Language Switcher

V2025

නිමල් සිරිපාලත් : පොහොට්ටුවට ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා ඉදිරි දින කිහිපය තුලදී 'පොහොට්ටුවට' එක්වීමට බොහෝදුරට ඉඩ තිබෙන බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

පසුගිය දින වල මේ සම්බන්ධව යම් යම් තොරතුරු පක්ෂ අභ්‍යන්තරයට ලැබුණු බවත් එසේම නිමල් සිරිපාල ද සිල්වා මන්ත්‍රීවරයා ඊයේ (03) පක්ෂ සමුළුව අමතමින් සිදුකළ කතාව ද පැවති සැකසංකා තහවුරු කළ බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

මාධ්‍ය හමුවේ කළ ප්‍රසිද්ධ ප්‍රකාශය !

මේ අතර පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් නිමල් සිරිපාල ද සිල්වා මන්ත්‍රීවරයා සදහන් කර සිටියේ "පවතින තත්ත්වය මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට රජය වීමේ හැකියාවක් නොමැති බවත් එසේ නමුත් රජුන් තැනීමේ ශක්තියක් ඇති බව"ය.

එසේම ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු සතුරා පරාජය කිරීමට නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟින් එක් විය යුතු බවත් සඳහා පවත්වන සාකච්චාවේදී පාර්ශව දෙකම නම්‍යශීලීව කටයුතු කළ යුතු බවද ඔහු කියා සිටියේය.

ඒ නිසා ඉතා ඉක්මනින් තීරණයක් ගෙන මැතිවරණ සටනට එළැඹිමේ උවමනාව තම පක්ෂයට ඇති බව ඔහු තවදුරටත් පැවසීය.

සිරිපාල හිටියේ සිරිසේනගේ වැඩ ගැන කළකිරීමෙන් !

තවද දිගින් දිගටම පක්ෂය දුර්වල වීම සහ ජනාධිපති සිරිසේනගේ දුර්වල දේශපාලන නායකත්වය සම්බන්ධව නිමල් සිරිපාල ද සිල්වා මන්ත්‍රීවරයා දැඩි කළකිරීමෙන් සිටි බවත් අවස්ථා ගණනාවකදී ඔහු මේ සම්බන්ධව පක්ෂයේ ජේෂ්ඨයින් සමග සාකච්ඡා කර ඇති බවත් ශ්‍රිලනිප අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

පක්ෂය මේ ආකාරයට දුර්වල වී යාම හමුවේ එළැඹෙන මහ මැතිවරණයක් තුළ පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රී ධූර කිහිපයක් පමණක් ඇති කුඩා පක්ෂයක් වීමේ අවධානම ඔහු එහිදී පෙන්වා දී ඇති අතර ජනාධිපති සිරිසේන කටයුතු කරන ආකාරය සම්බන්ධව සෑහීමකට පත්විය නොහැකි බවත් සදහන් කර ඇතැයි වාර්තා වෙයි.

ඒ හමුවේ කිසිම දිනයක එක්සත් ජාතික පක්ෂය වෙත යාමට කැමැත්තක් නැති බවත් ඊට වඩා පොදුජන පෙරමුණ සමග එක්ව කටයුතු කිරීමට වැඩි අවස්ථාවක් ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි .