මට මරණ තර්ජන තියනවා - සිරිසේන : ඝාතන කුමන්ත්‍රණ නාටකය යළිත් වේදිකාවේ !

මට මරණ තර්ජන තියනවා - සිරිසේන : ඝාතන කුමන්ත්‍රණ නාටකය යළිත් වේදිකාවේ !

මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙල හේතුවෙන් තමාට මරණ තර්ජන එල්ල වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් බුද්ධි අංශ අනතුරු අඟවා ඇති බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පොළොන්නරුව ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

මත් උවදුර මැඩ පැවැත්වීම සඳහා තමා නායකත්වය දෙන බැවින් එම වැඩපිළිවෙල දුර්වල කිරීමට යම් පිරිසක් උත්සාහ දරන බවත්, එසේ දුර්වල කිරීමට නොහැකි වුවහොත් තමාව ඝාතනය කිරීමට පවා ඉඩ ඇති බවත් ඔහු පවසයි. මේ පිටුපස සිටින්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

ජනාධිපතිවරයා විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට තීරණය කිරීමට එරෙහිව මේ වනවිට අධිකරණයට පෙත්සම් කිහිපයක් ඉදිරිපත්ව ඇති අතර, එය ද මෙම කුමන්ත්‍රණයේ කොටසක් වියහැකි බවයි සිරිසේන මහතා පවසන්නේ.

කුමන තර්ජනය එල්ල වුවද රටේ යහපත වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග අඩපන කිරීමට ඉඩ නොතබන බවත්, දූෂණය, වංචාව, මහජන මුදල් අවභාවිතය සම්බන්ධයෙන් ද තමාගෙන් කිසිදු සමාවක් නැති බවත් පෙන්වා දෙන ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසන්නේ තමාට කිසිවෙකුත් ආරක්ෂා කිරීමට අවශ්‍ය නොවන බවයි.

මීට පෙර ද ජනාධිපතිවරයා අවස්ථා දෙකකදී තමාව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණ සම්බන්ධයෙන් හෙළි කළේය.

යම් හෙයකින් පසුගිය ජනාධිපතිවරණයේදී තමා පරාජයට පත්වූයේ නම් අඩි හයක් යටට යැවීමට පිරිසක් බලා සිටි බවත් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්වන විට කුරුණෑගල ප්‍රදේශයේ පොල් වත්තක සැඟවී සිටි බවත් ඔහු මීට පෙර ප්‍රකාශ කළේය.

ඉන් අනතුරුව දූෂණ විරෝධී බලකාය නමැති සංවිධානයේ මෙහෙයුම් අධ්‍යක්ෂක නාමල් කුමාර හරහා තවත් ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් එළියට පැමිණි අතර ඒ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණද ක්‍රියාත්මක වේ. එහෙත් තවමත් එවැනි ඝාතන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූයේද යන්න තහවුරු වී නොමැත. පසුගිය ඔක්තෝබර් ව්‍යවස්ථා විරෝධී ආණ්ඩුවක් පිහිටුවීමට ද එම කුමන්ත්‍රණය එක් සාධකයක් විය.

[LNW]

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න