Language Switcher

V2025

සාෆිගේ අවනඩුව - CID ය අධිකරණයට ඉදිරිපත් කළ : ජඩමාධ්‍ය යටගැසූ කරුණු !

මිස්ටර් තිසේරා, මම මේ රටට පුදුම ආදරෙයි. අද මේ රට යන්නේ කොහේටද? ඇයි බොරුව මේ තරම් රජ වෙන්නේ. මේ රෝහලේ ප‍්‍රධානීන් මාධ්‍යයට දෙන්නේ බොරු තොරතුරු. මෙහෙම ගියොත් වෛද්‍යවරුන්ගේ වෘත්තිය කෙළෙසෙනවා. ජාත්‍යන්තරේ සිටින අය ශ‍්‍රී ලංකාවේ කිසිම වෛද්‍යවරයෙක්ව පිළිගන්නේ නැති තත්වයට පත්වෙනවා.’

මේ විශේෂඥ වෛද්‍යවරයෙකු සීඅයිඞීයේ පරීක්ෂක බී. තිසේරා ඉදිරියේ වෛද්‍ය සාෆිට අදාළව සාක්ෂි ලබාදී අවසාන වීමෙන් පසුව කඳුළු සලමින් කර ඇති ප‍්‍රකාශයකි. සීඅයිඞීය එම ප‍්‍රකාශයද අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවෙහි ඇතුළත් කර තිබුණි. වෛද්‍ය සාෆි කළායැයි ‘දිවයින’ පුවත්පත කී අපරාධ මාලාව තවමත් ඔප්පු වී නැත. ඒ වෙනුවට ඔහුට එරෙහි චෝදනා පදනම් විරහිත බව පැහැදිලිවම ඔප්පු වෙමින් තිබේ. එහෙත් තවමත් රජ කරන්නේ බොරුවය. එවැනි පසුබිමක ඉදිරියට පැමිණ මේ ගැන සැබෑව හෙළි කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැනි සංවිධාන ඉදිරිපත් වෙන්නේත් නැත.

ඇප ලැබීම

වෛද්‍ය සේගු ෂියාබ්දීන් මොහොමඞ් සාෆිට අවසානයේදී ඇප ලබාදීමට කුරුණෑගල මහේස්ත‍්‍රාත්වරයා තීන්දු කළේය. ඒ ඇප ලබාදීම ගැනද අපූරු තර්ක සමාජ මාධ්‍යවල හා ප‍්‍රධාන ධාරාවේ මාධ්‍යවල දකින්න ලැබුණි. ඇප ලැබීමෙන් වෛද්‍ය සාෆි නිර්දෝෂී බව ඔප්පු නොවූ බව ඇත්තය. එහෙත් ඔහුට එරෙහිව තිබුණු බරපතළම චෝදනාව වූ, මව්වරුන් වඳභාවයට පත්කළේය යන චෝදනාව මේ වෙද්දී නීතිය ඉදිරියේ සැකයක් නැතිව තහවුරු කරගැනීමට නොහැකි වී තිබේ.

එහෙත් බොරුව සමාජගත කළ ‘දිවයින’ පුවත්පතේද, වෙනත් පුවත්පත්වලද තවත් මාධ්‍ය ගණනාවකද කෙස් පැලෙන තර්කවලින් අඩුවක් නොවීය. සාමාන්‍ය පාඨකයන් මෝඩයාට අන්දමින් නැවත නැවතත් මතුකරන තර්කවලට පිළිතුරු සැපයීම කළ නොහැක්කකි. මේ වෙද්දී ලිපි මාලාවකින්ම අපි වෛද්‍ය සාෆි පිළිබඳ පරීක්ෂණවලින් හෙළිවූ තොරතුරු රැුසක් ගැන කීවෙමු.

ලියැවෙන ලිපිවල වෛද්‍ය සාෆිට එරෙහි චෝදනාව තහවුරු කරන කරුණු නැත. දැන් තියෙන්නේ වෙන වැල්වටාරම්ය. කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණයේදී සීඅයිඞීයේ නිලධාරීන් වෛද්‍ය සාෆිගේ කමිසයේ තිබුණු කුණු කැබැල්ලක් පිසදැමූ බවත් සාෆි හා සීඅයිඞීයේ නිලධාරීන් අතර ඇති බැඳීම එයින් පැහැදිලි වන බවත් අයෙකු ලියා තිබුණි. තවෙකෙකු ලියා තිබුණේ සාෆිට ජනාධිපතිවරයාටත් වඩා ආරක්ෂාව දුන් බවත් එය මහා ගැටලූවක් බවත්ය. වෛද්‍ය සාෆි අනෙක් වෛද්‍යවරුන්ට වඩා විශාල සැත්කම් ප‍්‍රමාණයක් කර ඇති බව තවෙකෙකු කියා තිබුණි. තමන් මහා වරදක් කරගත් බව දැන්වත් පිළිනොගැනීම ඔවුන්ගේ බාල භාවිතාව පෙන්වන කාරණයකි. වෛද්‍ය සාෆි පිළිබඳ නඩුව ඉදිරියට යනු ඇත. ඔහු නිර්දෝෂී බව ඉදිරියේදී ඔප්පුවනු ඇත. තර්ක බුද්ධියට මුල් තැන දෙන කිසිවෙකු මුල සිටම මේ විකාර චෝදනාව පිළිගත්තේ නැත.

කෙසේ වෙතත් ඇප ලැබූ වෛද්‍ය සාෆිට ලෙහෙසියෙන් සාමාන්‍ය සමාජයේ නිදහස් ජීවිතයක් ලබාගත නොහැකි වනු ඇත. නැවත රැුකියාවෙහි යෙදෙන්නට නොහැකි වනු ඇත. වගකීම් විරහිතව බොරු ලියූ දිවයින පුවත්පත එක් මිනිසෙකුගේ ජීවිතය විනාශ කර හමාරය.

අප මීට පෙර අධිකරණයට ඉදිරිපත් වූ සීඅයිඞීයේ පරීක්ෂණ වාර්තා ඇසුරෙන් වෛද්‍ය සාෆිට එරෙහිව එල්ලවූ වඳ සැත්කම් චෝදනා ගැන කරුණු කීවෙමු. ඉදිරිපත් වූ මව්වරුන් පිළිබඳ තොරතුරුද සංක්ෂිප්තව කීවෙමු. මව්වරුන් පරීක්ෂාවට ලක් කරන්නට ඉඩ නොදී බොරු කියමින් මව්වරුන් බයට පත්කිරීමේ සැලසුම් ගැනද කීවෙමු. එහෙත් වෛද්‍ය සාෆිට එරෙහි එක් චෝදනාවක් ඉතිරිය. ඒ ඔහු අයුතු ලෙස ධනය ඉපැයූ බවට එල්ලවන චෝදනාවයි.

ඇත්තෙන්ම වෛද්‍ය සාෆි අත්අඩංගුවට ගනිද්දී එල්ලකර තිබුණු චෝදනාව වන්නේ ත‍්‍රස්තවාදී කණ්ඩායමක මුදල් ලබාගෙන එම කණ්ඩායමේ අරමුණ ඉටු කිරීම හා එම මුදල්වලින් දේපල මිලදී ගැනීමට කටයුතු කරන පුද්ගලයෙකු යන්නය. එහෙත් වෛද්‍ය සාෆි ත‍්‍රස්තවාදී සංවිධානයකින් මුදල් ලබාගෙන ඇති බව ඔප්පුවන කිසිම කරුණක් මේ වනතුරු හෙළිි කරගෙන නොමැත.

කුරුණෑගල පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, රාජ්‍ය බුද්ධි සේවය, අපරාධ ලේඛනාගාරය, ත‍්‍රස්ත විමර්ශන ඒකකය, බස්නාහිර බුද්ධි කොට්ඨාසය, පොලිස් විශේෂ කාර්යාංශය, දඹුල්ල පොලිස් ස්ථානය, රාජ්‍ය බුද්ධි සේවය, නාවික හමුදා බුද්ධි අංශය, ගුවන් හමුදා බුද්ධි අංශය, යුද්ධ හමුදා බුද්ධි අංශය යන සියලූ ආයතනවලින් හා බුද්ධි අංශවලින් සීඅයිඞීය කරුණු විමසා ඇති අතර ත‍්‍රස්තවාදී ක‍්‍රියාවකට සම්බන්ධ බවට ඒ කිසිවෙකු කරුණු හෙළිදරව් කරගෙන නැත. ත‍්‍රස්තවාදී ක‍්‍රියා ගැන චෝදනා කර ඇත්තේ බුද්ධි අංශවලටත් වඩා බුද්ධි විශේෂඥයන් යැයි සිතා සිටින දිවයින පමණි.

සීඅයිඞීය ඔහුගේ වත්කම් ගැනද සිය පරීක්ෂණ වාර්තාවෙහි සඳහන් කර තිබුණි. වෛද්‍ය සාෆිගේ දළ වත්කම් බැරකම් ප‍්‍රකාශයක් ඔහුට ඇති චෝදනා ගැන තේරුම් ගැනීමට කැමති පුරවැසියෙකුට වැදගත් වනු ඇත.

දේපළ

වෛද්‍ය සාෆි සියාබ්දීන් සන්තකයේ ඇති චංචල දේපල 14 ක් බව මෙතෙක් හෙළිකරගෙන තිබෙන බව සීඅයිඞීය සිය වාර්තාවේදී පවසයි. මෙතෙක් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු ඇසුරින් වෛද්‍ය සාෆිගේ දේපළ මෙසේය. ඔහු වෛද්‍යවරයෙකු ලෙස ලැබූ වැටුපෙන්ද, විවිධාකාර ආයෝජන සිදුකරමින් ව්‍යාපාරිකයෙකු ලෙසද දේපළ උපයා ඇත.

කුරුණෑගල ඇති ඔහුගේ නිවස ඔහු සතු එක් දේපළකි. එය රුපියල් 2008දී රුපියල් මිලියනයකට මිලදී ගෙන තිබේ.

තවත් නිවසක් හා ඉඩමක් 2012 දී මිලියන හයකට මිලදී ගෙන ඇත. කුරුණෑගලම පර්චස් 15.2ක හිස් ඉඩමක් රුපියල් 4,375,600කට මිලදී ගෙන තිබේ. තෝරයායේ පර්චස් 20ක ඉඩමක් මිලදී ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 3කටය. ඔහුගේ නිවස අසලම තවත් පර්චස් 5.1ක ඉඩමක් හා නිවෙසක් 2015 දී රුපියල් 3,020,000කට මිලදී ගෙන තිබේ. කුරුණෑගල හා නුවර පාරේ පර්චස් 29ක ඉඩමක් රුපියල් මිලියන 15කට මිලදී ගෙන තිබේ. තෝරයාය ප‍්‍රදේශයේ පර්චස් 18ක හිස් ඉඩමක් රුපියල් ලක්ෂ 2කට මිලදී ගෙන තිබේ. අලකොලදෙණිය ප‍්‍රදේශයේ කුඹුරු ඉඩමක් මිලදීගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 2කටය.

පුත්තලම් පාරේ ඉඩම් දෙකක් ඇත. වෛද්‍ය සාෆි අත්අඩංගුවට ගැනීමට බලපෑ ආන්දෝලනාත්මක ඉඩම් දෙක වන්නේ එයයි. කුරුණෑගල සිංහල වෙළඳ සංගමයේ පැමිණිල්ලක් මත වෛද්‍ය සාෆි ගැන කුරුණෑගල පොලීසිය පරීක්ෂණ පටන්ගත් බව කියන්නේ ඒ ඉඩම් ගනුදෙනුව නිසායි. එහෙත් ඒ ඉඩම් දෙක වෛද්‍ය සාෆි මිලදී ගෙන තිබුණේ කොටස්කරුවන් 4 දෙනෙකු අතරින් කෙනෙකු ලෙසය. එක් අයෙකු මිලියන 15 බැගින් ඒ ඉඩම් සඳහා ආයෝජනය කර තිබුණි. රුපියල් මිලියන 60ක පමණ ණයක් අමානා බැංකුවෙන් ලබාගෙන තිබුණි. කලාවැව පර්චස් 126ක පොල් ඉඩමක්ද වෛද්‍ය සාෆිට ඇත. එය මිලදීගෙන ඇත්තේ මිලියන 2කටය.

