ඇවන්ගාඩ් සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට දරන උත්සාහය වලක්වන ලෙස ඉල්ලමින් ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (17) ප්‍රතික්ෂේප කර තිබේ.
අදාළ නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කර ඇති සමන් දිසානායකට එරෙහිව ගිනි අවි ආඥා පනත යටතේ චෝදනා ගොනු කිරීමට නියමිත බැවින් තම අධිකරණයට ඇප ලබාදීමේ බලයක් නොමැති බව පෙන්වාදෙමින් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මෙම නියෝගය ලබාදුන් බව වාර්තා වෙයි.
ඇවන්ගාඩ් සිද්ධියට අදාළව ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති, සමන් දිසානායක ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ගිනි අවි ආඥා පනත යටතේ චෝදනා ගොනු කර ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා පසුගියදා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබුණි.
සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට දරන උත්සාහය වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පසුගිය 8 වනදා ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත මෙම අපේක්ෂිත ඇප ඉල්ලීම ඉදිරිපත් කර තිබුණි.
සබැඳි පුවත

