Language Switcher

V2025

ආගමික නායකයන් චෞරයන්ට ආශීර්වාද කරනවා - ලයනල් බෝපගේ

සංහිදියාව පරදවා ජාතික ආරක්ෂාව අද වන විට කරලියට ඇවිත් තියනවා. ලංකාව මුහුණ දී සිටින අර්බුදයේ මුල ජාතික ආරක්ෂාව නැති එකද?

රටේ ජාතික ආරක්ෂාව, සංහිදියාව පාලකයන් මෙන්ම පොදුවේ මේ රටේ දේශපාලනඥයන් වමාර වමාර කන දෙයක් බවට අදවන විට පත් වෙලා තියෙන්නේ. අනිත් පැත්තෙන් මේක රට පාලනය කළ පාලක පන්තිය විසින් ඇති කරන ලද ප්‍රශ්නයක්. රටේ ජනතාව සබුද්ධික නොවන නිසා මේ ප්‍රශ්නය කාලයෙන් කාලයට දේශපාලනඥයින්ගේ බලය හුවමාරු කර ගැනීමේ යෂ්ටියක් බවට පත්වෙලා තියනවා. 1984 පසු අපේ රටේ ඉතිහාසය තුළ සෑම විටම රටේ පාලක පැළැන්තිය වැඩකරලා තියෙන්නේ ජනතාව බෙදා වෙන්කර තබා ගැනීමටයි. සිංහල, මුස්ලිම්, දෙමළ ලෙස ආගම් හා භාෂාව අනුව බෙදා වෙන්වෙන ලෙස කටයුතු කරන්න රාජ්‍ය පාලකයන් සෑම විටම උත්සාහ ගෙන තිබෙනවා. කුඩා කළ සිටම බෙදී වෙන් වී සිටීමට අපේ රටේ දරුවන්ට පාසල් ක්‍රමය මගින් පවා උගන්වනු ලබනවා.

ඒ ඒ ආගම ජන කොට්ඨාසය වෙනුවෙන් වෙන වෙනම මැති ඇමතිවරු පත්කරන්නත් රාජ්‍ය පාලකයන් සූක්ෂ්ම වුණා. මේ සෑම දෙයම පාලක පැලැන්තියෙහි වුවමනාවට සිදු වුණත් රටේ පොදු ජනතාව එයට එරෙහිව කවදාවත් හඬක් නැගීමට ඒකරාශී නොවීම අද පවතින තත්ත්වය දක්වා වර්ධනයට හේතු වෙලා තියෙනවා. ජනතාව රටේ දේශපාලනඥයින්ගේ මර උගුල් තේරුම් ගැනීම සමත් ඥානයකින් සමන්විත නොවීම ඛේදවාචකයක්. ජනතාව දැනුවත් කරන දේශපාලන ව්‍යාපාර, සිවිල් සංවිධාන යම් මට්ටමකින් මේ පිළිබඳ කටයුතු කළත් එහි සාර්ථකත්වය මෙතෙක් ලැබී නැතිබව පැහැදිලියි. 71,88,89, මෙන්ම දෙමළ තරුණ නැගිටීම පවා ඇති වන්නේ රටේ ජනතාවට වූ අඩුපාඩු, අසාධාරණයන් පුපුරවා ගිය අවස්ථා ලෙසයි.Bopage text 1

