රිෂාඩ් සියල්ල හෙළිකරයි !

රිෂාඩ් සියල්ල හෙළිකරයි !

තමන්ට එරෙහිව "අසත්‍ය චෝදනා" ඉදිරිපත් කරන එස් බී දිසානායක සහ විමල් වීරවංශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් සිකුරාදා (ජූනි 28) පැවති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට පැමිණෙන ලෙස තමන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති බවය.

"මමත් එක්ක තියෙන වෛරය නිසා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙන්නෙක් අර දවස් 52 කාලයේදී මට එතුමන්ලා ආරාධනා කළා ඒ ගොල්ලො හදපු ආණ්ඩුවට එන්න කියලා. එක මන්ත්‍රීවරයෙක් නිතර ම මට කරදර දීගෙන හිටිය අර පැත්තට එන්න කියලා. ඒ වෙලාවෙදි මම ගියෙ නැති නිසා එතුමා දිගට ම මට විරුද්ධව බොරු චෝදනාවක් එල්ල කරනවා," රිෂාඩ් බදියුද්දීන් මන්ත්‍රීවරයා පැවසීය.

ඔහු ඒ බව ප්‍රකාශ කළේ, සතොස වාහන ත්‍රස්ත කටයුතු සඳහා යොදා ගත් බවට එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් කමිටු සාමාජික රවි කරුණානායක ඇමතිවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදීය.

එහිදී රිෂාඩ් බදියුද්දීන් කියා සිටියේ, තමන්ට එරෙහිව චෝදනා ඇත්නම් ඔවුන් ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කරනු ඇතැයි තමන් අපේක්ෂා කළ ද එවැනි කටයුත්තක් සිදු නොවූ බවය.

"ඒ අය දේශමාමක විදිහට කතා කරනවා. ඒ අය රට ගැන හිතනවා නම් මං ගැන ඒ චෝදනා ගැන පරීක්ෂණයක් කරන්න කියලා ඉල්ලන්න තිබුණා. එයාල එහෙම කෙරුවෙ නෑ. නමුත් මම ගියා පොලිසියට. මම ගිහිල්ලා අර මන්ත්‍රීවරු දෙන්නට විරුද්ධව වැඩබලන පොලිස්පතිතුමාට ලිඛිතව මම පැමිණිල්ලක් දාල තියෙනවා. ඒ කොපි දෙක ම මෙතන තියෙනවා. එකක් එස් බී දිසානායක මන්ත්‍රීතුමාට. එකක් විමල් වීරවංශ මන්ත්‍රීතුමාට. ඒ මන්ත්‍රීවරු දෙන්න තමයි ඒ ප්‍රකාශ කරල තිබුණේ."

ඔහු වැඩිදුරටත් පැවසුවේ, තමන්ට එරෙහිව ඉදිරිපත් කර තිබූ විශ්වාසභංග යෝජනාවේ සඳහන් කර තිබූ චෝදනා 10 ම අසත්‍ය ඒවා බවය.

"මම සමාජයෙන් සමාව ඉල්ලනවා, ඉස්ලාම් ආගමේ නම පාවිච්චි කරලා කරපු මේ අපරාධය ගැන. මම යෝජනා කරනවා, දේශපාලන පක්ෂ මේත තමන්ගේ වාසියට නොගෙන වැඩ කරන්න කියලා. රටක් තිබුණොත් විතරයි අපිට දේශපාලනය කරන්න පුළුවන්. ඒ නිසා අපිට ත්‍රස්තවාදයක් අවශ්‍ය නැහැ."

මුස්ලිම් විරෝධී ප්‍රහාර ගැනත් විමර්ශනයක් කරන්න"

මෙහිදී ඉල්ලීමක් කරමින් රිෂාඩ් බදියුද්දීන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසුවේ, මාධ්‍යවලින් ප්‍රචාරය කරන ඇතැම් සාවද්‍ය පුවත් නිසා රට තුළ ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වූ බවය.

එම පුවත් පදනම් කරගෙන ජනතාව අතර ප්‍රශ්න මතු වූ අතර, ත්‍රස්තවාදීන් විසින් පාස්කු ඉරිදා එල්ල කළ ප්‍රහාරයෙන් පසු "අහිංසක මුස්ලිම් වැසියයන්" ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල වූ බව ඔහු පෙන්වා දුන්නේය.

"ගෑවිච්ච සියලු දෙනාට උපරිම දඬුවම් දෙන්න. අහිංසක මිනිස්සුන්ට හානි කරන්න එපා. ඒවා කරල ඡන්ද දිනල වැඩක් නැහැ. ඡන්ද කරන්න රටක් තියෙන්න ඕන."

ඒ අනුව, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලබා දෙන අතර මුස්ලිම් විරෝධී ප්‍රහාර සම්බන්ධයෙන් ද විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා සිටින බව ඔහු පැවසීය.

"මටත් පවුලක් ඉන්නවා. දරුවො ඉන්නවා. ඒ ගොල්ලො ඉස්කෝලෙ යනවා. ඒ මාධ්‍ය වාර්තාවලට සම්බන්ධ හිමිකරුවන් ගෙන්වා අහන්න කියල ඉල්ලා සිටිනවා."