කැකිරාවේ පර්චස් 07ක ඉඩමක් හා කඩයක් රුපියල් මිලියන 2කට මිලදී ගෙන ඇත. ඉබ්බාමුවේ අක්කර 08ක පොල් ඉඩමක් ලක්ෂ 56කට මිලදී ගෙන ඇත. කුරුණෑගල පර්චස් 11.5ක ඉඩමක් මිලදීගෙන ඇත්තේ 11 ලක්ෂයකටය. මේ සියලූ දේපලවලට රුපියල් 53,040,600ක් පමණ වියදම් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

දෙදෙනාම වෛද්‍යවරුන් වන යුවළක් ඉඩම් මිලදී ගනිමින්, ඒ ආදායම මත තවත් ඉඩම් මිලදී ගැනීම අසාමාන්‍ය කාරණයක් දැයි අප විමසිය යුතුය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉදිරි පෙළ සාමාජිකයන් කිහිපදෙනෙකුගේ වත්කම් බැරකම් ප‍්‍රකාශ ලබාගත්තා නම් වෛද්‍ය සාෆිගේ වත්කම් ගැන කිසිම පුදුමයක් ඇචති නොවනු ඇත.

ආදායම

වෛද්‍ය සාෆි සතුව රසායනාගාරයක් ඇත. එය රුපියල් ලක්ෂ 37ක ආයෝජනයක් බව සීඅයිඞීය කියයි. මසකට රුපියල් ලක්ෂ 10ක පමණ ආදායමක් එයින් ලැබෙන බවද සීඅයිඞීය කියයි. රසායනාගාරයේ කුලිය මසකට රුපියල් 280,000 කි.

මීට අමතරව ‘සන්පොට් බර්නාඞ්’ නම් පේව්මන්ට් ගල් නිෂ්පාදනය කරන ආයතනයක් ඔහු සතුව ඇති බවද සීඅයිඞීය කියා තිබේ. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 17ක ආයෝජනයක් කර ඇත. මසකට ලක්ෂ 4ක ආදායමක් එයින් උපයයි.

නිවෙස් කුලියට දීමෙන් මසකට රුපියල් 66,000ක් පමණ උපයයි. ඊට අමතරව අලූතෙන් මිලදී ගත් බෝධිරාජ මාවතේ ඉඩමෙන් රුපියල් 50,000ක මාසික ආදායමක් උපයයි. ඊට අමතරව වෛද්‍යවරයෙකු ලෙස මාසික වැටුපක්ද ඔහුට ලැබෙයි.

ඔහු හා බිරිඳ වෛද්‍යවරුන් ලෙස වාහන පර්මිට් අලෙවි කරමින් රුපියල් මිලියන 12ක පමණ ආදායමක් උපයා ඇත. දැනට ඔවුන්ට කාර් රථ දෙකක් සහ යතුරුපැදියක් ඇත.

මාසිකව රුපියල් 1,933,500ක් හෙවත් ලක්ෂ 19ක් ඔහු මාසිකව උපයයි. ඔහු ආයෝජනය කර ඇති මුළු මුදල ලක්ෂ 377කි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ ඔහු අන්‍යාකාරයකින් හෝ නීති විරෝධී ක‍්‍රමයකින් මුදල් උපයා ඇති බව තහවුරු වී නොමැති බවය. කෙසේ වෙතත් ඒ ගැන වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් සිටින බවද එම දෙපාර්තමේන්තුව කියා තිබේ.

කාර්ය මණ්ඩලය

අවසාන වශයෙන් වෛද්‍ය සාෆි ගැන රෝහල් කාර්ය මණ්ඩලය සීඅයිඞීයට දී තිබුණු සාක්ෂි ගැනත් කිව යුතුය. ඒ කිසිවෙකුගේ සැකයට ලක් නොවී වෛද්‍ය සාෆිට වසර ගණනාවක් තිස්සේ මව්වරුන් දහස් ගණන් වඳ කරන්නට හැකිවේයැයි කල්පනා කිරීමම විකාරයකි. වෛද්‍ය සාෆි අනවශ්‍ය කලබලයක් පෙන්වමින් මැජික් උපක‍්‍රම පාවිච්චි කොට වඳ සැත්කම් කරන බව දිවයින කියා තිබුණි. අඩු තරමේ එවැනි චෝදනාවක්වත් රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු තහවුරු කර තිබුණා නම්, ඒ ගැන සැලකිය හැකිය. එහෙත් කිසිවෙකු වෛද්‍ය සාෆි ගැන සැක කරන්නට එවැනි පදනම් සහගත සාක්ෂියක් ලබාදී නැත.