රටේ ජනතාවට, ආගම, කුලය, ජාතිය, කතා කරන භාෂාව, මෙන්ම තමන් නියෝජනය කරන පන්තිය මත ද සිදු වූ පීඩනය, අයුක්තිය, අද පවා සමාජය තුළ තියෙනවා. මේවා තුළින් සමස්ත ජනතාවම මිරිකිලා, දුර්මුඛ වෙලා ඉන්නේ. රටේ යහපාලනය, සංහිදියාව, වසර 30ක යුද්ධයෙන් පසු සම්පූර්ණයෙන් ම විනාශ වූ සමාජයක් අප හමුවේ තිබුණේ. 2015 මේ රටේ පාලකයන් රාජ්‍ය බලය ලබා ගන්නේ රටේ නොතිබුණු සංහිදියාව, යහපාලනය මේ රටේ සමස්ත ජනතාවට අඩුවක් නැතිව ලබා දෙන්න. රටේ ඒ බලාපොරොත්තුව ඉටු වුණාද? 2015 පෙර තිබූ තත්ත්වය වඩා සාපේක්ෂව යම් යම් මූලික එකඟතා, සශෝධන, ඇතිකර ගත්තත් මේ වසර කීපය තුළ රටේ ප්‍රශ්න වට ගණනාවකින් විශාල වෙලා තිබෙනවා. මීට අමතරව අප්‍රේල් 21 පාස්කු ඉරිදා සිදු වූ අවාසනාවන්ත තත්ත්වය පිළිබඳ වගකිව යුත්තෙක් නැති තත්ත්වයක් උදා වෙලා තියනවා. මේ ගැන පාලකයන් වගකිවයුතු නැද්ද? මේ පාලකයන්ගේ දේශපාලන ඩීල්, අද රට වැටී තිබෙන තත්ත්වයට හේතු වෙනවා. 2015ට පෙර සංහිදියාව, යහපාලනය ගැන වචනයක් කතා නොකරපු දේශපාලනඥයන් අද සංහිදියාව යහපාලනය ගැන වැඩි වැඩියෙන් කතා කරනවා. ඒ 2020 රටේ පාලකයන් වෙන්න. මේ විහිළුව රටේ ජනතාව නිසියාකාරව තවම තේරුම් කරගෙන නැහැ. ජනතාව රැවටීමට මේ අය අද භාවිත කරන්නේ ජාතික ආරක්ෂාව කියන මන්තරයයි. 1948 සිට වසර 71ක් මේ රටේ ජනතාව මේ පාලකයන්ට රැවටිලා ඉදිරියටත් ඒ ආකාරයෙන්ම රැවටෙයි කියලා බියකුත් මගේ හිතේ තියනවා. රටේ වාමාංශික බලවේග, ප්‍රගතිශීලි බලවේග, ප්‍රජාතන්ත්‍රවාදී බලවේග තියනවා. මේ සීමිත ඉඩකඩ ඇතුලේ සමාජය මෙන්ම සිවිල් පුරවැසියන් බලගැන්වීමට, ඒකරාශී බලවේගයක් අද රටට අවශ්‍ය වෙලා තියනවා. ඒ තුළින් මේ ගඳ ගහන පාලකයන්, දේශපාලනඥයන් මේ සමාජයෙන් බැහැර කරන්න කටයුතු කිරීම අවශ්‍ය වෙනවා.

1948 සිටම මේ රට පාලනය කරන ලද්දේ කොම්ප්‍රදොරු රදලයන්, නැත්නම් ධනපතීන්. මේ වන විට එය පවුල් සංස්ථාවක්. නැත්නම් ගජ මිතුරු සමාගමක් ලෙසත් ක්‍රියාත්මක වෙනවා. ඇයි රටේ පාලනය මේ ආකාරයට ජරා ජීර්ණ වුණේ?

මෙය ඉන්දියාවේදී වෙනස් කරන්න ඉන්දියාවේ බහුතර ජනතාව තීරණය කළා. නැත්නම් මෝදි අගමැති වෙන්නේ නැහැ. මං හිතන්නේ එදා සිටම මේ රටේ ක්‍රියාත්මක වූ ආර්ථික ක්‍රමවේදය තුළ මෙවැනි පාලක පැලැන්තියක් බිහි කරන්න අවශ්‍ය වටපිටාව සැකසුනා එදා සිටම මේ රටේ ජනතාව පුරුදු කළේ පුද්ගලිකව තමන් ගැන පමණක් හිතන්න. ආත්මාර්ථකාමි වෙන්න ඒවායේ ප්‍රතිඵල සමස්ත ජනතාවම අඩුවැඩි වශයෙන් අද භුක්ති විඳිනවා. අද තියන නව ලිබරල්වාදි ආර්ථිකයෙන් පවා මේ දේ තමයි මිනිසුන්ට ලබා දෙන්නේ. ලාබය පමණක් උපරිම කිරීම විනා මිනිසුන්ට එහි තැනක් ලැබෙන්නේ නැහැ. ඒ වගේ රටක මේ වගේ පාලක පැලැන්තියක් දිගින් දිගටම පාලන බලය නමැති යෂ්ටිය හුවමාරු කර ගනිමින් සිටිනවා. මේක එකිනෙකා රකින දේශපාලනයක්.

වත්මන් පාලනය තුළින් රාජපක්ෂ පවුලේ අයට ලැබුණු නීතිමය සහනය, කල් දැමීම්, යට ගැසීම් පරීක්ෂණ වලට බාදා කිරීම්, මේ සියලු දේ ගැන බලන විට මේ දෙපිරිස අතර ඇති අනෝ‍යන්‍ය බැඳියාව, පෙනෙනවා. මේ දෙපිරිස ගැන රටේ මොලයක් තියන ජනතාවට තවදුරටත් විශ්වාසයක් තිබිය හැකිද? මෙතනින් මේ රට ගොඩ එන්න නම් මේ පවුල් සංස්ථාව, ගජ මිතුරු පාලනය, වෙනස් කරලා රට හදන පැහැදිලි වැඩ පිළිවෙලක් සහිත ක්‍රමයක් අප තෝරා ගත යුතුව තිබෙනවා.

