Language Switcher

V2025

ඇමති හරීන් සැරටම බුදි : 21න් පහළ හොකී ජවුසං ඔඩුදුවයි !

ජාතික දේශපාලනය, ක්‍රිකට් ගැන උනන්දු වන තරමට ක්‍රීඩා අමාත්‍යවරයා හොකී ක්‍රීඩාව සම්බන්ධව උනන්දුවක් නොදැක්වීම හේතුවෙන් ක්‍රීඩකයන් රැසකගේ ක්‍රීඩා ජීවිතය වැනසීයාමේ අවධානමක් මතුව ඇති බව මාපියන් පවසයි.

21න් පහළ ආසියානු හොකී තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගෙන ඇති ආකාරය බලවත් අසාධාරණ බවට දුක්ගැනවිල්ල ඉදිරිපත් කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනකු ගේ මාපියන් මේ බව පැවසීය.

එහිදී ඔවුන් පෙන්වාදෙන කරුණු කිහිපයක් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඇතුළු බලධාරීන්ගේ අවධානයට යොමුකිරීම වැදගත් බව අපේ විශ්වාසය වෙයි.

1: මීට පෙරත් නිව්ස් ටියුබ් වෙබ් අඩවිය වාර්තා කළ ආකාරයට 21න් පහළ ආසියානු හොකී තරගාවලිය සඳහා පුහුණුකරු පත්කර ඇත්තේ මූලික නිර්නායකයන් ගැන කිසිදු තැකීමක් සිදුනොකරය. අවම වශයෙන් කණ්ඩායමේ පුහුණුකරු තනතුර සදහා ඉදිරිපත් වූ කිසිවෙකුට සම්මුඛ පරීක්ෂණයක් හෝ පවත්වා නැත.

එහිදී ක්‍රීඩාව මුළුමනින් නින්දිත තැනට ඇද දමමින් අත ඔසවා සිදුකළ ජන්ද විමසීමක් හරහා පුහුණුකරු පත්කර ඇත.

එකම සුදුසුකම හොකී නිලවරණයේ දී ජන්දය ලබාදීම !

2: වෙන්නප්පුව හොකී සංගමය නියෝජනය කරන අයෙකුට මේ ආකාරයට අත ඔසවා සිදුකළ ජන්ද විමසීමෙන් පුහුණුකරු තනතුර පිරිණමා ඇත. එහිදි මූලික සුදුසුකම ලෙස හඳුන්වා ඇත්තේ පසුගිය දූෂිත හොකී නිලවරණය අවස්ථාවේ වත්මන් ජාතික හොකී සංගම් නිලධාරීන් වෙනුවෙන් ජන්දය දීමය.

හොකී ක්‍රීඩාව වනසමින් සිදුකළ මේ නින්දිත කටයුත්තට පසුව දැන් කණ්ඩායම තෝරාගෙන ඇති අතර ඒ කටයුත්ත ද අත ඔසවා පුහුණුකරු පත්කල ආකාරයට දෙවැනි නැත.

තේරීම් කමිටුවේ 3යි : එයින් අයෙක් තවමත් ක්‍රීඩකයෙක් !

3: හොකී තේරීම් කමිටුව සඳහා සාමාජිකයන් 5ක් සිටිය යුතු වුවත් එහි සාමාජිකයන් ඉන්නේ 3ක් පමණි. වැඩබැරි ටාසන් බඳු ඔවුන්ගේ රාජකාරිය වී ඇත්තේ අදිසි හස්තයකින් සැකසෙන හොකී කණ්ඩායම අනුමත කිරීමය.

එම තේරීම් කමිටුව කොතරම් දූෂිත ද යන්නට කදිම සාක්ෂියක් වන්නේ මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල නියෝජනය කල වයඹ පළාතේ ක්‍රීඩකයකු ජාතික තේරීම් කමිටුවේ සාමාජිකයකු කර තිබීමය.

