ඡන්ද පත්‍රිකාවට NOTA ඉල්ලා අධිකරණයට පෙත්සමක්

ඡන්ද පත්‍රිකාවට NOTA ඉල්ලා අධිකරණයට පෙත්සමක්
මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කරන පත්‍රිකාවේ සඳහන් වන අපේක්ෂකයන් හෝ පක්ෂ හෝ කණ්ඩායම් කිසිවෙකුටත් ඡන්දය භාවිත නොකරන බව සටහන් කිරීම සඳහාද ඡන්දදායකයාට අවසථාවක් සැළසෙන පරිදි  NOTA ( None of the above ඉහත සඳහන් කිසිවෙකුත් නොවේ) යනුවෙන් තීරුවක්ද ඡන්ද පත්‍රිකාවේ මුද්‍රණය කරන්නැයි මැතිවරණ කොමිසමට රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
 
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතීඥ ලක්ෂාන් ඩයස්ගෙන් මේ පිළිබඳ තොරතුරු විමසීමේදී ඔහු පැවසුවේ නොටා (NOTA) මගින් ඡන්දදායකයෙකුට විසංවාදය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලැබෙන බවය. ඡන්ද පත්‍රිකාවේ සඳහන් අපේක්ෂකයෙක් පක්ෂ හෝ කණ්ඩායම්වලට ඡන්දය ලබාදීමට අකමැති අය සිටී නම් එම විරෝධය සටහන් කිරීමට (NOTA) සටහන මුද්‍රණය කර තිබීම වැදගත්වන බවද ඔහු කීහ.
 
නොටා සටහන් ක්‍රමයට තමන් විරුද්ධ නොමැති වූවත් එම ක්‍රමවේදය භාවිත කරන්නේ දේශපාලනික සවිඥානකත්වයක් ඇති පිරිසක් බව ෆැඩ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි ප්‍රකාශ කළේය.
 
නොටා කොටුවට ලැබෙන ඡන්ද සංඛ්‍යාව නොවැදගත් තත්වයක තිබෙන තෙක් එයට විපර්යාසකාරී බලපෑමක් කිරීමට නොහැකි වුවද එය පළමුවැනි හෝ දෙවැනි තැන ගැනීමට තරම් බලවත් වූ විට එය ඇති කරන බලපෑම ඉතාමත් විපර්යාසකාරී බව පෙත්සම්කාර පාර්ශවය නියෝජනය කරන රාවය පුවත්පතේ උපදේශක කතෘ වික්ටර් අයිවන් පැවසීය.
 
රුසියාව සහ ඉන්දුනීසියාව නොටා (NOTA) ක්‍රමය භාවිත කිරීම ආරම්භ කිරීමෙන් පසු පැවති ඇතැම් වැතිවරණවලදී, ජයගත් අපේක්ෂකයාට වඩා ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමට නොටා කොටුව සමත් වීම හේතු කොටගෙන එම මැතිවරණ යළි පැවැත්වීමට සිදුවූ බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
 
නොටා සටහන ඡන්ද පත්‍රිකාවට යෙදීම රුසියාව, ග්‍රීසිය, යුක්රේනය, ස්පාඤ්ඤය, උතුරු කොරියාව, බංගලිදේශය කොළොම්බියාව යනාදී රටවල ක්‍රියාත්මක කෙරෙන අතර ඉන්දියාවේද මෙම ක්‍රමය භාවිත කරන බව පෙත්සම්කාර පාර්ශවය සිය පෙත්සමේද කරුණු දක්වා ඇත.
 
ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු
රාවය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න