මහව - ඕමන්තේ දුම්රිය මග සංවර්ධනයට : ඉන්දියාවෙන් සහන ණයක් !

මහව - ඕමන්තේ දුම්රිය මග සංවර්ධනයට : ඉන්දියාවෙන් සහන ණයක් !

ඉන්දියානු ණය ආධාර යටතේ මහව සිට ඕමන්තේ දක්වා දුම්රිය මාර්ගය ඇමරිකානු ඩොලර් මිලියන 91.26ක පමණ ඉන්දියානු සහනදායි ණය ආධාරයක් යටතේ සංවර්ධනය කිරීම සඳහා වන ගිවිසුමක් IRCON International Limited සහ ශ‍්‍රී ලංකා රජය අතර 2019 ජූලි 18 වන දින කොළඹදී අත්සන් තැබිණ.

IRCON හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ සුනිල් කුමාර් චෞද්රි සහ ප‍්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් එල්. පී. ජයම්පති මෙම ගිවිසුම සඳහා අත්සන් තැබූ අතර ප‍්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී එම්. ජේ. ඩී. ප‍්‍රනාන්දු , IRCON International Limited හි විධායක අධ්‍යක්ෂ එස්. එල්. ගුප්තා සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආර්ථික සහ වණිජ්‍ය අංශයේ ප‍්‍රධානී සුජා කේ. මෙනන් මහත්මිය ද මෙම අවස්ථාවට එක්විය.

මහව සිට ඕමන්තේ දක්වා ඉන්දියානු සහනදායී ණය ආධාර යටතේ සංවර්ධනය කෙරෙන දුම්රිය මාර්ගයේ සම්පූර්ණ දුර ප‍්‍රමාණය කි. මී. 130ක් පමණ වේ. මෙය හරස් මාරු දුම්රිය ස්ථාන 12ක්, දුම්රිය ස්ථාන 7ක් සහ හරස් මාරු 78කින් සමන්විත වේ. මෙම දුම්රිය මාර්ගය නවීකරණය කෙරෙන්නේ වසර සියයකට පසු ප‍්‍රථම වරට වේ. මෙම ව්‍යාපෘතිය දැනට පැයට කි. මී. 60ක් වන මෙම දුම්රිය මාර්ගයේ වේගය පැයට කි. මී. 120ක් දක්වා දෙගුණ කරනු ඇති අතර නඩත්තු පිරිවැයද අවම කරනු ඇත. එසේම ‍මෙම ව්‍යාපෘතිය දුම්රිය මගීන්ට වඩා සුව පහසුවක් ලබා දීමටද ශ‍්‍රී ලංකා දුම්රිය සේවය වැඩි දියුණු කිරීමටද උපකාරී වනු ඇත.

මේ වන විට ශ්‍රී ලංකාවේ දුම්රිය ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 1.3 ක පමණ ණය ආධාර ඉන්දියාව විසින් ලබා දී ඇත. ප‍්‍රධාන දුම්රිය මාර්ග සංවර්ධනය කිරීම, දශක කිහිපයක ගැටුම් වලින් අනතුරුව උතුර හා දකුණ යා කරමින් උතුරු දුම්රිය මාර්ගය ප්‍රතිතිසංස්කරණය කිරීම ආදිය සිදුකරන ලද්දේ ඉන්දියානු සහනදායී ණය ආධාර යටතේය. සුනාමියෙන් හානියට පත් දක්ෂිණ දුම්රිය මාර්ගයද ඉන්දියානු ණය ආධාර යටතේ ප්‍රතිසංස්කරණය කරන ලදී. ඉන්දියාව මේ වන විට ශ‍්‍රී ලංකා දුම්රිය ක්ෂේත‍්‍රය තුළ කි. මී. 300ක පමණ දුම්රිය මාර්ග සංවර්ධනය කර ඇති අතර කි. මී. 330ක පමණ දුර ප‍්‍රමාණයක් සඳහා නවීන සංඥා සහ විදුලි සංදේශ පද්ධතීන් ලබා දී ඇත.

2017 ජූනි මාසයේදී ශ්‍රී ලංකාවේ දුම්රිය ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ඉන්දියාව විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 318 ක නව ණය ගිවිසුමක් අත්සන් කරන ලදී. මෙම ණය ගිවිසුම යටතේ දුම්රිය මැදිරි 160 ක් ලබා ගැනීම, මහව සිට අනුරාධපුරය දක්වා සංඥා සහ විදුලි සංදේශ පද්ධතිය නවීකරණය කිරීම සහ රත්මලානේ දුම්රිය වැඩපළක් පිහිටුවීම ඇතුළු විවිධ ව්‍යාපෘතීන් ගණනාවක් ක්‍රියාත්මක වෙමින් පවතී. ඞීසල් බහු ඒකක 6ක්, දුම්රිය 10ක්, භාණ්ඩ ප‍්‍රවාහන දුම්රිය 20ක්, ඉන්ධන ප‍්‍රවාහන දුම්රිය 30ක්, මගී ප‍්‍රවාහන මැදිරි 160ක් සහ බස්රථ 500ක් ද ඉන්දියාවෙන් ලබා ගැනීමට නියමිතය. එසේම ඉන්දියාව ශ්‍රී ලංකා දුම්රිය සේවකයන්ගේ හැකියා හා කුසලතා වර්ධනය කිරීමටද සැලකිය යුතු ලෙස දායක වී ඇත.

මෙම ව්‍යාපෘතිය, සම්බන්ධීතාවය වැඩි දියුණු කරන ව්‍යාපෘතීන් ක‍්‍රියාත්මක කිරීම සඳහා ශ‍්‍රී ලංකාව සමඟ අත්වැල් බැඳ ගැනීමට ඉන්දියාව දරන ප‍්‍රයත්නයේ කොටසකි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න