පොහොට්ටු අපේක්ෂකයා නම් කරන්න අපේ එකඟතාවයත් ඕන - අමරවීර !

පොහොට්ටු අපේක්ෂකයා නම් කරන්න අපේ එකඟතාවයත් ඕන - අමරවීර !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකඟතාවකින් තොරව ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් නොකරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම පක්ෂයට දැනුම්දී ඇති බව මහින්ද අමරවීර මන්ත්‍රීවරයා පවසයි.

හම්බන්තොටදී ඊයේ (16) මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න හමුවේ පිලිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

මන්ත්‍රීවරයා පැවසුවේ මේ වන විටත් ඒ සම්බන්ධයෙන් පක්ෂ දෙක අතර අඛණ්ඩව සාකච්ඡා සිදු වන බවයි.

එසේම මේ මස අවසානය වන විට යම් කිසි එකඟතාවයකට පැමිනිමය බලාපොරොත්තු වන බවත් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

prasanna R 1000px

සිරිසේන සමඟ එක්වුනොත් පොහොට්ටුව කපෝතියි - ප්‍රසන්න

මේ අතර පසුගිය "අනිද්දා" පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග සඳහන් කර ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ ශ්‍රීලනිපය එක්ක එක්වුණොත් පොදුජන පෙරමුණට දැනට තියෙන ඡන්ද ටිකත් නැතිවෙන බවය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේ සිය අදහස් දක්වා ඇත.

අනිද්දා : මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ ශ්‍රීලනිපය එක්ක එක්වුණොත් පොදුජන පෙරමුණට දැනට තියෙන ඡන්ද ටිකත් නැති වේවි කියලා ඔබ පෞද්ගලිකව විශ්වාස කරනවාද?

ප්‍රසන්න :
පෞද්ගලිකව විතරක් නොවෙයි, රටේ මිනිස්සුත් මාත් එක්ක ඒ බව කියලා තියෙනවා. ඒ මිනිස්සු මෛත්‍රී ජනාධිපතිතුමා කෙරෙහි දැඩි විරෝධයකින් ඉන්නේ. සමහර රැස්වීම්වලදී කියනවා ජනාධිපතිතුමා එක්ක අපි එකතු වුණොත් අපට ඡන්දය දෙන්නේ නැති බව. අපි ජනාධිපතිතුමා එක්ක එකතු වුණොත් අපට ඡන්දය දෙන්නේ නැහැ.

අනිද්දා :
මෛත්‍රීපාල සිරිසේනට ජනාධිපතිවරණයකදී ඔබේ කණ්ඩායමේ සහයෝගය ලැබීමේ ඉඩක් තියෙනවාද?

ප්‍රසන්න :
මම නම් හිතන්නේ නැහැ කාට වුවමනාව තිබුණත්, මේ රටේ ජනතාවට මෛත්‍රීපාල සිරිසේනව ජනාධිපති කරන්න උවමනාවක් ඇති කියලා. ඒ වගේම මේ රටේ ජනතාව රනිල් වික්‍රමසිංහව අගමැති කරන්න නැවත බලාපොරොත්තු වෙන බවත් විශ්වාස කරන්නේ නැහැ. ජාතික ආණ්ඩුවේ හිටපු කිසිම කෙනෙක්ට මේ ආණ්ඩුව බාර දෙන්න ජනතාව ලෑස්තිවෙලා ඉන්නවා යැයි මම විශ්වාස කරන්නේ නැහැ. ඒ තරමට මේ ආණඩුව රට විනාශ කළා.

අනිද්දා :
මහින්ද රාජපක්ෂ මහතා කීවත්, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට නම් මැතිවරණයකදී සහයෝගය දෙන්නේ නැති බව ඔබ කියා තිබුණා නේද?

ප්‍රසන්න :
පැහැදිළිවම මම ඒක කියනවා. අපේ ගම්වල රැස්වීම් තියත්දී මිනිස්සු කියන කතාවක් ඒක. ඔවුන් කියනවා මහින්ද මහත්තයා කියන ඕනෑ දෙයක් කරන්න ලැහැස්තියි, ඒත් මේක නම් බැහැ කියලා. අපේ පාක්ෂිකයන් මහින්ද රාජපක්ෂ මහතා ගැන ලොකු භක්තියක් තියෙන උදවිය. ඒත් මහින්ද මහත්තයා කිව්වත් මෛත්‍රීට උදවු කරන්නේ නැති බව ඔවුන් කියනවා.

අනිද්දා :
එහෙම පසුබිමක ශ්‍රීලනිපය හා ශ්‍රීලපොපෙ සාකච්ඡා ඉදිරියට යෑම ගැන ඔබ හිතන්නේ කුමක්ද?

