ජනාධිපතිගේ කඩුවෙන් කැපෙන්නේ හොරු, සල්ලාලයෝ, මැරයෝ නෙවෙයි, ජනතා අයිතීන්. - පුබුදු ජයගොඩ

ජනාධිපතිගේ කඩුවෙන් කැපෙන්නේ හොරු, සල්ලාලයෝ, මැරයෝ නෙවෙයි, ජනතා අයිතීන්. - පුබුදු ජයගොඩ

තමන් සතුව කඩුවක් ඇති බවත් එයින් කවුරුන් කැපේදැයි කිව නොහැකි බවත් ජනාධිපතිවරයා පැවසුවද, එයින් කැපෙන්නේ ජනතා අයිතීන් පමණක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි .

ඔහු මේ බව ප්‍රකාශ කළේ ජනවාරි 24 නුවරඑළිය බ්ලැක්පූල්හි පැවති ජන හමුවකදීය.

පුබුදු ජයගොඩ මහතා පැවසුවේ මේ කඩුවෙන් හොරු, මැරයෝ, සල්ලාලයෝ සහ දුශිතයෝ කපන තුරු ජනතාව බලාගෙන සිටි බවයි . එහෙත් වසර තුනක් ගතව ඇතත් පරණ ආණ්ඩුවේ හොරු සහ අලුත් ආණ්ඩුවේ හොරු යන සියලු දෙනා යහතින් සිටින බව ඒ මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය "මහබැංකුවේ බැඳුම්කර නිකුතුවේ මහා වංචාව ගැන මේ වනවිට මුළු රටම විතරක් නෙවෙයි, ලෝකෙත් දන්නවා. ඒ වංචාවට අනුබල දුන්න, ආශීර්වාද කළ, හොරුන්ට ආරක්ෂාව දුන්, ඒ හැම එකටම වැඩියෙන් ඒ හොරකමට නියෝග දුන් දේශපාලන තන්ත්‍රය ගැන අද කවුරුත් නිහඬයි. මේකේ දේශපාලන වගකීම කාටද කියලා ජනාධිපතිවරයා කියන්නෙත් නෑ, කොමිෂන් වාර්තාවෙත් නෑ, කෝප් කමිටු වාර්තාවෙත් නෑ. ජනාධිපති කියන්නේ අගමැති වගකිව යුතු නෑ කියලා. වංචාව සිදුවුණු කාලයේ මහබැංකුව තිබුනේ රනිල් වික්‍රමසිංහ මහත්තයා යටතේ.

ඒ වගකිවයුත්තන්ව ඔය කඩුවෙන් කැපෙන්නේ නෑ, මෙච්චර කලක් කොපුවේ තිබුණු කඩුව දැන් එකපාරටම වනන්නේ මැතිවරණ ගුන්ඩුවක් විදියට විතරයි කියලා අපි වගකීමෙන් කියනවා. පසුගිය දවස්වල තිස්සමහාරාමයේ කුඩා දැරියක් සල්ලාලයන් පිරිසක් විසින් අතවරයට ලක් කරලා ඒ දැරිය සියදිවි නසා ගත්තා. ඒ අපරාධය කළේ තිස්සමහාරාමයේ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් තුන්දෙනෙක්. සජිත් ප්‍රේමදාස මහත්තයා සල්ලි දීලා ඒ දැරියගේ ඥාතීන් අවනත කර ගන්න උත්සාහ කර තිබුනා. මේ සම්බන්ධයෙන් ජනාධිපති නිහඬයි. අර කඩුවත් වැඩකරන්නේ නෑ.

ඒ වගේම ඌව මහඇමතිවරයා විදුහල්පතිවරියක් දණ ගස්වා අපකීර්තියට පත්වුනා. කලින් මහින්ද රාජපක්ෂ පාලන සමයේ මහින්ද මහත්තයාගේ ගෝලයෙක් පුත්තලමේදී ගුරුවරියක් දණ ගැස්සුවා. මහින්ද වෙනුවට මෛත්‍රී ආවා. අද මොකද වෙලා තියෙන්නේ? මෛත්‍රීපාල මහත්තයාගේ ගෝලයා විදුහල්පතිවරියක් දණ ගස්වනවා. කෝ ඒ ඌවේ මැරයාට එරෙහිව කඩුව වනුවාද?

ආණ්ඩුව කඩුව නිදැල්ලේ වනමින් කපන්නේ අපේ රටේ පහල පාන්තික ජනතාව. වැඩකරන ජනතාව. රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප කඩුවට කැපෙනවා. පෞද්ගලික අංශයේ සේවකයාගේ පැය අටේ වැඩ අයිතිය කඩුවට කැපෙනවා. ඒ සඳහා සාප්පු හා කාර්යාල සේවක පනත සංශෝධනය කරන්න යනවා.

ගොවියාගේ ඉඩම් අයිතිය කඩුවට කැපෙනවා. අද මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතිමලේ සහ මාලිගාවිල ප්‍රදේශ වල අක්කර දහස් ගණනින් පාරම්පරික ගොවි ඉඩම් බලහත්කාරයෙන් උදුරාගෙන සමාගම් සතු කරනවා. ඒ කඩුවෙන් පාසල් සිසුන්ගේ නිළ ඇඳුමේ පෙළ පොතේ අයිතිය කැපෙනවා. වවුචර් කියලා කරන මගඩිය ඒ කැපිල්ල ඇර වෙන මොකක්ද? එක එක සෞඛ්‍ය රක්ෂණ ප්‍රෝඩාවල් හරහා නිදහස් සෞඛ්‍ය සේවයට කඩු පහර එල්ල වෙනවා. රාජ්‍ය බැංකු, වරාය, ගුවන් සේවය වගේ පොදු දේපල වලට කඩුව එල්ල වෙලා තියෙන්නේ. ඇඟිලි සලකුණු දත්ත බැංකුව හදන අංගුලිමාල පනත මගින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ඒ කඩුවෙන් කපනවා. ඔය විදියට ගියාම කඩුවෙන් කපන්නේ ජනතාව. "

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න