"අද මම කථාවේදී සදහන් කිරීමට අදහස් කළ "උදාගමින් උදාගමට නව නිවහන් තැනේවා" යන ගීතය මේ අවස්ථාවේදී වේදිකාවේ ඉදිරිපත් කළා. 1982 වසරේදී කුලරත්න නියෝජ්‍ය අමාත්‍යතුමා සමඟ මම රක්වානේ වැලිගෙපොල මහා විද්‍යාලයට ගිය අවස්ථාවේදී එහි ශිෂ්‍යාවන් නර්තනයක් සමඟ මෙම ගීතය ඉදිරිපත් කළා. එහිදි එම ගීතය නිර්මාණය කළ ගුරුතුමා ද මට හමුවුණා. ඉතා මිහිරි මෙම ගීතය මා රණසිංහ ප්‍රේමදාස අගමැතිතුමාට ලබා දුන්නා. රනිල් මෙය ඔබේ තරුණ සේවා කණ්ඩායමට සුදුසු ගීතයක්, ලෙස ඔහු එදා පැවසුවා. තරුණ සේවා කණ්ඩායමෙන් නිමවුණු එම සංගීතය 1982 ජනාධිපති මැතිවරණ ව්‍යාපාරයටත් යොදා ගත්තා." යැයි අග්‍රාමාත් රනිල් වික්‍රමසිංහ පවසයි.
අග්‍රාමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 40 වන සංවත්සරය නිමිත්තෙන් පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති උත්සවයේදීය.
එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවසීය.
ඒ වන විට රණසිංහ ප්‍රේමදාස මැතිතුමා විප්ලවයක් ආරම්භ කර තිබුණා. ඒ "උදාගමින් උදාගමට" ගම්බිම් ව්‍යාපෘතියයි. ඊට පෙර එවැනි වැඩකටයුතු සිදුකර තිබුණේ නැහැ. එදා බලයට පැමිණ, ජනතාව ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමෙන් පසු අපට බලාපොරොත්තු දෙකක් තිබුණා. හිසට නිවහනක් සහ දරුවන්ට අධ්‍යාපනය එම බලාපොරොත්තු ඉටුකර දීම වෙනුවෙන් කැපවුණා. නිදහස් අධ්‍යාපන ක්‍රමය නිසා රටේ පාසල් ක්‍රමය දියුණු කළ යුතුව තිබුණා. එවකට රටේ නිවාස වලින් බහුතරයක් තිබුණේ මැටි වලින් තැනු පොල්අතු සෙවිලි කළ නිවාසයි. විදුලි ආලෝකය දැකලවත් නැති අය සිටියා. ජලය ලබා ගැනීමට සැතපුම් ගණන් යායුතුව තිබුණා. වැසිකිලි පහසුකම් තිබුණෙත් නෑ.
1977 දී එවැනි දුෂ්කර රටක් රණසිංහ ප්‍රේමදාස මැතිතුමා විසින් භාර ගත්තා. එතුමා 1978 යාපහුව කේන්ද්‍ර කර ගනිමින් සංවර්ධන කටයුතු ඇරඹුවා. ඒ තුළින් "ගම් උදාව" වැඩසටහන බිහි වුණා. ඒ උදාගම් ව්‍යාපාරයේ පෙර ගමන්කරු වූයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියයි. එදා රණසිංහ ප්‍රේමදාස මැතිතුමා සමඟ වැඩකළ බොහෝ දෙනෙක් අද මෙතැන සිටිනවා. පාස්කරලිංගම්, අබේසිංහ, කලංසූරිය, සහ අයිලප්පෙරුම යන මහත්වරු ඇතුළු බොහෝ දෙනෙක් ඒ අතර වෙනවා.
ප්‍රේමදාස ඇරඹි නිවාස විප්ලවය !
