ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදු ජන පෙරමුණ අතර මේ වනවිට පැවැත්වෙන සාකච්ඡා ළඟ ළඟ පවත්වා ඉක්මණින් අවසන් කළ යුතුව ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර අවධාරණය කරයි.
ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා තෝරා ගැනීම සිදුකළ යුත්තේ දෙපාර්ශවය එකමුතුවීමෙන් පසුව යැයි ද මන්ත්‍රීවරයා පවසයි.
මහින්ද අමරවීර මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද (18) පැවති පක්ෂයේ මාධ්‍ය හමුවේ දීය.
කෙසේ වෙතත් දැනට බැලූ බැල්මට සුදුසු චරිතයක් සේ පෙනෙන්නේ මහින්ද රාජපක්ෂ බවත් තෝරා ගන්නා අපේක්ෂකයා කවුදැයි 11 වැනිදා හෙළිකිරීමට බලාපොරොත්තු වන බව මහින්ද රාජපක්ෂ කී බවත් අමරවීර මන්ත්‍රීවරයා පවසා සිටියි.
සමහර පසුපෙළ මන්ත‍්‍රීන් මේ පක්ෂ දෙකේ එකතුවීමෙන් පළක් නැතැයි පවසන නමුත් එසේ එකතු වීමේ ඇති වැදගත්කම මහින්ද රාජපක්ෂට පෙනෙන බවත් මන්ත‍්‍රීවරයා පවසා ඇති අතර ශ්‍රිලනිප - පොහොට්ටු සන්ධානය හැදෙන්නේ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන පමණක් නොවන බවත් මෙතෙක් කළ කිසිදු සාකච්ඡාවක ජනාධිපතිවරණය ගැන සාකච්ඡා නොකළ බවත් මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් සදහන් කර තිබේ.

