Language Switcher

V2025

ජනාධිපති අපේක්ෂකයා ගෝඨා හෝ මෛත්‍රී නොවෙන්න පුළුවන් - දුමින්ද 

පොහොට්ටු පාර්ශවය ජනාධිපති අපේක්ෂකයකු නම් කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සිදුකරගෙන යන  සන්ධානයක් වෙනුවෙන් වන සාකච්ඡාවට බාධාවක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසයි.
අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව පවසා ඇති අතර එම සාකච්ඡා අවසානයේ සන්ධාන අපේක්ෂකයා ගෝඨාභය හෝ මෛත්‍රීපාල නොවන වෙනත් අයෙකු විය හැකි බවත් පවසා ඇත.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කර ඇත.
සමහර විට අපි හැමෝම එකතු වෙලා එක තීන්දුවක් දෙන්න පුළුවන් හැමෝටම මධ්‍යස්ථව සහය දෙන්න පුළුවන් මේ රටේ ජනාධිපති අපේක්ෂකයා දිනේෂ් ගුණවර්ධන කියලත් අපිට හිතෙන්න පුළුවන්, තීන්දු වෙන්නත් පුළුවන්.නැත්නම් එහෙම නෑ මේ රටේ හොඳම අපේක්ෂකයා, සන්ධාන ගත වෙලා දිනන්න පුළුවන් අපේක්ෂකයා විමල් වීරවංශ කියලා එන්නත් පුළුවන් සමහර වෙලාවට.ඒ නිසා මම කිව්වේ පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් නම් කළා කියලා මේ සාකච්ජා වලට කිසිම බාධාවක් නෑ.ජනාධිපතිවරණය ජයග්‍රහණ කරන වැඩසටහනේ සියලු පාර්ශවකාරයින් ගන්න අවසාන තීන්දුව තමයි, අවසාන අපේක්ෂකයා තෝරන තීන්දුව බවට පත් වෙන්නේ.
රටේ ජනාධිපති විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපි කිව්වට මෛත්‍රී මහත්තයා කියලා, එයා වත්මන් ජනාධිපති වෙලත් එතුමා නෙමෙයි නම් තීන්දුව, වෙන පක්ෂයකින් නම් කරන කෙනෙත් නොවෙන්න පුළුවන් තීන්දුව.
පොදුවේ එකඟතාවක් හදාගෙන ගන්න තීන්දුව වෙන්න පුළුවන් අවසන් තීන්දුව.හැබැයි පක්ෂයකට අයිතියක් තියෙනවා තමන්ගේ අපේක්ෂකයා කවුද කියන එක නම් කර ගැනීමේ අවස්ථාවක් තියෙනවා.ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපි ශක්තිමත්ව ඉමු,මේක අපිට පොඩි අපල කාළයක් තමයි.අපල හැමදාම තියෙන්නෙ නෑ.සමහර වෙලාවට අර අමාරුම කාළයෙන් පස්සේ එන්නේ හොඳම කාලය.
හැබැයි අමාරු කාලයේ ටිකක් අමාරුයි. අමාරු කාළයේ හොඳටම අමාරුයි.හැබැයි හැම අමාරු කාළයකටම පස්සේ හොඳ කාලයක් එනවා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉදිරියේදී ඒ හොඳ කාලයක් එනවා.ඒ නිසයි මම කිව්වේ ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයා තීන්දු කරන්නේ වෙන කවුරුත් නෙමෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය.
එහෙම තීන්දු කරපුවහම ඒ සියලු බලය ලැබෙන්නේ අද පොඩ්ඩක් වුණත් ඉන්න ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ට ඒ හයිය, වටිනාකම, ගෞරවය ලැබෙන්නේ.ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට, පාක්ෂිකයන්ට හොඳ කාලයක් තියෙනවා, කළබල වෙන්න එපා කළ කිරෙන්න එපා.අමාරු කාළ ආවම අපි අමාරුවෙන් දරාගෙන ඉමු.ඒ දරා ගැනීමත් එක්ක තමයි අපිට සියලු ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්කම තියෙන්නෙ.