සීඅයිඞීය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවල තිබුණේ වෛද්‍යවරුන් 47 දෙනකුගෙන්, හෙදියන් 71 දෙනකුගෙන් සහ සුළු සේවකයන් 18 දෙනකුගෙන් ප‍්‍රකාශ ලබා ගත් බවය.

වෛද්‍යවරුන් 47 දෙනාගෙන් වෛද්‍යවරුන් 45 දෙනකුම සාෆිට එරෙහිව කිසිම චෝදනාවක් නඟා නැත. එක් නිර්වින්දන වෛද්‍යවරියක සාෆිගේ සැත්කම් සැකසහිත බවට වෙනත් අය කීවේයැයි ප‍්‍රකාශයක් දී ඇත. මෙම වෛද්‍යවරිය හා සාෆි අතර මීට ඉහත බහින්බස්වීමක් සිදුවී තිබුණි.

තවත් වෛද්‍යවරයකු කියා ඇත්තේ සිසේරියන් සැත්කමක් අවසන් වෙද්දී සාෆි සෙසු වෛද්‍යවරුන් වෙනත් වැඩවලට යවන බවයි. එම දෙදෙනාද ඇතුළුව වෛද්‍යවරු 47 දෙනාම වෛද්‍ය සාෆි පැලෝපීය නාල මිරිකනු කිසිදා දැක නැතැයි බව ප‍්‍රකාශ කර තිබේ. හෙදියන් 71 දෙනා සහ සුළු සේවකයන් ද කියා ඇත්තේ වෛද්‍ය සාෆි පැලෝපීය නාල මිරිකනු කිසිදා දැක නැති බවය. ඒ නිලධාරීන් අතර වෛද්‍ය සාෆි සමඟ සැත්කම්වලට සහභාගි වූ හෙදියන් සිට ඇත.

විශේෂඥ වෛද්‍යවරුන්, ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරුන්, සීමාවාසික වෛද්‍යවරුන්, හෙදියන් සහ කාර්ය මණ්ඩලයෙන් ලබාගත් කිසිම සාක්කියකින් වෛද්‍ය සාෆි මව්වරුන්ගේ පැලෝපීය නාල මිරිකනවා දුටු බව හෝ මිරිකූ බව හෝ ඒ ගැන සැක කිරීමක් අනාවරණය වී නැත.

මෙතෙක් අප ඔබට ඉදිරිපත් කළ වෛද්‍ය සාෆි ගැන සීඅයිඞීය ඉදිරිපත් කළ කරුණු කිසිවක් කරුණු වශයෙන් තවමත් අභියෝගයට ලක්ව නැත. සීඅයිඞීය වෛද්‍ය සාෆිට පක්ෂපාතී බව චෝදනා එල්ලකරන කිසිවෙක් ඒ කරුණු අසත්‍ය බව පදනම් සහගතව ඔප්පු කර නැත. තමන්ගේ කටඋත්තර සීඅයිඞීය විකෘති කර ඇති බව පදනම් සහගතව කරුණු ඉදිරිපත් වී නැත. ඒ අනුව වෛද්‍ය සාෆි ක‍්‍රමයෙන් නිර්දෝෂී වෙමින් සිටියි. එහෙත් ජාතිවාදී විෂ පතුරුවන්නන්, පදනම් විරහිත චෝදනා එල්ලකරමින් වෛද්‍ය සාෆි සදා වරදකරුවෙකු කරනු ඇත. අන්ධභක්තියෙන් ඒවා පිළිගන්නා පිරිසක්ද ඉතිරි වනු ඇත.

(අනිද්දා )