ප්‍රසන්න :
සාකච්ඡා වුණ කරුණු පිළිබඳව අපි දැනුවත් වෙලා නැහැ. පොදුවේ රට ගැන හිතලා එකඟතාවන්වලට එනවා නම් අපට සම්බන්ධවෙන්න පුළුවන්. ඒත් අපේක්ෂකයන්, නම, ලකුණු පිළිබඳව කතාකරමින් ඔවුන් පොහොට්ටුව දුර්වල කරන්න හදනවා නම් එකතුවෙන්න පුළුවන් කමක් නැහැ. අපි දකින්නේ නැහැ ඔවුන් අවංකව සාකච්ඡාවලට සහභාගි වෙලා තියෙන බව. ගමේ ඉන්න ශ්‍රීලනිප පාක්ෂිකයාට අපිත් එක්ක එක්කහු වෙන්න කිසිම බාදාවක් නැහැ.

අනිද්දා :
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තනිවම ජනාධිපතිවරණයට ආවොත්, ඒකෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණනට ලැබෙන්න ඉඩ තියෙන ඡන්ද දෙකඩ වේවි නේද?

ප්‍රසන්න :

නැහැ. රටේ ප්‍රධාන මැතිවරණයකදී දෙපැත්තකට විතරයි බෙදෙන්නේ. තුන් හතර පැත්තකට බෙදෙන්නේ නැහැ. ශ්‍රීලනිප පාක්ෂිකයොන්ගෙන් බහුතරයක් අපේ පැත්තට එකතු වෙනවා. දෙමළ සන්ධානය වගේ කණ්ඩායම් යූඇන්පියත් එක්ක එකතු වේවි. ත්‍රස්තවාදයට විරුද්ධ රටේ සියලු ජනතාව අපේ කඳවුර එක්ක එකතුවේවි. ඒ බෙදීම ඇතුලේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඡන්දයට ආවොත් දෙපැත්තෙන්ම ඔහුව ප්‍රතික්ෂේප කරනවා.

අනිද්දා :

දැන් තත්වය මෙබඳු වුණත් මාස හතඅටකට කලින් මහින්ද රාජපක්ෂ මහතා අගමැතිකම බාරගත්තා. ඒ ගැන හිතෙන්නේ මොකක්ද?

ප්‍රසන්න :

පැහැදීළිවම ඒ වෙලාවෙදී මහින්ද මහත්තයා මේක බාරගත්තේ 113ක් තිබුණේ නැති පසුබිමක. ශ්‍රීලනිපයේ ලේකම්වරයාත් ලොකු එකඟතාවක් දුන්නේ නැහැ. අපිත් එක්ක එක්කාසු වෙන්නට. හිටපු කණ්ඩායම් නවත්වන්නට ශ්‍රීලනිප ලේකම්වරයා කටයුතු කළා. ඒ නිසා අපට මේ සන්ධානය ගැන විශ්වාසයක් නැති වුණා. ඒත් එක දෙයක් කියන්න ඕණෑ. මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධූරයේ සිටියානම් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය නවත්වාගන්න ඉඩකඩ තිබුණා. ඔහු මෙවැනි තත්වයක් ගැන අත්දැකීම් තිබුණු නායකයෙක්. ඒවා පවා නැවැත්වුවේ දැන් විශ්වාසභංග ගෙනෙන ජේවීපෙ වගේ කණ්ඩායම් මැදිහත් වෙලා තමයි. එදා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා යළි බලයට ගේන්න කටයුතු කළා.

අනිද්දා :

එදා ජනාධිපතිවරයාගේ කණ්ඩායම සහ ඔබ නියෝජනය කරන කණ්ඩායම අතර විශ්වාසයක් තිබුණාද?

ප්‍රසන්න :

මම නම් පෞද්ගලිකව දින 52 ආණ්ඩුවට කැමතිවුණේ නැහැ. මහින්ද මහත්තයා අගමැතිකමේ දිවුරුම් දෙනවාට මම එදත් විරුද්ධ වුණා. ඒ ආණ්ඩුවේ අගමැතිකම් ගන්නේ නැහැ කියලා පැහැදිළි ස්ථාවරයක හිටියා. ඒත් ආණ්ඩුවක් ගත්තාම ඒක සාමුහිකව කටයුතු කරන්න ඕනෑකම තිබුණා. එතැනදී නම් ජනාධිපතිවරයාගේ පැත්තෙන් සහයෝගයක් ලැබුණා. ඒත් මට නම් තියෙන සැකය මේක මහින්ද රාජපක්ෂ මහත්තයාව අමාරුවේ දාන්න කරපු වැඩක් කියලයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න