රත්නපුර භීතිකාව - හාමුදුරුවෝ එළියට !

රත්නපුර භීතිකාව - හාමුදුරුවෝ එළියට !

රත්නපුර නගරය ඡායාරූපගත කිරීම නිසා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් අනුෂ්ක දිල්හාර ඇතුළු සැකකරුවන් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව තමන් බලපෑම් නොකළ බවත්, තමන්ට ඔවුන්ව හිර කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොතිබූ බවත් රත්නපුර, හංගමුව, ජයබෝධි විහාරයේ විහාරාධිපති මෝදරවානේ ඥානකිත්ති හිමි ‘ලංකා‘ පුවත්පතට පැවසීය.

ඔවුන්ට සිදු වූ සිදුවීම සම්බන්ධයෙන් කනගාටු වන බවද සඳහන් කළ ඥානකිත්ති හිමියන්, තමන්ට අවශ්‍ය වූයේ පොලිසියේ හැසිරීමට විරෝධය පළ කිරීමට බවද පෙන්වා දුන්නේය. ඊට හේතු වූයේ මේ සිද්ධියට වඩා පොලිසිය පෙර අවස්ථා ගණනාවකදී හැසිරුණු ආකාරය බවද අප කළ විමසීමකට පිළිතුරු දෙමින් උන්වහන්සේ සඳහන් කළේය.

අනුෂ්ක දිල්හාර ඇතුළු සැකකරුවන් තිදෙනකු අධි තාක්ෂණික කැමරා උපකරණ භාවිත කරමින් රත්නපුර නගරය ඡායාරූපගත කළේ නගරයට ප්‍රහාරයක් එල්ල කිරීමට බවත්, ඔවුන් අයිඑස්අයිඑස් සංවිධානය සමග සම්බන්ධකම් පවත්වන බවත් මේ හිමියන් මුලදී චෝදනා කළේය. රත්නපුර පොලිසිය ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරෙමින් උන්වහන්සේ ඇතුළු පිරිසක් සැකකරුවන් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට තමන්ට ලබාදෙන ලෙස පොලිසියට බලපෑම් කර තිබිණි.

අනුෂ්ක දිල්හාරගේ පියා වන නන්දසේන කළුපහන ‘ලංකා‘ පුවත්පතට පැවසුවේ මෝදරවානේ ඥානකිත්ති හිමියන් තමන් කළ වරද සම්බන්ධයෙන් දැන් පසුතැවෙන බවයි. මෙය බරපතළ වන බවක් තමන් නොසිතූ බවද උන්වහන්සේ අනුෂ්ක දිල්හාරගේ පියාට පවසා තිබිණි.

අයිඑස්අයිඑස් සංවිධානයේ ක්‍රියාකාරිත්වය සහ ඇමරිකාව ප්‍රමුඛ රටවල් එය මෙහෙයවන ආකාරය සම්බන්ධයෙන් ගවේෂණය කරමින් සිටි අනුෂ්ක දිල්හාර ඇතුළු සැකකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ගොනු කර තිබුණේ රත්නපුර පොලිසියෙනි. එම නිසා තමන්ට ඇප ලබාදීමට බලයක් නොමැති බව රත්නපුර මහේස්ත්‍රාත්වරයා පවසා තිබිණි.

කෙසේ වෙතත් පසුගිය 17 දා නඩුව කැඳවූ අවස්ථාවේදී පොලිසිය අධිකරණයට දන්වා තිබුණේ සැකකරුවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතට ගැනෙන කිසිදු වරදක් කර නැති බවයි. එම නිසා චෝදනා සංශෝධනය කිරීමට පොලිසිය අධිකරණයෙන් අවසර ඉල්ලා තිබිණි. නඩුව ලබන 24 යළි කැඳවීමට නියමිතය.

මේ ආකාරයට අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු නීතිවිරෝධී ලෙස විශාල පිරිසක් අත්අඩංගුවට ගැනිණි. මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටින එවැනි විශාල පිරිසක් නිර්දෝෂී බව තහවුරු වී තිබුණද, ආණ්ඩුවේ ඉහළම පාර්ශ්වයන් උපදෙස් දී ඇත්තේ ඔවුන් දැන්ම නිදහස් නොකරන ලෙසයි. ඊට හේතුව ආණ්ඩුව ඡන්දයකට සූදානම් වීමයි. ඡන්දයක් නිසා විනාශ කරන අනුෂ්කලා ඇතුළු විශාල පිරිසකගේ ජීවිත සම්බන්ධ කාරණය අමතක කළ නොහැකි බරපතළ ගැටළුවකි.

ශාලික විමලසේන
(ලංකා ඉරිදා සංග්‍රහය)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න