මරණීය දණ්ඩනය නියම කිරීමට ජනාධිපතිවරයා යවා ඇති නම් ලැයිතුවේ සඳහන් සිරකරුවන් 20 දෙනාගේ දඬුවම් නියමකළ දිනය, නඩු අංකය සහ මරණීය දණ්ඩනය නියම කිරීමට අදාලව බන්ධනාගාර ආඥාපනත යටතේ නිකුත් කර ඇති සියළුම රෙගුලාසි මුදා හරින ලෙස තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව ඊයේ(02) බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නියෝග නිකුත් කර ඇත.
අදාල තොරතුරු නිකුත් කරන ලෙස ඉල්ලමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ මලින්ද සෙනවිරත්න තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවට ගොනුකර තිබූ අභියාචනා දෙකක් ඊයේ විභාගයට ගත් අවස්ථාවේ මෙම නියෝගය සිදුකර තිබේ.
අභියාචනා විභාගයට පැමිණි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ 20 දෙනෙකුගේ නම් සඳහන් ලියවිල්ලක් ජනාධිපතිවරයා වෙත යවා ඇති බවත් එම නම් ලැයිස්තුව ලබාදීමට නම් අදාල සිරකරුවන්ගේ කැමැත්ත විමසා සිටිය යුතු බවත් ය.
එම නම් ලැයිස්තුව සම්බන්ධයෙන් තීරණයක් ලබා දීම කල් තැබූ තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව එම පිරිසට මරණීය දණ්ඩනය නියම කළ දිනයන් සහ නඩු අංක ද, බන්ධනාගාර ආඥා පනත යටතේ මරණ දඩුවමට අදාලව මෙතෙක් නිකුත් කර ඇති සියලුම රෙගුලාසිවල පිටපත් ද අභියාචකයන් හට නිකුත් කරන ලෙස නියෝග කළේය.
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ නිලධාරීන් ද අභියාචනය විභාග කිරීමේ අවස්ථාවට එක්ව ඇත.

