ජනතා විමුක්ති පෙරමුණ සහ ඊට සහයෝගය දෙන සිවිල් සංවිධාන එකතුවෙන් සැදුම් ලත් 'ජාතික ජන බලවේගයේ' ජනාධිපති ධුර අපේක්ෂකයා වශයෙන් අනුර කුමාර දිසානායක නම් කරනු ලබයි.
අද (අගෝස්තු 18) කොළඹ ගාළු මුවදොර පිටියේ පැවති දැවැන්ත ජන රැළියේ දී 'ජාතික ජන බලවේගයේ' ජනාධිපති ධූර අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරනු ලැබුණි.
'ජාතික ජනබල බලවේගයේ' ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නායකයා වෙයි.
පක්‍ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර සහ අනුප්‍රාප්තික නායක සෝමවංශ අමරසිංහගෙන් පසුව ඔහු ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ලෙස කටයුතු කරයි.
අනුර කුමාර දිසානායක: සටන්කාමි දේශපාලන ගමන්මග
1971 හා 1988/89 දෙවරක් රාජ්‍ය බලය අල්ලා ගැනීමේ අරමුණෙන් සන්නද්ධ අරගල දෙකකට නායකත්වය දුන් ජනතා විමුක්ති පෙරමුණ, ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂවලට විකල්පයක් හැටියට දේශපාලන භූමියේ පෙනී සිටියි.
1965 මැයි 14 වැනිදා වෙසක් පෝ දිනෙක ගාල්ල අක්මීමනදී නිල වශයෙන් ආරම්භ වූ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘවරයා වූයේ රෝහණ විජේවීරය.
1971 අසාර්ථක රාජ්‍ය විරෝධී කැරැල්ලෙන් සහ 1989 නොවැම්බර් 13 වෙනිදා රෝහණ විජේවීර ඝාතනය කරනු ලැබීමෙන් අනතුරුව දේශපාලන පක්ෂයක් හැටියට ජනතා විමුක්ති පෙරමුණට ඉතා දුෂ්කර අවධියකට මුහුණ දීමට සිදු විය.
'ජාතික ජනබලවේගය' නමින් බහුජන ව්‍යාපාරයක මුහුණුවරින් මෙවර ජනාධිපතිවරණ සටනට අවතීර්ණ වී සිටින ජනතා විමුක්ති පෙරමුණ, සමකාලීන දේශපාලනයේ වැඩි වශයෙන් කතාබහට ලක්වීමට එක් හේතුවක් වන්නේ එහි වත්මන් නායක අනුර කුමාර දිසානායකගේ දේශපාලනික මැදිහත්වීම්ය.
දශක දෙකකට අධික කාලයක් ජනතා විමුක්ති පෙරමුණට නායකත්වය දුන් සෝමවංශ අමරසිංහගෙන් පසුව පක්ෂයේ නායකත්වයට පත් අනුර කුමාර දිසානායක, මේ වනවිට වසර පහක කාලයක් තිස්සේ සිය පක්ෂයට නායකත්වය දෙයි.
මෙහි දැක්වෙන්නේ ඔහුගේ දේශපාලන ජීවිතය පිළිබඳ සමාලෝචනයකි.
සම්පූර්ණ නම - දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක
උපන් ගම - ගලේවෙල, දේවහූව (සිව් වසරකට පසුව කැකිරාව ආඬියාගල පදිංචියට ගොස් ඇත.)
උපන් දිනය - 1968 නොවැම්බර් 24
ප්‍රාථමික අධ්‍යාපනය - තඹුත්තේගම ගාමිණී ප්‍රාථමික විද්‍යාලය
ද්වීතික අධ්‍යාපනය - තඹුත්තේගම මධ්‍ය මහ විද්‍යාලය
(අනුර කුමාර දිසානායක අපොස උසස් පෙළ විභාගය ගණිතය ධාරාවෙන් සමත් වෙයි. තඹුත්තේගම මධ්‍ය මහ විද්‍යාලයෙන් උසස් පෙළ සමත් වී විශ්ව විද්‍යාල ප්‍රවේශය දිනා ගත් පළමු ශිෂ්‍යයා වන්නේ ඔහුය.)
