Language Switcher

V2025

අතුරුදහන් කිරීම් නඩුවලට කුමක් සිදු වෙයි ද?

"වසර නවයක කාලයක් පුරා අතුරුදන් වූ එම එකොළොස් දෙනා අතර සිටින මගේ පුතා වෙනුවෙන් සාධාරණයක් ඉටු වෙන තෙක් තවමත් මේ ඇස්වල කඳුළු වියළී ගොස් නැත. අධිකරණය දෙස බලා සිටිමි. යුක්තිය ඉටු වෙන තෙක් බලා සිටිමි... රණවිරු ලේබලය ගසා ගත් කාලකණ්ණි මුරුගයන් බේරී යාමට තුට්ටු දෙකේ දේශපාලුවන් හා එක්ව සිදුකරන කෛරාටික නාටක දෙස වේදනාවෙන් බලා සිටිමි..." (2019.08.11)

ඉහත දැක්වෙන්නේ 2008 වසරේදී පැහැර ගනු ලැබුණු එවකට ශිෂ්‍යයකු වූ ජමාල්ඩීන් ඩිලාන්ගේ මව, ජෙනිෆර් වීරසිංහගේ ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනකි.

jenifer

ජෙනිෆර් වීරසිංහ සිය අතුරුදන් වූ පුතු වෙනුවෙන් යුක්තිය ඉටු වන තෙක් තවමත් බලා සිටින සිය ගණනක් මව්වරුන්ගෙන් එක් තැනැත්තියකි. එමෙන් ම, ඇය ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිට විශ්‍රාමික හමුදා නිලධාරියෙකුගේ බිරිඳකි.

ජෙනිෆර් සිය වේදනාව පළ කරන්නේ, සිය පුතු පැහැර ගැනීමට ලක් වන විට ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධූරය දැරූ ගෝඨාභය රාජපක්ෂ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති පසුබිමකය.

අතුරුදන් වීම්

 108293904 b6d43489 59c0 45f7 85f4 db1000c01af2

කොළඹ ජාත්‍යන්තර පාසලේ (CIS) ආදි ශිෂ්‍යයකු වූ රජීව් නාගනාදන් සහ ඔහුගේ මිතුරන් සිව් දෙනෙකු අතුරුදහන්ව ඇත්තේ 2008 වසරේ සැප්තැම්බර් මස 17 වෙනිදා සිටය.

ප්‍රදීප් විශ්වනාදන්, තිලකේශ්වරන් රාමලිංගම්, ජමාල්ඩීන් ඩිලාන් සහ මොහොමඞ් සාජිත් අතුරුදහන් සෙසු තරුණයෝ වෙති.

2008 අගෝස්තු 08 වෙනිදා සිට සැප්තැම්බර් මස 17 වෙනිදා අතර කාලය තුළ කොටහේන, වැල්ලවත්ත, ත්‍රිකුණාමලය, මඩකලපුව ඇතුළු ස්ථාන කිහිපයකදී තරුණයන් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වයි.

2008 සහ 2009 අවධියේ තරුණයන් එකොළොස් දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගිය බව පැවසෙන සිදුවීමට අදාළව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ චෝදනා ලබන අතර, පසුගිය දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඔහු නාවික හමුදාවේ ඉහළම ධුරය වන 'අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්' සම්මානයෙන් පුදනු ලැබුණි.

කෙසේ වුවද, එවක රාජකාරියේ යෙදී සිටි ආරක්ෂක අංශ සාමාජිකයන් වෙත එල්ල කෙරෙන චෝදනා හුදෙක් දේශපාලන සහ ජාත්‍යන්තර උවමනාවන් මත සිදු කෙරෙන පළිගැනීම් බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටින ජාතිකවාදී කණ්ඩායම්වල අදහස වෙයි.