මෙලෙස ඇරඹු නිවාස වැඩ පිළිවෙල යටතේ මුලින්ම නිවාස ලක්ෂයක් ඉදිකළා. ඉන්පසු ලක්ෂ 10ක් ඉදිකළා. මුළු රටම එම ව්‍යාපෘතියට එකතු වුණා. පුද්ගලික අංශයද ඒ සඳහා මුදල් යෙදෙව්වා. පන්සල් පල්ලිවලින් ඉඩම් ලබාදුන්නා. එසේම මට මතකයි එකල රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යනායකයින් නිවිතිගල නිවසක් හදන බව මා සමඟ පැවසුවා. එහි ගම්මානයක් සකස් කළා. අනෙකුත් ප්‍රධාන පාසල් ද ඊට සහාය ලබා දුන්නා. මම වල්ගම උදාගම්මානය ඉදිකරන විට එහි මහා විද්‍යාලයේ සියලූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් උදව්වට පැමිණියා. යෞවන සමාජ, ග්‍රාම සංවර්ධන සමිති ද නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියට සහාය ලබා දුන්නා.
එදා ඒ සඳහා වෙන් කළ ඉඩම අද වෙළඳ කලාපයට මායිම්ව තිබෙනවා. අද එහි වටිනාකම ගැන මා අමුතුවෙන් සඳහන් කළයුතු නැහැ. ඒ ආකාරයෙනුයි මා ප්‍රේමදාස ජනාධිපතිතුමා සමඟ මේ වැඩකටයුතු ආරම්භ කළේ. එදා අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් මට එම අවස්ථාව ලැබුණා. රණසිංහ ප්‍රේමදාස මැතිතුමා අධ්‍යාපනය පිළිබඳ විශාල උනන්දුවක් දැක්වූවා. නිවාස තනා ගම්බිම් ඉදි කළ පසු දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දිය යුතු වෙනවා. ඒ නිසා රණසිංහ ප්‍රේමදාස මැතිතුමා නොමිලේ පොත් ලබා දුන්නා. එතුමා උදාගම්මාන අසල ඇති පාසල් සංවර්ධනය කිරීම පිළිබඳ නිතර නිතර මගෙන් විමසුවා.
අද මේ රටේ පොල්අතු සෙවිලි කළ මැටි වලින් තැනූ නිවාස කීයක් තිබෙනවාද? මා දන්නා පරිදි කුරුණෑගල හා අනුරාධපුරයේ මෙවැනි ගෙවල් 20ක් පමණ තිබෙනවා. එහි නම උල්පත. එම නිවාසවල රැයක් ගත කිරීමට විදේශිකයෙකුන් ඩොලර් 400ක් පමණ අය කරනවා. එය සංචාරක කර්මාන්තයට අදාලවයි. ඒ හැරුණු කොට පොල් අතු මැටි වලින් සකස් කළ නිවාස තිබෙන බව මා සිතන්නේ නෑ. මීට සමාගමීව නොමිලේ වැසිකිලි ව්‍යාපෘති ක්‍රියාත්මක කළා. පානීය ජලය සඳහා විමධ්‍යගත අයවැයෙන් ළිං සකස් කර දුන්නා. විදුලි බලය ලබා දුන්නා. පාරවල් තැනුවා. ඒ ආකාරයට සාමාන්‍ය ජනතාවගේ ජීවන බර අඩු කළා. අපේ බානගල ස්වාමීන් වහන්සේ දන්නවා අපි බියගම දියුණු කළ ආකාරය. සෑම තැනටම විදුලි බලයත් ලබා දුන්නා. කිසි අඩුවක් තිබුණේ නැහැ. මන්ත්‍රීවරු හැම දෙනාම රැස් වුණා. යුද්ධය තිබියදීත් අපි එම අදාල ස්ථානවලට ගියා. එදා ඇරඹි විශාල විප්ලවයේ 40 වන වසරයි අද අපි සමරන්නේ.
ජූලි 23 විශේෂ දවසක් !