Bopage text4නීතියට පටහැනිව රජය සමග ව්‍යාපාර කරන මහජන නියෝජිතයන් පිළිබද සමාජ කතිකාවක් තියනවා. නමුත් මෙවැනි අයට දඬුවම් දුන් අවස්ථාවක් අප දකින්නේ අල්ප වශයෙනි. 1977 පසු රජය සමග ව්‍යාපාර කරන ලද මන්ත්‍රීවරු දෙදෙනකුගේ, ඇල්බට් සිල්වා හා රාජිත සේනාරත්න යන අයගේ මන්ත්‍රි ධුර අධිකරණය විසින් අහිමි කරනවා. අද වෙන විට නැගෙනහිර හිටපු ආණ්ඩුකාරවරයා වන හිස්බුල්ලා මන්ත්‍රීවරයකු ලෙස සිටිමින් හීරා පදනමේ සභාපති ලෙස ඉදි කරන පෞද්ගලික විශ්වවිiාලය ගොඩනැගීම සඳහා රජය සමග ගිවිසුමකට පැමිණ ඇතිබව අනාවරණය වී තිබෙනවා. නීතිය මේ ආකාරයට අවභාවිතයට ගැනීමට මහජන නියෝජිතයන් පෙළඹෙන්නේ ඇයි? 

එයට ප්‍රධානම හේතුව වන්නේ බලය තිබෙන පාර්ශ්වය, නීතිය අවභාවිතා කරන පිරිස් ආරක්ෂා කරන්න බැඳී සිටීම බව අතීතයේ සිට මේ රටේ දේශපාලනය පිළිබඳ විමර්ශනය කරන විට පෙනී යනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 2015 පරාජය වුණාට පසුව රට හමුවේ පිළිගත් දෙයක් වන්නේ වැරදි කරපු මහජන නියෝජිතයන්ගේ ෆයිල් තමා ළඟ තිබූ නමුත් ඔවුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග නොගත් බවයි.

මහජන ඡන්දයෙන් ව්‍යවස්ථාදායකයට, මෙන්ම රටේ විධායකයට පත්වන අය රජය සමග ව්‍යාපාර ගනුදෙනු වල නියැලීම මුළුමනින්ම ප්‍රජාතන්ත්‍රවාදී ලෝකය ප්‍රතික්ෂේප කරනු ලබනවා. ලෝකයේ රටවල මේ ආකාරයට මහජන මුදල් දූෂණයට ලක් කිරීම් වලට රාජ්‍ය නායකයන් දඬුවම් ලබනවා අප දැක තිබෙනවා. අපේ රටේ මෙවැනි දූෂිත මහජන නියෝජිතයන්ට දඬුවම් දෙන අවස්ථා අප දැක තිබෙනවාද? වෙනත් රටවල මෙවැනි දූෂිතයන්ට දඬුවම් කරන්න ශක්තිමත් යාන්ත්‍රණයක් තියෙනවා. අපේ රටේ එවැනි යාන්ත්‍රණයක් ඇත්තේ නැහැ. එවැනි යාන්ත්‍රණයක් හදන්න ඉඩ දෙන්නේත් නැහැ. එවැනි මජර පිරිසක් තමයි මහජනතාව හැටියට අප වෙනුවෙන් තෝරා පත්කර ගෙන තියෙන්නේ. රටේ බලයට පත්වෙන මහජන නියෝජිතයන් දූෂිතයන් ද, මිනී මරුවන්ද, කියලා රටේ ජනතාව මීට වඩා සොයා බැලිය යුතු වෙනවා. තමන් කැමති පක්ෂය, තමන් කැමති නායකයා, දූෂිතයෙක් ද, මිනීමරුවෙක් ද කියලා සොයා බලා තම වටිනා කතිරය ලකුණු කරනවා නම්, මේ වගේ දූෂිතයන් රටේ මහජන නියෝජිතයන් වෙන්නේ නැහැ. මහජනාවගේ මුදල් අයථා ලෙස ගසාකන පිරිස්, සෑම සමාජයකම සිටිනවා. ඒ අය අප හඳුනාගෙන නීතිය, තරාතිරම නොබලා ක්‍රියාත්මක කරන යුගයක් රටට අවශ්‍යයි.

මහජන නියෝජිතයන්ගෙන් වත්කම් බැරකම් ප්‍රකාශයක් ගන්නවා කියන්නෙම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලනවා වගේ වැඩක්. අද වන විට පාර්ලිමේන්තුව 225 දෙනාගෙන් 10 ආසන්න පිරිසක් පමණයි මේ වත්කම් බැරකම් ප්‍රකාශන ලබා දී තිබෙන්නේ. මෙහෙම මේ රටට ඉදිරියට යන්න පුළුවන්ද? 