  • කරන්නාගොඩගේ උසස්වීම ගැන සමාජ මාධ්‍ය ජාල ප්‍රතිචාර
    දෙහිවල ප්‍රදේශයේ දී දෙමළ ජාතික තරුණයන් පස් දෙනෙකු පැහැරගෙන යාමට එවක නාවික හමුදාපතිවරයා වූ වසන්ත කරන්නාගොඩගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ද සම්බන්ධ වී ඇති බවට පොලිසිය 2015 වසරේදී අධිකරණය හමුවේ කරුණු දක්වා ඇත.

එම අවධියේ රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති නිශාන්ත ද සිල්වා අධිකරණය හමුවේ පවසා තිබුණේ, අදාළ පැහැරගෙන යාම් පිළිබඳව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ දැනුවත්ව සිටි බව හෙළි වී තිබෙන බවය.

  • තරුණයන් පැහැරගැනීම: 'නාවික හමුදාපති දැන සිටියා'
    ත්‍රිකුණාමලය සිසු ඝාතන නඩුව

 108293905 916082f2 e718 43c0 b3c4 0798a5a2c197

''මගේ පුතා වෙනුවෙන් යුක්තිය සෙවීම මම කිසිදාක නවත්තන්නේ නැහැ'' - වෛද්‍ය කාසිපිල්ලේ මනෝහරන්

මේ අතර, ත්‍රිකුණාමලයේ පදිංචි කරුවන් වූ මනෝහරන් රජීහරන්, යෝග රාජා හේමචන්ද්‍රන්, ලෝහිත රාසා රෝහන්, තංගදොරෙයි ශිවනාදන්, ෂම්මුගරාසා ගජේන්ද්‍රන් යන පස් දෙනා 2006 වසරේ ජනවාරි 02 දින වෙඩි තබා ඝාතනය කොට තවත් දෙදෙනෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ මිනී මැරීම, 300 වගන්තිය යටතේ මිනී මැරීමට තැත් කිරීම, 32 වගන්තිය යටතේ පොදු චේතනාව ඇතුළු චෝදනා පහළොවක් යටතේ තවත් නඩුවක් පවරා තිබුණ අතර, එම ඝාතන සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ආරක්ෂක අංශ සාමාජිකයන් දහ තුන් දෙනෙකු සියලු ම චෝදනාවලින් නිදහස් කිරීමට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය ජූලි 03 වෙනිදා නියෝග කළේය.

ආරක්ෂක අංශ සාමාජිකයන් සිසු ඝාතන නඩුවෙන් නිදහස්
"දූ දරුවන්ගේ ආරක්ෂාවේ වගකීම මා භාර ගන්නවා" - ගෝඨාභය රාජපක්ෂ

2019 අගෝස්තු 11 වෙනිදා,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමුළුවේදී ජනාධිපති අපේක්ෂකත්වය භාර ගනිමින් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළේ, "දූ දරුවන්ගේ ආරක්ෂාවේ වගකීම තමා භාර ගන්නා," බවය.

 108295204 65068e45 2222 40a5 bdad 10c43ac6f151

"ඔබේත් ඔබේ දූ දරුවන්ගේ ආරක්ෂාවේ වගකීම මා භාර ගන්නවා. අපේ ශක්තිය ජාතික එකමුතුවයි. මේ මාතෘ භුමිය තුළ ඉපදුණු ඕනෑ ම අයෙකුට බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි ආරක්‍ෂිත පරිසරයක් යළි ගොඩ නගන බවට මම සහතික වෙනවා. කිසි විටකත් අන්තවාදී ත්‍රස්තවාදයට ඉඩ තබන්නේ නැහැ," යනුවෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

එම සමුළුවේ දී අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ, වත්මන් ආණ්ඩුවේ පාලන කාලය තුළ "රණවිරුවන් දඟ ගෙට" නියම කළ බවය.

"රණවිරුවෙකු සහ මිනීමරුවෙකු අතර වෙනස වටහාගත යුතුයි"

හමුදා සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් දඩයමක් ක්‍රියාත්මක වන බවට එල්ල වන චෝදනා අවස්ථා කීපයකදීම ප්‍රතික්ෂේප කර ඇති ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, "රණවිරුවෙකු සහ මිනීමරුවෙකු අතර වෙනස" සමාජය වටහා ගත යුතු බව අවධාරණය කරයි.

