ලෝක මුස්ලීම් සංගමයේ ලේකම් අගමැති හමුවෙයි !

ලෝක මුස්ලීම් සංගමයේ ලේකම් අගමැති හමුවෙයි !

ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් සහ ජාත්‍යන්තර විද්වතුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය මොහොමඩ් බින් අබ්දුල්ලා කරීම් අල් ඉසා ඇතුළු දූත පිරිස සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර හමුවක් ඊයේ (31) දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාව තුල ආගමික සහජීවනය හා සංහිදියාව ඇති කිරීම පිළිබදව මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කෙරිණි.

පසුගිය අප්‍රේල් 21 වෙනිදා බෝම්බ ප්‍රහාරය එල්ලවීමත් සමඟ ආරක්ෂක අංශ සමඟ සාකච්ඡා කරමින් ඊට සම්බන්ධ ත්‍රස්තවාදීන් නීතියේ රැහැනට හසුකර ගැනීමටත් රට සාමාන්‍ය තත්වයට පත්කිරීමටත් තමා ගත් පියවර පිළිබදව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙහිදී මහලේකම් වරයාට දැනුවත් කළේය.

ජාතීන් අතර සහජීවනය ඇතිකිරීමට තමා කැපවන බව පෙන්වා දුන් ලෝක මුස්ලිම් සම්මේලනයේ මහ ලේකම් ආචාර්ය මොහොමඩ් බින් අබ්දුල්ලා කරීම් අල් ඉසා පසුගිය අප්‍රේල් 21 වෙනිදා මෙරට ස්ථාන කිහිපයක සිදුවූ බෝම්බ ප්‍රහාර සම්බන්ධව සිය කනගාටුව පළ කළ අතර, එම ප්‍රහාරය එල්ල වී ඉතා කෙටි කලක් තුල රට සාමාන්‍ය තත්වයට පත්කිරීමට හැකිවීම පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය ප්‍රසාදය පළ කරන ලදී.

මේ සංචාරයේදී තමනට මහා සංඝරත්නය සමග සාකච්ඡා ගණනාවක් පැවත්වීමට අවකාශ සැලසුණු බවත්, ලොවටම මෛත්‍රිය පතුරුවාලන ධර්මයක් ලෙස බුදු දහමෙහි හරයාත්මක වටිනාකම් ඒ සාකච්ඡාවන්හිදී යළි යළිත් තහවුරු වූ බවද මහලේකම්වරයා පෙන්වා දුන්නේය.

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීම සඳහා වන අරමුදල උදෙසා අමෙරිකානු ඩොලර මිලියන 5 ක මුදලක් පරිත්‍යාග කරන බවද ඔහු පැවසීය.

ත්‍රස්ත ප්‍රහාරයට ලක්වූ ජනතාව සම්බන්ධව සොයා බලමින් ඔවුන්ට උදව් උපකාර කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳව ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම්වරයාට වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා සිය ස්තුතිය පළ කළේය.

මෙම අවස්ථාවට තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්. එච්. ඒ. හලීම්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ. ජේ. එම්. මුසම්මීල් ද එක් වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න