මෙතන තිබුණේ වසර ගණනාවක පටන් පැවති ප්‍රශ්නයක් බවත් ඒ ප්‍රශ්නයට මානුෂීය විසඳුමක් ලබාදෙන්න අද අපට හැකි වුණ බව විදුලිබල , බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පවසයි.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු තෙල් නල එළීමේදී ඒ අසල ජීවත් වූ ජනතාව සම්බන්ධයෙන් ඇතිවී තිබු ගැටලුකාරී තත්ත්වයට විසදුම් ලබාදීම සදහා බ්ලූමැන්ඩල් දුම්රිය මාර්ගය අසල පිහිටා ඇති නිවැසියන් හමුවීමට පැමිණි අවස්ථාවේදී අමාත්‍ය කරුණානායක මේ බව අවධාරණය කළේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
“මේ අහිංසක ජනතාවගේ ජීවන මට්ටම දැකලා තමයි අපි ඉල්ලීමක් කළේ ඔවුන්ට සහනයක් ලබාදෙන්න කියලා. මේ විසඳුම මීට කලින් ලබාදුන්නානම්, අද මේ ගැටලුකාරී තත්ත්වයට මුහුණ දෙන්නේ නැහැ. ඇතිවෙලා තිබු ගැටලුවට අද ස්ථිර විසදුමක් ලැබුණා. දැන් බයෙන් ජීවත්විය යුතු නැහැ. තමාට තමාගේම කියල ජීවත් වෙන්න, අලංකාර නිවසක් අද රජයෙන් ලැබිලා තිබෙනවා. මේ තුළින් අපි රටේ සංවර්ධනයට දායක විය යුතුයි. ඒ ආකාරයෙන් තමයි රටක් ගොඩනැගිය යුත්තේ.
එදා මේ ආකාරයෙන් ඉල්ලීම් කළා නම් සුදු වෑන් එකක යන්න තමයි වෙන්නේ. මෙන්න මේක තමයි අද ඇතිවෙලා තිබෙන වෙනස.
රටක් දියුණූ කරන්න විනයක් අවශ්‍යයි. ප්‍රශ්නයක් ඇතිවන තුරු බලන් ඉදලා, ඒ ප්‍රශ්නය පසුපස යන එක නෙමෙයි කරන්න ඕන. විනය තුළින් අපි ජනතාවට උදවු කළ යුතුයි. ඒක තමයි සැබෑ නායකත්වය. අභියෝග වලට බය වෙන්න ඕන නැහැ. සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසදන්න පුළුවන්.
බ්ලූමැන්ඩල් ජනතාව සහ ඛනිජ තෙල් සංස්ථාව සම්බන්ධයෙන් මේ ඇතිවූ ප්‍රශ්නය තුළින් ඒ තත්ත්වය පැහැදිළි වුණා. ඉදිරියේදීත් අපිට ඕනෑම ප්‍රශ්නයකට මුහුණදිය හැකියි. ඒ තුළින් අපි රට සංවර්ධනය කරමු. අපිට රටක් අවශ්‍යයි. රටක් හදන්න විනයක් ඕන. ඒ විනය තුළින් මේ සිංහල බෞද්ධ රටේ දෙමළ, හින්දු, මුස්ලිම්, මැලේ, කතෝලික, ඉස්ලාම් ආදි සැම ජාතියකම සෑම ආගමකම ජනතාවට එකට ජීවත්විය හැකි මට්ටමේ තත්ත්වයක් උදාකළ යුතුයි”

