Language Switcher

V2025

ගෝඨාගේ ඉවෙන්ට්ස්වල මහින්දට කැපිල්ලක් : පුතුන් නොසන්සුන් !

පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂගේ මැතිවරණ 'ඉවෙන්ට්ස්' තුළ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට නිසි පිළිගැනීමක් නොලැබීම පිළිබඳව බිරිඳ ශිරන්ති රාජපක්ෂත්, නාමල් රාජපක්ෂ ඇතුළු ඔහුගේ පුතුන් තිදෙනාත් බලවත් සේ කනස්සල්ලට පත්ව සිටින බවත්, ඔවුන් ඒ සම්බන්ධයෙන් ගෝඨාබයගේ ප්‍රචාරක සැලසුම් කරුවන්ට දොස්පවරා ඇති බවත් රාජපක්ෂ පවුලේ ආරංචිමාර්ග පවසයි.

ගෝඨාබය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළේ අගමැති අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ බව අවධාරණය කරමින් වුවද, මේවනවිට ජනාධිපතිවරණය දක්වා හිදැස් පිරවීමට සිදුකෙරෙන 'ඉවෙන්ට්ස්' තුල එබවක් ප්‍රකාශ නොවීම මෙසේ පවුලේ විරෝධයට හේතුවී ඇතැයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.

ජනාධිපතිවරණ ප්‍රචාරක මෙහෙයුමේදී ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂත්, අගමැති අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂත් සම සමව ඉස්මතු කෙරෙන ප්‍රචාරක සැලැස්මක් පොහොට්ටු පක්ෂය විසින් සැලසුම් කර තිබී ඇති නමුත් ගෝඨාබය රාජපක්ෂගේ 'වියත්මඟ' විශ්‍රාමික හමුදා කණ්ඩායම් රටපුරා ප්‍රදර්ශනය කර තිබු ඇතැම් පෝස්ටර් හා කටවුට්වල මහින්ද රාජපක්ෂට එතරම් ප්‍රමුඛතාවයක් ලැබී නොතිබිණ.

gita poster

ඒ අනුව ගෝඨාබය ගේ ජායරුපය ලොකුවටත් මහින්ද ගේ ජායරුපය කුඩාවටත් යොදා ගනිමින් රටපුරා සිදුකර තිබු පෝස්ටර් හා කටවුට් වහාම ඉවත් කිරීමට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මිට ඉහත දී සියලුම සංවිධායකයින්ට නියෝගකර තිබිණ.

මහින්දගේ කල් ඉකුත්වීමේ කලාව:

මෙම ප්‍රචාරක මෙහෙයුම් සම්බන්ධයෙන් සති අන්ත පුවත්පතක පළවූ දේශපාලන විග්‍රහයේ මෙසේ සඳහන් විය.

''ඉතින්, දැන් එළඹී ඇත්තේ මහින්දගේ ආධිපත්‍යය ගෝඨාභය වෙත මාරු වන අවස්ථාවයි. ගෝඨාභයගේ ප්‍රචාරක පෝස්ටර්වල මහින්ද රාජපක්ෂගේ පින්තූරය ක්‍රමයෙන් කුඩා වෙමින්, ගෝඨාභයගේ පින්තුරය විශාල වෙමින් පෙන්වන්නේ මේ අනාගත දේශපාලන ඉරණමයි. මහින්ද රාජපක්ෂගේ කල් ඉකුත්වීමේ කලාවයි.''

එතකොට මම ඔටුවා !

මේ අතර ගෝඨාබයගේ මෙවැනි 'ඉවෙන්ට්ස්' වලට සහභාගී වන දේශපාලන පක්ෂ නායකයින් සිය දේශනවලදී ගෝඨාබය මහත් ඉහලින් වර්ණනා කරනු ලැබුවද මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් එතරම් තැකීමක් නොකිරීම සම්බන්ධයෙන් ද රාජපක්ෂ පවුල නොසන්සුන් වී ඇත.

otuwa

පැලවත්ත බුද්ධදාස ක්‍රීඩා පිටියේ සැප්තැම්බර් 01දා පැවති පිවිතුරු හෙළ උරුමය විශේෂ සම්මේලනයේදී එහි නායක නීතිඥ උදය ගම්මන්පිල ගෝඨාබය ඉදිරියේ තබා ගෙන ගෝඨාබය ජනාධිපති අපේක්ෂකයා කිරීමට ගනුලැබූ පියවර සාධාරණිකරණය කලේ මෙසේය.

''ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ව අප තෝරාගත්තේ, ප්‍රශ්නය ජාතික ආරක්ෂාව නම් පිළිතුර ගෝඨාභය රාජපක්ෂ මැතිතුමායි. ප්‍රශ්නය විනය පිරිහීම නම් පිළිතුර ගෝඨාභය රාජපක්ෂ මැතිතුමායි. ප්‍රශ්නය පරිසර දූෂණය නම් පිළිතුර ගෝඨාභය රාජපක්ෂ මැතිතුමායි. ප්‍රශ්නය නිර්මාණශීලිත්වයක් නොමැතිව රට එක තැන පල්වීම නම් පිළිතුර ගෝඨාභය රාජපක්ෂ මැතිතුමායි. ප්‍රශ්නය රට අරාජික වීම නම් පිළිතුර ගෝඨාභය රාජපක්ෂ මැතිතුමායි.

අප දකින විදිහට නූතන සිංගප්පූරුවේ නිර්මාතෘ ලී ක්වාන් යූ මැතිතුමාගේ දූර දර්ශීභාවයත්, නූතන මැලේසියාවේ නිර්මාතෘ මහතීර් මොහොමඩ් මැතිතුමාගේ කළමනාකරණ හැකියාවත්, නූතන කියුබාවේ නිර්මාතෘ පිදෙල් කැස්ත්‍රෝ ගේ දේශප්‍රේමීත්වයත්, රුසියානු ජනාධිපති වැඩ්මියර් පුටින්ගේ බටහිර ප්‍රජාව ඉදිරියේ පෙන්වන නිර්භීතකම සහ අධිෂ්ඨානශීලීත්වයත් ඒ වගේම ඉන්දියාවේ හිටපු අගමැති ජවහල්ලාල් නේරුගේ ආධ්‍යාත්මික ප්‍රවේශයත් කියන මේ ලක්ෂණ පහ එකට කැටි කළ විට බිහිවන ජනාදිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියන එක අපට ඉතාම නිර්භයව කියන්න පුළුවන්.''