උසස් අධ්‍යාපනය - 1992 දී භෞතික විද්‍යා උපාධිය සඳහා කැලණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් වන අනුර කුමාර දිසානායක 1995 දී තම උපාධිය ලබාගත්තේය.
ශිෂ්‍ය දේශපාලනය:
1987 ශ්‍රී ලංකා දේශපාලනයේ සුවිශේෂ වසරකි. ඒ ඉන්දු - ලංකා ගිවිසුමට අත්සන් තැබූ වසර වීම නිසාය.
එම අවස්ථාවේ දී අනුර කුමාර දිසානායක පාසල් ශිෂ්‍යයකු ලෙස 'සමාජවාදී ශිෂ්‍ය අංශයේ' වැඩ කටයුතු හරහා දේශපාලනයට සම්බන්ධ වෙයි.
1997 දී 'සමාජවාදී ශිෂ්‍ය සංගමයේ' ජාතික සංවිධායක ලෙස පත්වෙයි.
එම වසරේදීම ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවට පත්වෙන අනුර කුමාර දිසානායක 1998 දී ජවිපෙ දේශපාලන මණ්ඩලයට තේරී පත්වෙයි.
ක්‍රියාකාරී දේශපාලනය:
1998 මධ්‍යම පළාත් සභා මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ මහ ඇමති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය.
වසර 2000 දී පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත්වෙයි.
2001 වසරේදී ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඇති කළ පරිවාස ආණ්ඩුව බිහි කිරීමට දායකත්වය සැපයීය.
2004 වසරේදී ජනතා විමුක්ති පෙරමුණ, පොදු පෙරමුණ සමග එක්ව 'එක්සත් ජනතා නිදහස් සන්ධානය' පිහිටුවා ගත්තේය.
එම වසරේ පැවති මහ මැතිවරණයේ දී කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා වැඩිම මනාප ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්විය.
සන්ධාන ආණ්ඩුවේ කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග, සහ පශු සම්පත් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළේය.
2008 වසරේදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා වශයෙන් තෝරා ගැනිණි.
2010 මහ මැතිවරණයට අනතුරුව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය.
2015 අගෝස්තු මහ මැතිවරණයේ දී කොළඹ දිස්ත්‍රික්කය සඳහා තරඟ කරමින්, පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් පසු ජවිපෙ මන්ත්‍රී කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරයි.
2015 සැප්තැම්බර් 3 වෙනිදා සිට 2018 දෙසැම්බර් 17 වෙනිදා දක්වා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකයා ලෙස ද අනුර කුමාර දිසානායක කටයුතු කළේය.
ජවිපෙ නායකත්වය:
2014 පෙබරවාරි 2 වෙනිදා පැවති ජනතා විමුක්ති පෙරමුණ හත් වන ජාතික සම්මේලනයේදී එම පක්ෂ නායකත්වය අනුර කුමාර දිසානායක තෝරා පත්කර ගනු ලැබුණි.
ජනතා විමුක්ති පෙරමුණ මෙසේ සිය පක්ෂයේ අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නේ වසර 20කට පසුවය. ඒ,1999 දී නන්දන ගුණතිලක ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
1982 : ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරණය - විජේවීර තෙවන ස්ථානයට
1978 දී විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දෙනු ලැබුවේ එවකට එජාපයේ අගමැතිවරයා වූ ජේ ආර් ජයවර්ධන විසිනි. ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරණය පැවැත්වූයේ 1982 වර්ෂයේදී ය.
එහිදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ජේ ආර් ජයවර්ධනත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් හෙක්ටර් කොබ්බෑකඩුවත්, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් රෝහණ විජේවීරත්, ලංකා සමසමාජ පක්ෂය නියෝජනය කරමින් කොල්වින් ආර් ද සිල්වා, නව සම සමාජ පක්ෂය නියෝජනය කරමින් වාසුදේව නානායක්කාරත්, දෙමළ කොංග්‍රසය වෙනුවෙන් කුමාර් පොන්නම්බලම් ද ඉදිරිපත් වූහ.