 107578855 b5935369 6a6c 4734 a11b 962907356564අක්කර 3000ක චෝදනාව

ඔහුට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අක්කර 3000ක් අයත් බවට වන චෝදනා සම්බන්ධයෙන් ද මෙහිදී ප්‍රශ්න කෙරිණි.

ඊට පිළිතුරු දෙමින් රිෂාඩ් බදියුද්දීන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, තමන්ටත් සිය පවුලේ ඥාතීන් සියලු දෙනාටත් අයත් ඉඩම් ප්‍රමාණය අක්කර 55ක් පමණක් වන බවය. අක්කර 55කට වඩා ඉඩම් තමන් හෝ ඥාතීන්ට අයත් වේ නම් ඒ සියල්ල රජයට පවරා ගන්නා ලෙස ඉල්ලා සිටින බවය.

මවුලවි නමැත්තෙකු අත්අඩංගුවට ගැනීම

රිෂාඩ් බදියුද්දීන්ගේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ මවුලවි නමැත්තෙකු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්දැයි මෙහිදී ප්‍රශ්න කෙරිණි.

එහිදී, නාලිකාවක විකාශය වූ පුවත් වීඩියෝවක් ඉදිරිපත් කරමින් ඔහු ප්‍රකාශ කළේ, එම තැනැත්තා තමන්ගේ උපදේශකවරයෙකු නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පසුගිය පළාත් පාලන මැතිවරණයට තරග කළ පුද්ගලයෙකු බවය.

ආරක්ෂක අංශවලට බලපෑම් කළා ද?

තමන් කිසිදු අවස්ථාවක අත්අඩංගුවට ගත් පුද්ගලයින් සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් නොකළ බවත් වැරදි කළ සියලු දෙනාට උපරිම දඬුවම් දිය යුතු බවත් ඔහු පැවසීය.

දෙහිවලදී අත්අඩංගුවට ගත් තරුණයෙකු සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත්තේ ද යන්න පිළිබඳව දැන ගැනීමට එම තරුණයාගේ පියා කළ ඉල්ලීමක් අනුව තමන් යුද්ධ හමුදාපතිවරයාට කතා කළ බව ඔහු සඳහන් කළේය.

එහිදී ඔහු පැවසුවේ, තමන් එම තරුණයා නිදහස් කරන ලෙසට කිසිදු බලපෑමක් නොකළ බවය.

අදාළ තරුණයා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් තමන්ගෙන් විමසීමක් කළ නමුත් කිසිදු බලපෑමක් නොකළ බව හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක ද පසුගියදා පාර්ලිමේන්තු කමිටුව හමුවේ පිළිගත්තේය.

රටේ පවතින නීතියට එකඟයි"

තමන් රටේ පවතින නීතියට එකඟ බවත් ඊට ගරු කරන බවත් රිෂාඩ් බදියුද්දීන් සඳහන් කළේය.

"රට ඇතුළේ තියෙන නීතිය පිළිඅරගෙන ජීවත් වෙන්න තමයි අපි කැමති. සෞදි නීතිය හෝ සංස්කෘතිය මෙහෙ ගේන්න කියල කියන්නේ නෑ. මූණ වහන්න එපා කිව්ව ම අපි ඒක පිළිගත්තා. අපි රටේ නීතියට ගරු කරන්න ඕනේ."

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුද්දීන්ගේ සාක්ෂි සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔහු එම ස්ථානයෙන් පිටව ගිය පසු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා එවා තිබූ ලිපියක් මාධ්‍ය වෙත කියවීය.

එම ලිපියෙන් දැනුම් දී තිබුණේ, අසාත් සාලි, එම් එල් ඒ එම් හිස්බුල්ලා සහ රිෂාඩ් බදියුද්දීන් අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ වූයේ ද යන්න පිළිබඳව මෙතෙන් කරන ලද විමර්ශන අනුව ඔවුන් ඊට සම්බන්ධ වී ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති බවය.

මීට ඉහතදී බීබීසී සිංහල සේවය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් රිෂාඩ් බදියුද්දීන් මන්ත්‍රීවරයා තමන්ට එරෙහිව එල්ලවන චෝදනා තරයේ ප්‍රතික්ෂේප් කළේය.

දයාසිරි ජයසේකර

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කැඳවා තිබිණි.

එහෙත් ඔහු එම කමිටුව හමුවේ පෙනී නොසිටියේය.

එහිදී කමිටු සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි, දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා වෙනත් දිනක කැඳවීමට අවශ්‍ය ලියකියවිලි සකස් කරන ලෙස පාර්ලිමේන්තු නිලධාරීන්ට දන්වා සිටියේය.

කෙසේ වෙතත් සිකුරාදා පෙරවරුවේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළේ තමන් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවා තිබුණ ද තමන් ඊට සහභාගි නොවන බවය.

(බීබීසී )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න