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය

ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වයට පත් කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර 'ට්විටර්' පණිවුඩයක් පළ කරමින් ප්‍රශ්න කරන්නේ "යළිත් අඳුරු යුගයට යාමට ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය ද?" යනුවෙනි.

මේ අතර, ස්වාධීන රූපවාහිනිය සමග ඉරිදා (අගෝස්තු 11) පැවති සංවාදයකට එක් වෙමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ගෝඨාභය රාජපක්ෂ පිළිබඳව පැවසුවේ මෙවන් අදහසකි.

"මම මිනිස්සු ගැන විග්‍රහයකට එන්නේ, වටහා ගන්නේ ඒ අය කියන වචන අනුව නෙවෙයි. කොයිතරම් ලස්සන වචන කිව්වත් කොයිතරම් ලස්සනට හිනා වුණත් මොනවා කෙරුවත් ඒ අයගේ ක්‍රියාවලිය දිහා බලන්න ඕන. එතුමාට වසර නවයක් සම්පූර්ණයෙන් අවස්ථාව ලැබුණා මේ රට හදන්න - එයාගේ අයියත් එක්ක. කරපු දේ බලපුවාම ඒ තුළින් රට හදයි කියලා කිසිසේත් ම හිතන්න බෑ. රට සම්පූර්ණයෙන් විනාශ මුඛයට යන්නේ."

නමුත් ජනාධිපති අපේක්ෂකත්වය නිවේදනය කරමින් සිය මංගල දේශනය අතරතුර ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කළේ නීතියේ ආධිපත්‍ය නගා සිටුවීමට කටයුතු කරන බවය.

"චෝදනා බොරු" - කෙහෙළිය රඹුක්වැල්ල
 108293908 27a90de2 4de6 41ef a504 4529f8685f24
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත්වුවහොත් ස්වාධීන අධිකරණ පද්ධතියක් හමුවේ, අතුරුදන් වීම්වලට අදාළ නඩු විභාග ඉදිරියට පවත්වාගෙන යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

"අධිකරණය සහ නීතියේ ආධිපත්‍යය රැකීම ගැන සහතික වෙන්න පුළුවන්. නීතිය හා සාමය තමයි එතුමාගේ පළවෙනි වැඩපිළිවෙළ. ඒ යටතේ ස්වාධීන අධිකරණ පද්ධතියක් හරහා ඒ කටයුතු ඉදිරියට ගෙන යනවා." මන්ත්‍රීවරයා බීබීසී සිංහල සේවයට පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ පිළිබඳව එල්ල වන චෝදනා සහ සැක සංකා පිළිබඳ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, රාජපක්ෂ පවුල සම්බන්ධයෙන් අසත්‍ය චෝදනා රැසක් පවතින බවය. "එම චෝදනා අමූලික බොරු කියලා ඔප්පු වෙලා ඉවරයි," පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියි.

"2015 ඉඳන් මේ රටේ එක බොරුවක් නෙවේ - බොරු ෆැක්ටරියක් ඉදිරිපත් කළා. බොරු ගොඩක් කිව්වා. රාජපක්ෂ පවුලට බොරු චෝදනා කළා. විශේෂ අධිකරණ පිහිටුවල නීතිය ඉදිරියට ගේනවා කිව්වා. ඔවුන්ට බලය ලැබුණට පස්සේ හැකියාව තිබුණා වරදක් කළා නම් නීතිය හමුවට යන්න. ඒ නිසා ඒවා අමූලික බොරු කියලා ඔප්පු වෙලා ඉවරයි," පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල වැඩි දුරටත් සඳහන් කළේය.

මේ අතර, අගෝස්තු අට(08) වෙනිදා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළේ, ගෝඨාභය රාජපක්ෂ "ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ ඇති නායකයකු" බවය.

බීබීසී