ඒ සඳහා ලැබිය යුතු බවය. කෙසේ වුවද, ජනාධිපති ධුර අපේක්ෂකත්වය පක්ෂයේ වෙනත් සාමාජිකයකු වෙත ලබා දීමේ සුදානමක් ඇත්නම් එය "උදුරා ගැනීමට අවශ්‍යතාවක් නොමැති" බවත් කථානායක කරු ජයසුරිය කියා සිටියේය.

ඒ සම්බන්ධයෙන් පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ආශීර්වාදය ලැබෙනු ඇතැයි විශ්වාස කරන්නේ දැයි විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ "මම ගිහින් එතුමා සමග ඒ ගැන සාකච්ඡා කර නැහැ. එහෙම සාකච්ඡා කරන්න, ඉල්ලන්න බලාපොරොත්තු වෙන්නෙත් නැහැ" යනුවෙනි.

මෙම සාකච්ඡාවේදී වත්මන් දේශපාලන කරුණු මෙන්ම පසුගිය සිදුවීම් කිහිපයක් සම්බන්ධවද කතානායකගේ අදහස් විමසීමට බීබීසී මාධ්‍යවේදියා කටයුතු කළේය.

තේරීම් කාරක සභාව පාර්ලිමේන්තු වරප්‍රසාදයක් !

මෙහිදී පාස්කු ප්‍රහාරය සම්බන්ධව පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ තීරීම් කාරක සභාව සම්බන්ධව අදහස් දක්වමින් කතානායක කරූ ජයසූරිය සඳහන් කර සිටියේ එහි කටයුතු නැවැත්වීමේ කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බවයි. එසේම එම තේරීම් කාරක සභාව පත්කරන්නට යෝජනා කර සිටියේ පොහොට්ටු පාර්ශවයට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බවත් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලිඛිත ඉල්ලීම පක්ෂ නායක හමුවට යොමුකර පසුව සභාවේ අනුමැතිය ලබාගත් බවත් ඔහු පැවසීය.

වසර 25 කට පසුව පාර්ලිමේන්තු වරප්‍රසාද පසුගිය වසරේ සංශෝධනය කෙරුණු බවත් තේරීම් කාරක සභාවේ කටයුතු මාධ්‍ය හරහා විකාශය කරන්නේ ඒ වරප්‍රසාද යටතේ බවත් සඳහන් කල කතානායකවරයා ඊට මැදිහත්වීමට තමන්ටද නොහැකි බව පැවසීය.

එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ ඇමරිකාව ඇතුළු දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල අත්දැකීම් එක්කර සංශෝධනය කරගත් පාර්ලිමේන්තු වරප්‍රසාද හරහා අදාළ තේරීම් කාරක සභාවේ කටයුතු මාධ්‍ය හරහා විකාශය කරනවාද නැද්ද යන්න පවා තීරණය කිරීමට බලය ඇත්තේ තේරීම් කාරක සභාවේ සභාපතිට බවය.

නීතිපති එවන ලියවිලි ජනාධිපති නියෝග නෙවෙයි !

පාස්කු ප්‍රහාරය සම්බන්ධව සොයා බලන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ කටයුතු වලට අදාළ ජනාධිපති සිරිසේන යොමුකළ ලිපියක් පාර්ලිමේන්තුවට යොමුනොකිරීම සම්බන්ධ කරුණ ගැනද එහිදී විමසින. ඊට ප්‍රතිචාර දක්වමින් අදාළ ලියවිල්ල ජනාධිපතිවරයා යොමුකරත් එය නීතිපති විසින් සකසා එවුවක් බවය.

ජනාධිපති විසින් දන්වන නියෝග සභාවේ කටයුතු ආරම්භයේදීම තමන් සභාවට ඉදිරිපත් කලත් මේ ලියවිල්ල ජනාධිපතිගේ නියෝගයක් නොවන බවත් එබැවින් එය සභාවට ඉදිරිපත් කිරීමේ කිසිඳු අදාළත්වයක් නොමැති බවත් ඔහු පැවසීය. කෙසේවුවත් කතානායක කරූ ජයසූරිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ අදාළ ලියවිල්ල යොමුකළ යුතුව ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව කටයුතු කරන තේරීම් කාරක සභාවේ සාමාජිකයන් වෙත බැවින් තමන් එය ඒ වෙත යොමුකළ බවය.

මම හරි බව ගරු අධිකරණයත් තහවුරු කළා !

මෙහිදී කුමන්ත්‍රණ ආණ්ඩුව අවස්ථාවේ කතානායක කරූ ජයසූරිය කටයුතු කල ආකාරය සම්බන්ධවද විමසනු ලැබිණ. එහිදී නව ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ පහසුකම් සලසන ලෙසට ජනාධිපති සිදුකල දැනුම්දීම අනුව තමන් ඒ සඳහා පහසුකම් සැලසු බව කතානායක පැවසු අතර නමුත් නව ආණ්ඩුවට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 120ක් ලබාදුන් ලිඛිත ලියවිල්ලක් තමන් වෙත යොමුකර තිබු බැවින් යතාර්ථවාදී ලෙස කටයුතු කිරීමට තමන්ට සිදුවූ බවත් පැවසීය.

ඒ අනුව නව ආණ්ඩුව සතියක් තුළ පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වාලිය යුතු බවත් නැතිනම් ඒ සම්බන්ධව පියවර ගන්නට තමන්ට සිදුවන බවත් තමන් ජනාධිපතිට දැන්වූ බවත් ඔහු සඳහන් කළේය. එසේම තමන් මේ කටයුත්තේදී කෙතරම් නිවැරදිව කටයුතු කළාද යන්න ගරු අධිකරණයේ තීරණය අනුවත් තහවුරු වූ බවත් කතානායක පැවසීය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න