Language Switcher

V2025

ජනපති අයෙත් 'ගේමක්' ඉල්ලයි : ඡන්දයට පසු කැබිනට් වෙනසක් !

ජනතාවගේ ජීවන බර අඩු කිරීම සඳහා රටේ ආර්ථික කළමනාකරණයේ වගකීම තමා අතට ගන්නා බව ඊයේ (20) කෑගල්ලේ පැවති සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේය.

පසුගිය වසර තුන පුරා එක්සත් ජාතික පක්ෂයට රටේ ආර්ථික කළමනාකරණයට ඉඩ දී තිබුණත් මෙම වසරේ සිට එම වගකීම තමා අතට ගන්නා බව ජනාධිපතිවරයා එහිදී පැවසිය.

ඒ සඳහා මීට තෙමසකට පෙර ජාතික ආර්ථික සභාව පත් කළ බව පැවසූ ජනාධිපතිවරයා, ඒ හරහා රටේ ආර්ථිකය ඉදිරියට මෙහෙයවමින් ජනතාවට සහන ලබාදීමට කටයුතු කරන බව ද ප්‍රකාශ කළේය.

සටන ඡන්දයට පසුදාම :

දේශීය කර්මාන්ත, දේශීය නිෂ්පාදන සහ දේශීය ආයෝජන සියල්ල ආරක්ෂා කරමින් රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ වගකීම තමා භාරගන්නා බව ද මෙහිදී ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, රට හැර නොගොස් මාතෘභූමිය ගොඩනැගීමට එක්වන ලෙස තමා සියලූ දේශීය කර්මාන්තකරුවන්ගෙන් මෙන්ම ආයෝජකයින්ගෙන්ද ඉල්ලා සිටින බව ප්‍රකාශ කළේය.

ස්වාභාවික සම්පත්වලින් අනූන අපේ රට ලෝකයේ දියුණු රාජ්‍යයක් බවට පත්කිරීමට කිසිදු බාධාවක් නොමැති අතර ඇති එකම බාධාව දූෂිත දේශපාලනය බව මෙහිදී ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, දූෂිත දේශපාලනයට තිත තැබීමේ ගමන තමා මෙම පෙබරවාරි 10 වෙනිදා පළාත් පාලන මැතිවරණයත් සමග ආරම්භ කරන බවද කියා සිටියේය.

එමෙන්ම රටේ සියලූ ආගමික නායකයින් උගතුන්, බුද්ධිමතුන් සහ රටේ සියලූ ජනතාව එකම කොඩියක් යටතට ගෙන එමින් මේ රට දූෂණයෙන් වංචාවෙන් තොර ලෝකයේ ප්‍රබුද්ධ රාජ්‍යයක් ලෙස ගොඩනැගීමේ ගමන ද එම මැතිවරණ ජයග්‍රහණයත් සමග අරඹන බව ජනාධිපතිවරයා පැවසීය.

 කැබිනට් සංශෝධනයක් :

ජනාධිපතිවරයාගේ කෑගලු කතාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපති කාර්යාලයේ ප්‍රධානියකු පැවසුයේ පළාත් පාලන මැතිවරණය අවසන්වූ වූ වහාම යලි කැබිනට් සංශෝධනයක් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවයි.

එහිදී ආර්ථිකයට සම්බන්ධ විෂයන් කිහිපයක්ම ජනාධිපතිවරයා යටතට පත්වනු ඇති බවද ඔහු කියා සිටියේය.