ඒ අනුව නම් දැන් අලුතෙන් තේරීම් කමිටුවක් අනවශ්‍ය අතර ක්‍රීඩකයන් ඔවුනොවුන්ගේ නම් යොදාගෙන කණ්ඩායම නම් කරගත හැකිය.

අප මේ කරන අනාවරණය ගැන යමෙකුට හිනා වෙන්නද අඩන්නද කියා හිතාගන්නට දුෂ්කර විය හැකිය. එහෙත් මේ අනාවරණය ඇත්තය. හොකී සංගමයේ වත්මන් නිලධාරීන් එතරම් දූෂිතය.

ක්‍රීඩා දක්ෂතාව කිසිසේත් අදාල නොවේ !

4: එසේම 21න් පහළ කණ්ඩායම තෝරාගෙන ඇත්තේද අන්ත දූෂිත ආකාරයට වන අතර එහිදී ක්‍රීඩකයන්ගේ පෞද්ගලික දක්ශතා කිසිවක් සැලකිල්ලට ගෙන නැත.

ඒ වෙනුවට ඉහළ පෙළේ පාසල් කිහිපයක ක්‍රීඩකයන් යොදා කණ්ඩායම තෝරාගෙන තිබේ.

කණ්ඩායම තෝරාගෙන ඇත්තේ පුහුණුකරුවන් සහ පුහුණුකාරියන් දෙතුන් දෙනෙකු ලබාදුන් ලයිස්තුවක් අනූව වන අතර එහිදී අවම වශයෙන් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව ගැන පවා කිසිදු සොයාබැලීමක් සිදුකර නැත.

5: ගමක මරණාධාර සමිතියක පවා සභාපති තෝරා ගන්නේ ඇවිදින්න හැකි , අවම වශයෙන් සමිතියට එන්න පුළුවන්ද යන්න හෝ සලකා බලමින් ය. ඒ අවම නිර්නායකය රට නියෝජනය කරන කණ්ඩායමක් තේරීම සදහා යොදාගෙන නොතිබීම තුළ සුමිත් එදිරිසිංහ ප්‍රමුඛ හොකී මාෆියාව ක්‍රීඩාවට කරන විනාශය පැහැදිලිය.

චණ්ඩි තෝරපු කණ්ඩායමක් !

21න් පහළ හොකී කණ්ඩායම තෝරන අවස්ථාවේ ඇතැම් ක්‍රීඩකයන් මෙන්ම මාපියන් වෙත හොකී සංගම් නිලධාරීන් බැන තර්ජනය කර එම ස්ථානයෙන් පළවා හැර ඇති බවත් මාපියන් චෝදනා කරයි.

තමන් වෙහෙසී හරිහම්බ කරගත් දේ වියදම් කර දරුවන් ක්‍රීඩාවට යොමුකරන්නේ ඔවුන්ගේ දක්ශතා දැකීමට බවත් ඔවුන්ගේ දේශීයව මෙන්ම අන්තර්ජාතික මට්ටමේ දක්ශතා ඔප්නංවා ගැනීමට සේවාව සැපයිය යුතු ජාතික හොකී සම්මේලනය ඒ වෙනුවට බඩගෝස්තර මාෆියාවක් පැමිණ වනසමින් සිටින බවත් මාපියන් පෙන්වා දෙයි.

දරුවන්ගේ ක්‍රීඩා ජීවිතය වගේම සමස්ථ රටේම හොකී ක්‍රීඩාව නැතිභංග කරන මේ නිලධාරී මාෆියාව සම්බන්ධව ක්‍රීඩා අමාත්‍යවරයා දැනුවත් කරන ලෙස නිලධාරීන් වෙත අවස්ථා ගණනක් පැමිණිලි කර ඇති නමුත් ඒ කිසිවකට ප්‍රතිඵල ලැබී නොමැති බවත් මාපියන් චෝදනා කරයි.

එසේම තවත් මාපියන් පිරිසක් චෝදනා කරන්නේ හොකී ක්‍රීඩාව සම්බන්ධව හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා කිසිදු උනන්දුවක් නොදක්වන බවයි.