මෙවර මැතිවරණ සටනේ දී දැඩි ප්‍රචණ්ඩ ක්‍රියා රැසක් වාර්තා විය. කෙසේනමුත්, අවසානයේ දී ඡන්ද 273428ක් ලබාගත් රෝහණ විජේවීර තෙවන ස්ථානයට පත් විය.
"ජනතාව අපි රටේ තෙවන බලවේගය ලෙස පිළිගෙන තිබෙනවා" යැයි ජනාධිපති සටනෙන් පසු පැවති රැස්වීමක් අමතමින් විජේවීර ප්‍රකාශ කර තිබිණි.
ජවිපෙ 1989 ජනාධිපතිවරණය වර්ජනයේ !
# 1989 ජනාධිපතිවරණය : මෙම ජනාධිපතිවරණය ජවිපෙ විසින් මුළුමනින්ම වර්ජනය කළේය. ඊට අමතරව එයට සන්නද්ධ ලෙස ප්‍රතික්‍රියා දැක්වීය.
# 1994 ජනාධිපතිවරණය : ජනතා විමුක්ති පෙරමුණ යළි ප්‍රසිද්ධ දේශපාලනයට පිවිසීමෙන් පසු පැවැති පළමු ජනාධිපතිවරණය වූ 1994 ජනාධිපතිවරණයට නිහාල් ගලප්පත්ති ඉදිරිපත් කළ අතර සටන මැදදී ඔහු සටනින් ඉවත් වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගෙන් ලිඛිත පොරොන්දුවක් ලබාගෙනය.
# 1999 ජනාධිපතිවරණය : මෙම ජනාධිපතිවරණයට වමේ පොදු අපේක්ෂකයා ලෙස ජනතා විමුක්ති පෙරමුණ නන්දන ගුණතිලක ඉදිරිපත් වූ අතර ඔහුට ලබාගත හැකිවූයේ ඡන්ද 344,173 ක් හෙවත් 4.08% කි.
# 2005 ජනාධිපතිවරණය : මෙහිදී ජවිපෙන් අපේක්ෂකයකු ඉදිරිපත් නොකළ අතර වෙනස් පක්ෂයක අපේක්ෂකයකුට සහය දැක්වීය. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා වූ මහින්ද රාජපක්ෂටය. ජවිපෙ අයස්කාන්ත මැදිහත්වීමේ ප්‍රතිඵලයක් මත එම මැතිවරණ සටනින් මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කළේය.
2010 ජනාධිපතිවරණය : මේ වන විට ජවිපෙ හා මහින්ද රාජපක්ෂ ගැටුම ඉතා උච්ච තලයකට පත්වී තිබූ අතර ජවිපෙ ඍජු මැදිහත්වීමෙන් මහින්ද රාජපක්ෂට එරෙහිව පොදු අපේක්ෂකයකු ලෙස සරත් ෆොන්සේකා ඉදිරිපත් කළේය. එෙහත් සරත් ෆොන්සේකා හා මහින්ද රාජපක්ෂ අතර ඡන්ද ලක්ෂ 18ක පරතරයකින් යුතුව සටන නිමාවිය. මහින්ද රාජපක්ෂ දෙවැනි වරටත් රටේ විධායක ජනාධිපති විය.
2015 ජනාධිපතිවරණය : මෙහිදී ජවිපෙ ඍජු අදහසක් ඉදිරිපත් නොකළේය. ඔවුන් කියා සිටියේ මහින්ද රාජපක්ෂ පරජය කළ යුතු බවය. ඒ වෙනුවෙන් දිනවිය යුතු අපේක්ෂකයා කවුරුන්ද යන්න ඍජුව නොකීවද එහි වාසිය පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට හිමි විය. විධායක බලය දෙවරක් හෙබවූ මහින්ද රාජපක්ෂ පරාජය කළ මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කළේය.