Language Switcher

V2025

එක තැන කැරකීමේ ආදීනව අකිල කියයි !

මොහොතින් මොහොත ලෝකය වෙනස් වන බවත්, දැනුම ශීඝ්‍රයෙන් අලුත් වන බවත්, වසර 20ක් 30ක් එපිට ඇති ඉදිරි අනාගතය දකිමින් අපේ දරුවන් දැනුම, තාක්ෂණය සහ රැකියා සමඟ අලුත්වන අනාගතය වෙත රැගෙන යායුතු බව අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා, මේ බව සඳහන් කළේ කුලියාපිටිය ජනාධිපති ශිල්ප ශාලිකා ශාලා පරිශ්‍රයේ දී පැවති බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යාංශය මගින් භික්ෂූන් වහන්සේ සඳහා ක්‍රියාත්මක කෙරෙන “බුදුපුත් සුරක්ෂා” හිමිකම් පත්‍ර ප්‍රදානය කිරීමේ වයඹ පළාත් මහෝත්සවයට එක්වෙමිනි.

ශ්‍රී ලංකාවේ සියලුම පාසල් මෙන්ම පිරිවෙන් ද ඇතුළුව ලක්ෂ 45කට ආසන්න සිසු දරුවන් වෙනුවෙන් සුරක්ෂා රක්ෂණාවරණය ලබාදෙන අතර, සියලු භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ගාමිණී ජයවික්‍රමගේ මූලිකත්වයෙන් බුදුපුත් සුරක්ෂා රක්ෂණය ලබාදෙන්නට කටයුතු කිරීම ගැන සිය කෘතවේදීත්වය පළ කරන බව ද, අමාත්‍යවරයා සඳහන් කළේය.

දරුවන්ට අනාගතයක් ඇති කරන්නට කළ හැකි හොඳම ආයෝජනය අධ්‍යාපනය ලබාදීම බවත්, සමබර මනසකින් යුත් දරුවන් ගොඩනඟන්නට පාසලට පැවරෙන වගකීමටත් වඩා වැඩි වගකීමක් දෙමවුපියන් වෙත පැවරෙන බවත් ඔහු සඳහන් කළේය.

දරුවන්ට සමීප වෙමින්, දරුවන් හඳුනාගනිමින්, ඔවුන්ගේ හැසිරීම් කෙරෙහි සැලකිලිමත් වෙමින් තරගකාරී අධ්‍යාපනයක් ලබාදීම වෙනුවට මිනිස්කම් හඳුනන, හොඳ හදවතක් ඇති දරුවන් ගොඩනඟන්නට කැපවිය යුතු බවත් මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කළේය.

බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, රාජ්‍ය අමාත්‍ය ජේ. සී අලවතුවල, පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේබණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් ඇතුළු දේශපාලන නියෝජිතවරුන් රැසක් ද, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්, ඇතුළු නිලධාරීන් රැසක් ද මේ අවස්ථාවට එක්වූහ.