Language Switcher

V2025

ඇමරිකානු ලයිස්තුවේ ගෝඨාගේ නම නෑ !

ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් පුරවැසියන්ගේ නම් ඇතුළත්කොට අප්‍රේල් - ජූනි කාර්තුවට අදාළව ඇමෙරිකානු ‌දේශීය ආදායම් සේවය සකස් කර ඇති වාර්තාවට ගෝඨාභය රාජපක්ෂගේ නම ඇතුළත් කොට නැතැයි වාර්තා වේ.

ඇමෙරිකානු දේශීය ආදායම් සේවාව කාර්තුවකට වතාවක් ෆෙඩරල් රෙජිස්ටර් වෙබ් අඩවියෙහි ඇමරිකන් පුරවැසිභාවය ඉවත් කරගත් පුරවැසියන්ගේ නම් ලැයිස්තුවක් ප්‍රසිද්ධ කරන අතර, ගතවූ කාර්තුවෙහි ඇමරිකනු පුරවැසිභාවයෙන් ඉවත් කළ පුරවැසියන්ගේ නම් එම ලැයිස්තුවට ඇතුළත් වෙයි.

ජූනි 30 වැනිදායින් අවසන් වූ කාර්තුවට අදාළ නම් ලැයිස්තුව තවමත් ෆෙඩරල් රෙජිස්ටර් වෙබ් අඩවියෙහි නිල වශයෙන් ප්‍රසිද්ධ නැතත්, එම ලැයිස්තුව දැනටමත් සකස් කර අවසානය. සෑම කාර්තුවක්ම අවසාන වී දින 30ක් ඇතුළත ෆෙඩරල් රෙජිස්ටර් වෙබ් අඩවියෙහි මෙම ලැයිස්තුව ප්‍රසිද්ධ කරනු ලැබේ.

අගෝස්තු 10වැනි දාට පෙර !

පොදුජන පෙරමුණේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුදැයි තීන්දු කිරීම අගෝස්තු 10වැනි දාට පෙර කළ යුතු බවට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් එකඟ වී ඇත්තේ මෙම ලැයිස්තුවෙහි ගෝඨාභය රාජපක්ෂගේ නම තියෙනවාද නැද්ද යන්න සොයා බලා ඒ අනුව මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ගෝඨාභය රාජපක්ෂට ලබා දෙනවාද නැද්ද යන තීන්දුව ගැනීම සඳහා බව වාර්තා වෙයි.

ජූනි කාර්තුවට අදාළ ලැයිස්තුව ප්‍රසිද්ධ කිරීමෙන් පසුව පුරවැසිභාවය ඉවත් කරගත් පුරවැසියන්ගේ නම් ඇතුළත් වාර්තාවක් නිකුත් වන්නේ සැප්තැම්බර් 30 වැනිදායින් අවසන් වන කාර්තුවට අදාළවය. එම ලැයිස්තුව ඔක්තෝම්බර් මාසයේ මැදදී නිකුත් කිරීමට නියමිතය.

ඒ අනුව ජූනි මාසයේ අවසන් වන කාර්තුවට අදාළ ලැයිස්තුවෙහි නම නැතිනම්, ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය නොලැබෙනු ඇතැයි තතු දන්නෝ ප්‍රකාශ කරති.

පරීක්ෂණ දෙකකට :

ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීමට බලාපොරොත්තුවන පුද්ගලයෙකු එයට අදාළ ලියකියවිලි භාරදීමෙන් පසුව සම්පූර්ණ පරීක්ෂණ දෙකකට එම පුද්ගලයා ලක් කරනු ලැබේ. එකක් දුකථනයෙන්ද අනෙක මුණගැසීමෙන්ද සිදුකරයි.

ඉන්පසුව ඇමරිකාවේ ආදායම් බදු, ආරක්ෂක අංශ ආදී ආයතනවලින් එම පුද්ගලයාගේ නම් පරික්ෂා කොට, ඔහුව පුරවැසිභාවයෙන් ඉවත් කරනු ලබයි. සාමාන්‍ය පුද්ගලයෙකු සම්මුඛ පරීක්ෂණවලට මුහුණ දී මාස හයකට පමණ පසුව ඉහත කී කාර්තුවකට වතාවක් ප්‍රසිද්ධ කරන ලැයිස්තුවට නම ඇතුළත් කරනු ලබයි.

ඇමරිකන් පුරවැසිභාවය ඉවත් කරගන්නා පුද්ගලයන්ට ඇමරිකානු රජයෙන් ඒ බව සඳහන් සහතිකයක්ද නිකුත් කරනු ලබන අතර, එම සහතිකය නිකුත් කරනු ලබන්නේ ඉහත කී සම්මුඛ සාකච්ඡාවෙන් වසරකට පමණ පසුවය.

කෙසේ වෙතත් තතු දන්නා පුද්ගලයන් ප්‍රකාශ කරන්නේ ගෝඨාභය රාජපක්ෂට ඇමරිකාවේ සිවිල් නඩු දෙකකට මුහුණ දෙන්නට සිදුව තිබෙන නිසා එම නඩු අවසාන වන තෙක් ඔහුගේ පුරවැසිභාවය ඉවත් නොකරනු ඇති බවය.

(අනිද්දා)