අපට ජූලි 23 තවත් විශේෂ දවසක්. විශාල උත්සවයක් සමඟ සංකේතවත්ව ගම් උදාව ප්‍රථම වරට ආරම්භ වුණේ ජුලි 23 වනදා දවසක. විපක්ෂය කිව්වේ මෙය සර්කස් එකක් කියලා. විශාල ජනතාවක් එදා ගම් උදාව නැරඹිමට පැමිණියා. 1993 හොදම ගම්උදාව වැඩසටහන මිහින්තලයේ පැවැත්වීමට ප්‍රේමදාස මැතිතුමා සැලසුම් කළා. නමුත් අවාසනාවකට එය ඉටු කිරීමට නොහැකි වුණා. ඊට පෙර ඉතා අලංකාරවත්ව බුත්තල ගම් උදාව පැවැත්වුණා. එය නැරඹිමට මගේ මවත් පැමිණියා. ඒ බව ප්‍රේමදාස මැතිතුමාට ආරංචි වී මගේ මව සහ මා සමඟ කථා බහ කර එදින රාත්‍රි භෝජනයට ද එක්වුණා. එතුමා රට වෙනුවෙන් සිදුකළ දැවැන්ත කටයුතුවලට අපේ තරුණ සේවා සභාවෙන් විශාල සහයෝගයක් ලබා දුන්නා.
ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති වීමෙන් පසුව මේ කටයුතු අඛණ්ඩව ඉදිරියට මෙහෙය වූවා. එසේම නව කටයුතු ද ආරම්භ කළා. අඟලූම් කර්මාන්ත ශාලා 200ක් ආරම්භ කළා. කර්මාන්ත ඇමති ලෙස ඊට අවශ්‍ය ඉඩම් සොයා දෙන ලෙස මට භාර කළා. කොග්ගල, සීතාවක වෙළඳ කලාප ආරම්භ කළා. ඒ ආකාරයට රටේ ආර්ථිකය නැංවීමේ කටයුතු ඇරඹුවා. නමුත් අවාසනාවකට එතුමා අප අතරින් වෙන්වුණා. එසේ නොවුණා නම් රට තුල ප්‍රේමදාස මැතිතුමා විසින් මීට වඩා වෙනසක් සිදු කරන්නට තිබුණා.
කෙසේ හෝ ඉන්පසු නිවාස ව්‍යාපාරය විවිධ මාර්ග ඔස්සේ ගමන් කළා. නමුත් 2015 අපේ ආණ්ඩුව පිහිටුවීමත් සමඟ සජිත් ප්‍රේමදාස මැතිතුමාට නිවාස අමාත්‍යාංශය භාර දුන්නා. එතුමා විසින් නිවාස ඉදිකර ගම්මාන සකස් කර විශාල වැඩකොටසක් නිමා කර අද මෙම උත්සවය පවත්වනු ලබනවා. මේ වැඩසටහන් සඳහා ලබා දුන් මුදල් වලින් 95% වියදම් කළ බව එතුමා පවසනවා. එය වැරදියි. ලබාදුන් මුදල් නිවාස සඳහා වියදම් කර තවත් මුදල් ඒ සදහා ලබා ගැනීමට උත්සාහ කළා. මුදල් අමාත්‍යාංශය විසින් මෙම නිවාස ව්‍යාපෘතියේ සාර්ථකත්වය වෙනුවෙන් කෙසේ හෝ මුදල් ලබා දුන්නා. අපට අවශ්‍ය වූයේ ගම සංවර්ධනය කිරීමටයි. එතුමා සෑම ප්‍රදේශයකම අඩුම තරමේ නිවාස 25ක් වත් ආරම්භ කර තිබෙනවා.
ජීවත් වන්න නිවසක් නොතිබුණ ජනතාවට අද ඒ අවශ්‍යතාවන් සපුරා දී තිබෙනවා. මට එම නිවාස වලට යන්න අවස්ථාව ලැබුණා. මේ වන විට විදුලි බලය ඇතුළු සෑම පහසුකමක්ම සමගින් සජිත් ඇමතිතුමා නිවාස ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යනවා.
