රිෂාඩ්ගෙන් වීරවංශට : රෙදි ගැලවෙන අභියෝගයක් !

රිෂාඩ්ගෙන් වීරවංශට : රෙදි ගැලවෙන අභියෝගයක් !

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයේදී දෙමටගොඩ ප්‍රදේශයේ නිවසකදී මරාගෙන මැරුණු තැනැත්තිය තමාගේ මවගේ සහෝදරයාගේ දියණිය බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් තමා ත්‍රස්තවාදය හා සම්බන්ධකරමින් පාර්ලිමේන්තුවේදී සිදුකල ප්‍රකාශය මුලුමනින්ම අසත්‍ය චෝදනාවක් බවත් එහෙත් එම ප්‍රකාශය ඔප්පු කිරීමට වීරවංශ මන්ත්‍රීට හැකිනම් තමන් මන්ත්‍රී ධූරයෙන් පමණක් නොව දේශපාලනයෙන් සමුගන්නා බවත් සඳහන් කරමින් හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අභියෝග කරයි.

විමල් වීරවංශ මන්ත්‍රීවරයාට රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා විසින් මේ අභියෝගය එල්ලකර සිටියේ අද (21) පාර්ලිමේන්තුවේදී වන අතර තමන්ට එල්ල කරන චෝදනාව ඔප්පු කිරීමර වීරවංශ මන්ත්‍රීවරයා අසමත් වුවොත් ඔහු දේශපාලනයෙන් සමුගනීවි යැයි තමා විශ්වාස කරන බව රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

රිෂාඩ්ගේ මවට සහෝදරයෙක් නෑ !

පසුගිය දහ අට වැනිදින (18) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ චෝදනා කර සිටියේ දෙමටගොඩ ප්‍රදේශයේ නිවසකදී මරාගෙන මැරුණු තැනැත්තිය රිෂාඩ් මන්ත්‍රීවරයාගේ මවගේ සහෝදරයාගේ දියණියක වන බවය. වීරවංශ මන්ත්‍රීවරයා එම චෝදනාව එල්ලකර සිටියේද රිෂාඩ් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සභා ගර්භයේ නොමැති අවස්ථාවකය.

නමුත් එදිනම (18) වීරවංශ මන්ත්‍රීගේ එම චෝදනාව මුළුමනින්ම අසත්‍ය බවත් තම මවට සහෝදරයකු නොමැති බවත් රිෂාඩ් මන්ත්‍රීවරයා පැවසීය. එහිදී රිෂාඩ් මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ පාස්කු ප්‍රහාරය එල්ලවූ දිනයේ සිට වීරවංශ මන්ත්‍රී තම මන්ත්‍රී වරප්‍රසාද වලට මුවාවී දිගින් දිගටම අසත්‍ය චෝදනා එල්ල කරන බවත් එබැවින් ඔහුගේ මොළය පරීක්ෂා කළ යුතු බවට පාර්ලිමේන්තුවෙන් ඉල්ලන බවය.

වීරවංශගේ කුජීත කතා : වෛරය ක්‍රෝධය ඇතිකිරීමටයි !

අද පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

"පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට තම අදහස් ඉදිරිපත්කරන්න මේ පාර්ලිමේන්තුවේ නිදහස තියෙනවා.ඒත් චරිත ඝාතනය කරමින් ජාතීන් අතර වෛරය ක්‍රෝධය පැතිරවීම සිදුකරන අසත්‍ය ප්‍රකාශ කිරීම මේ උත්තරීතර පාර්ලිමේන්තුවට අගෞරවය කිරීමක්. ජාතීන් අතර අසමගිය ඇතිකිරීම සදහා සිදුකරගෙන යන මෙම කුජීත ක්‍රියාව මම තරයේ හෙලා දකිනවා. දේශපාලකයකුගේ වගකීම ජාතීන් අතර වෛරය ක්‍රෝධය ඇතිකර ඔවුන් අතර අසමගියක් වර්ධනය කර ඡන්ද පදනමක් ගොඩනගාගැනීම නොවෙයි. මෙවැනි අවස්ථාවක රටට හිතකාමී දේශපාලනඥයකුගේ ප්‍රධාන වගකීම වන්නේ ජාතීන් අතර සමගිය හා සහජීවනය ගොඩනැගීම උදෙසා වැඩකටයුතු කිරීමයි.

මෙවැනි වෛරී ප්‍රකාශන නිසා මා ඇතුලු මගේ පාක්ෂිකයින් ඥාතීන් ඇතුලු පිරිස දැඩි පීඩනයට පත්වෙනවා. අපිට අවශ්‍ය මේ පුංචි රටේ සමගියෙන් හා සහජීවනයෙන් ජීවත් වෙන්න. කිසිදිනක අපි ත්‍රස්තවාදීන්ට උදව් කරලා නැහැ.කරන්නෙත් නැහැ. සියලුම ආගම්වල දර්ශනය අනුව කවදාහරි සත්‍ය ජයගන්නවා කියනකතාව මම අවසානයේ මේ අයට කියන්න කැමතියි."

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න