හේමසිරිට -පූජිත්ට : මිනීමැරුම් චෝදනා නීතිපති බලපෑමෙන් !

හේමසිරිට -පූජිත්ට : මිනීමැරුම් චෝදනා නීතිපති බලපෑමෙන් !

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිවයුතු යැයි සදහන් කරමින් අනිවාර්ය නිවාඩු යවා ඇති හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ට සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු ට මිනීමැරුම් චෝදනා එල්ල කර ඇත්තේ නීතිපති දප්පුල ලිවේරා කර ඇති දැඩි බලපෑම් නිසා බව වාර්තා වෙයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් රාජකාරිමය වගකීම පැහැර හැරීම ගැන හිටපු පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට චෝදනා ගොනුකළ හැකි නමුත් එම ප්‍රහාරය සම්බන්ධයෙන් මිනීමැරුම් චෝදනා එල්ල කළ නොහැකි බව පොලිසිය නීතිපතිවරයාට දැනුම්දී ඇත.

එහෙත් නීතිපති දප්පුල ලිවේරා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්නට තදින්ම දැනුම්දී ඇත්තේ හිටපු පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා අත්අඩංගුවට ගෙන මිනීමැරුම් චෝදනාද ඇතුළත්ව චෝදනා ගොනුකර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් කරන ලෙස නීතිපතිවරයා මුලින්ම වැඩබලන පොලිස්පතිවරයාට දැනුම්දී ඇති අතර ඒ සදහා නීතිපතිවරයා උපයෝගී කරගෙන ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පත්කල කමිටුව ලබාදුන් වාර්තාවය. එම වාර්තාව ජනාධිපතිවරයා නීතිපතිවරයාට යොමුකර තිබුණි.

පසුව පොලිස් විමර්ශන වාර්තාව යොමුකරන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම්දී ඇත. එහිදී වැඩබලන පොලිස්පතිවරයා දැනුම්දී ඇත්තේ එම විමර්ශන අවසන්ව නොමැති බවයි. එතෙක් කර ඇති විමර්ශනවල තත්ත්වය තමාට යොමුකරන ලෙස ඉන්පසු නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම්දී ඇති අතර ඒ අනුව එතෙක් කර තිබූ විමර්ශන සම්බන්ධ අර්ධ වාර්තාවක් නීතිපතිවරයාට යොමුකර ඇත.

ඉන්පසු නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම්දී ඇත්තේ පූජිත් ජයසුන්දර හා හේමසිරි ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන මිනීමැරුම් චෝදනාද ගොනුකර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

ඒ ආකාරයට මිනීමැරුම් චෝදනා ගොනුකළ නොහැකි බව පොලිසිය නීතිපතිවරයාට දැනුම්දී තිබේ.

පසුව තම නියෝග ක්‍රියාත්මක නොකළායැයි සදහන් කරමින් ඒ සදහා පියවර නොගැනීමට හේතු දක්වන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට තර්ජනාත්මක දැනුම්දීමක් සිදුකර ඇත. එම දැනුම්දීමෙන් පසු පොලිසිය විසින් පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීම සිදුවිය.

යම් පුද්ගලයකුට මිනීමැරුම් චෝදනා එල්ල කළ හැක්කේ පොලිසිය කරන විමර්ශනයකින් පසුව බවත් මෙහිදී නීතිපතිවරයා එම නීතිමය කරුණ පසෙකලා , ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කමිටුවක වාර්තාව මත අත්තනෝමතිකව කටයුතු කර ඇති බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නීති ක්ශේත්‍රයේ කිහිපදෙනෙක්ම අනිද්දා වෙත ප්‍රකාශ කළෝය. එමෙන්ම සිවිල් පුද්ගලයන්ගේ පරීක්ෂණ වාර්තාවක් මත මිනීමැරුම් චෝදනා එල්ල කළ නොහැකි බවද ඔවුන්ගේ අදහසය. මේ නීතියට පටහැනි තත්ත්වය මත ඉදිරියේ දී ඕනෑම පරීක්ෂණ වාර්තාවක් මත පදනම්ව පුද්ගලයන්ට අපරාධ චෝදනා ගොනුකළ හැකිද යන්න ඔවුන්ගේ ප්‍රශ්න කිරීමය.

මේ සම්බන්ධව අදහස් දැක්වූ නිර්නාමිකව සිටීමට කැමති ජනාධිපති නීතිඥවරයෙකු ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාගේ කමිටුවට කිසිම නීතිමය බලයක් නොමැති බවත් , එම කමිටුව නීතිය මත පිහිටුවන ලද්දක් නොවන බවත්ය. ඒ නිසා එවැනි කමිටුවක නිර්දේශ මත අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බවය. ඒ හේතුවෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ හා පොලිස්පතිවරයාගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවය. අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බව දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කරන්නට ඒ දෙදෙනාට හොදටම හැකියාව ඇති බවද ඔහු කීය.

මේ සම්බන්ධයෙන් ජූලි 3වෙනිදා අධිකරණයට කරුණු වාර්තා කිරීමේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නීතිපති දෙපාර්තමේන්තුවෙන් විමසා තිබුණේ කුමන විමර්ශනයක් පදනම් කරගෙන හිටපු පොලිස්පතිවරයාට සහ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට මිනීමැරුම් චෝදනා එල්ල කළාද යන්නය.

එහිදී පොලිස් විමර්ශනයක් ගැන නීතිපති වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ප්‍රකාශ නොකළ අතර, ඔහු ප්‍රකාශ කළේ ජනාධිපති විමර්ශන කමිටුවේ වාර්තාවක් පදනම් කරගනිමින් එම චෝදනා ගොනුකරන බවය.

කමිටු වාර්තාවක් මත පදනම්ව මිනීමැරුම් චෝදනා ගොනුකළ නොහැකි බව සැකකරුවන් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණයට කරුණු දක්වා ඇත. එහිදී සිය සේවාදායකයන්ට ඇප ලබාදෙන ලෙසද ජනාධිපති නීතිඥවරයා ඉල්ලා ඇති අතර ඒ ගැන සලකා බැලීම ජූලි මස 9 වැනිදා කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය තීරණය කර ඇත. එදින දක්වා හේමසිරි ප්‍රනාන්දු හා පූජිත් ජයසුන්දර රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබූ අතර එම දින අධිකරණයට සැකකරුවන් යොමුකරන ලෙසද දන්වනු ලැබීය.

(අනිද්දා )

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න