ගතවූ මාස 6 ට : සුරාබදු වැටලීම් 24000ක් !

ගතවූ මාස 6 ට : සුරාබදු වැටලීම් 24000ක් !

නීති විරෝධී මත්පැන් තුරන් කිරීම තුළින් ජීවිත අවදානම අවම කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වැඩසටහන තුළින් වසරේ මුල් මාස 06 තුළ පමණක් නීති විරෝධී සුරාබදු වැටලීම් 24,150ක් සිදු කර තිබේ.

මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කරන අතර එහි වැඩිදුරටත් මෙසේද සදහන් කර තිබේ.

නීති විරෝධී ලෙස මත්පැන් නිපදවීම, එම මත්පැන් ළග තබා ගැනීම, ආසවනය කරන ලද ස්පීතු ළග තබා ගැනීම, උපකරණ ළග තබා ගැනීම, නීති විරෝධී ලෙස මත්පැන් විකිණීම, නීති විරෝධී ලෙස විදේශීය මත්පැන් විකිණීම ඇතුළු චෝදනා යටතේ මෙම වැටලීම් සිදු කර ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් එච්.ජී. සුමනසිංහ මහතා පවසයි.

2018 වසරේ වැටලීම් 49,312 ක් සිදුකර ඇති අතර, එයින් දඩ මුදල් වශයෙන් ලැබුණු රු. මිලි. 253 ක මුදල අදාළ පළාත් සභා වල ගිණුම් වලට බැරකර ඇත. සුරාබදු දෙපර්තමේන්තුව මගින් සිදු කරනු ලබන මෙම වැටලීම්වලින් ලැබෙන දඩ ආදායම ඊට අදාළ පළාත් සභාව වෙත බැර කෙරේ.

2015 වසරේ සිට සුරාබදු දෙපාර්තමේන්තුව සිය වැටලීම් වඩාත් තීව්‍ර කරමින් සිටියි. එය වාර්ෂිකව ඉහළ නංවමින් 2019 වසරේ මේ වන විට 25,000 පමණ වැටලීම් සිදුකර තිබේ. . සුරා බදු ආදායම ද 2014 වසරේ සිට ඉහළ යමින් පවතී. 2014 වසරේ දී සුරාබදු ආදායම දැක්වුණේ රුපියල් බිලියන 69ක් ලෙසිනි. එහෙත් 2019 වසරේ සුරා බදු ආදායම් ඉලක්කය රුපියල් බිලියන 130 ක් වන අතර ජූලි මස වන විට රුපියල් බිලියන 68 ක් සුරාබදු ආදායම වශයෙන් ලබාගෙන තිබේ.

නීති විරෝධී මත්පැන් වල ඇතැම් විට වස මිශ්‍ර වූ අවස්ථාද තිබෙන බැවින් එයින් ජනතාවට සිදුවන ජීවිත අවදානම තුරන් කිරීමේ අරමුණ ඇතිව කටයුතු කරන සුරා බදු දෙපාර්තමේන්තුව සතුව දිවයින පුරා කාර්යාල 56 ක් ඇති අතර, එහි 1,200කට අධික සේවක පිරිසක් සේවය කරති.

නීති විරෝධී මත්පැන් පාලනය කිරීමේ විශේෂ ඒකකයකින්, මත්ද්‍රව්‍ය නාශක අංශයකින් සමන්විත සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ මෙහෙයුම් ඒකක 5ක් ද පිහිටුවා තිබේ. මෙම විශේෂ ඒකකවල නිලධාරීන්ට දිවයිනේ ඕනෑම ප්‍රදේශයක විශේෂ මෙහෙයුම් සිදු කර හැකි වන අතර සංවිධානාත්මක නීති විරෝධී මත්පැන් ජාවාරම් මැඩලීම ඔවුන්ගේ ප්‍රධාන කාර්යභාරය වේ. විශේෂයෙන්ම මහජනතාවගේ සහයෝගය මත සහ උපාය දූතයන් මාර්ගයෙන් ලබා ගන්නා තොරතුරු අනුව එම නිලධාරීහු අදාළ වැටලීම් සිදු කරති.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න