රණසිංහ ප්‍රේමදාස වැඩපිළිවෙල සජිත් ඉදිරියට ගෙන යනවා !
තවද ප්‍රේමදාස ජනාධිපතිතුමා ගුණසිංහපුර ආරම්භ කළා. එසේම මධ්‍යම පාංතිකයන්ට ඇල්විටිගල නිවාස ඇරඹුවා. සජිත් ඇමතිතුමා ඒ කටයුත්ත ඉදිරියට ගෙන යමින් මධ්‍යම පාන්තිකයන්ගේ නිවාස අවශ්‍යතාවය ඉටුකර ගෙන යනවා. මේ ආකාරයට රටේ සෑම අංශයකටම නිවාස ලබාදීමට අපි කටයුතු කරනවා. සජිත් ඇමතිතුමා සෑම විටම ඉන්නේ ගමේ. රට පුරා ගොස් එම නිවාස ඉදිකිරීමේ කටයුතු සිදු කරනවා. මේ වැඩකටයුතු සඳහා සජිත් ඇමතිතුමාට උදව් කළ අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුළු සියලූ දෙනාට මම ප්‍රශංසා කරනවා.
මේ අයුරින්ම අපි අනාගතය ගැන සිතා බැලිය යුතුයි. ඉදිරියටත් අපි තවදුරටත් නිවාස සකස් කළ යුතුයි. මම එතුමාගෙන් විමසුවා ඉඩම් හිඟකම නිසා ඉදිරියේදී ග්‍රාමීය නිවාස ඉදිකිරීමේදී දෙමහල් නිවාස ඉදිකල යුතුද කියා. අද චීනය එම කටයුත්ත මේ වන විට සිදු කරනවා. නමුත් ලංකාවේ හේන මැදත් නිවාස හදනවා. අද චීනයේ කුඹුරු එක තැනක, අනෙකුත් වගාබිම් තව තැනක. නිවාස වෙනම ස්ථානයක. විශේෂයෙන් නාගරික නිවාස ගැටළුව ගැන අපි තවදුරටත් සිතිය යුතුයි.
අද වන විට විවාහ වී සිටින තරුණ පිරිස්වලට නිවාස මිලදී ගැනීම විශාල ගැටළුවක් බවට පත්වී තිබෙනවා. මෙය තවත් උග්‍රවනවා මිස අඩු වෙන්නේ නැහැ. එසේ නම් එම නිවාස ගැටළුවට මුහුණ දිය යුතුයි. පානීය ජල සැපයුම වැඩි කළ යුතුයි. පරිසරය ආරක්ෂා කළ යුතුයි.
එසේ නම් රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ආරම්භ කළ විප්ලවය සජිත් මැතිතුමා ඉදිරියට ගෙන යෑම පිළිබඳව මම එතුමාට විශේෂයෙන් ප්‍රශංසා කරනවා. නිවාස තනා ගම දියුණු කරමින්, අනාගතයට මුහුණ දිය යුතුයි. "සෑම කෙනෙකුටම නිවසක්" යන වචන කිහිපය අපි සත්‍යයක් බවට පත් කළ යුතුයි. දියුණු රටක් තැනීම අපේ කාර්යයි. නිවාස ලබාදීමේ ක්‍රමයක් ද ඇතිකළ යුතුයි. එම නිවාස මිලට ගැනීමට අවශ්‍ය ආදායම් මාර්ග, සහන කටයුතු අප සලසා දිය යුතු වෙනවා. ඒ ආකාරයට කටයුතු කිරීමෙන් මෙම විප්ලවය අවසන් කළ යුතුයි. ගෙවුණු වසර 40 තුල කළ සේවය දෙස බලා අනාගත අභියෝගයට අපි සූදානම් වෙමු යැයි අවසාන වශයෙන් මා සඳහන් කරනවා.