මේ රටේ තියෙන ප්‍රධාන පක්ෂවල මෙන්ම අනෙකුත් පක්ෂවල නායකයන් ඔවුන්ගේ නියෝජිතයන්ට මේ පිළිබඳ වගවීමක් තියෙනවා නම් මේ ප්‍රශ්නය මේ තරම් දුරදිග යන්නේ නැහැ. එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාටම පොදුවේ නීතියක් සකස් කරන්න ඕනේ තමා මහජන නියෝජිතයෙක් හැටියට තේරීපත් සැණින් වත්කම් බැරකම් ප්‍රකාශ පාර්ලිමේන්තුවට ලබා දෙන්න. එහෙම නැත්නම් රටේ සෑම දෙයකම ඉදිරියෙන්ම සිටින සංඝයා වහන්සේලා හා අන්‍ය පූජ්‍ය පක්ෂය තමන්ගෙන් ආශිර්වාදය ගන්න එන දේශපාලනඥයන්ට මේවා ගැන මතක් කර දෙන්න ඕනේ. වත්කම් බැරකම් විතරක් නොව තමන්ට අධිකරණයේ නඩු නියනවා නම් ඒවායෙන් නිදහස් වී දේශපාලන කටයුතු වලට එන්න බල කරන්න ඕනේ. හැබැයි මේ රටේ මහජනතාවට පෙනී යන දෙයක් වන්නේ මේ රටේ සුළුතරයක් Bopage text2සංඝයාවහන්සේලා මෙන්ම අන්‍ය පූජකයන් පවා මේ දේශපාලනඥයන්ගෙන් නඩත්තු වෙමින් දේශපාලනඥයන්ට උවමනා ආකාරයට කටයුතු කරන බවයි.

මේ රටේ අදවන විට සමහර පූජ්‍ය පක්ෂයේ අය හැසිරෙන විදිහ දුටුවිට තම පෞද්ගලික අභිලාෂ මුදුන්පත් කර ගැනීම වෙනුවෙන් මොන තරම් රඟපෑමක් කරනවාද කියලා අපට පෙනෙනවා. ප්‍රතිපත්තිගරුකව බෞද්ධ හෝ වෙනත් ආගමික මතයක් දරන කෙනෙකුට මේ දේශපාලනඥයන්ගේ විගඩම් වලට මේ විදිහට එකතු වෙන්න පුළුවන්ද?

තමන්ගේ ගිලිහුණු බලය නැවත ලබා ගන්න වෙර දරන චෞරයන්ට හා බලයේ සිටිමින් චෞර වැඩ කරන පාලකයින්ට ආශීර්වාද කරමින් තමන්ගේ අරමුණු ඉටු කරගන්නා අය මේ රටේ අනාගතය විනාශ කිරීමේ පාපයට එකතු වෙනවා. මං හිතන්නේ මේ සෑම ක්‍රියාවකම නිමාවක් තිබිය යුතුයි කියලා.

අද වන විට ශ්‍රී ලංකාව ආගමික රාජ්‍යක් බවට පත් වෙමින් තිබෙන බවක් හැගී යනවා. සමහර භික්ෂූන් තම පන්සල විවිධ පක්ෂවල පක්ෂ මූලස්ථානය බවය පත් කරමින් සිටිනවා. රට මොන දිශාවකට ද මේ රැගෙන යන්න හදන්නේ?

ශ්‍රී ලංකාව ක්‍රමානුකූලව ආගමික රාජ්‍යක් බවට පත්කර ගැනීමේ ක්‍රියාවලියක් ඇතැම් කපටි දේශපාලනඥයන්ගේ අභිරුචිය මත ක්‍රියත්මක වෙනවා. එහෙම වුණොත් ඒ දේශපාලනඥයින්ගේ අරමුණු වලට ලෙහෙසියෙන්ම යන්න පුළුවන් කියලා ඔවුන් හිතනවා. බැහැයි තවම ඒ තත්ත්වයට පත් වෙලා නැහැ. මේ රටේ බහුතර ජනතාව දේශපාලනයේදී පන්සල හෝ පල්ලිය හෝ වෙනත් ආගමික ස්ථානයක් හැසිරෙන ආකාරය ප්‍රතික්ෂේප කරනවා. කෙටියෙන් කියනවා නම් පන්සලේ හාමුදුරුවන්ට ඕනේ ආකාරයට තමන්ගේ දායකයන් දේශපාලනයේදි හසුරුවන්න ලැබෙන්නේ නැහැ. නමුත් ඒ සඳහා සියුම් උත්සාහයක් ගන්න බව පෙනෙනවා.

Bopage text3දැන් බලන්න රාජපක්ෂ පරම්පරාව මුළුමනින්ම තම දේශපාලන කටයුතු කරන්නේ පන්සල මූලික කරගෙනනේ. කවුරු කලත් මේ දේවල් වැරදියි.

2020 රටේ පාලනය ලබා ගන්න ගැලවුම්කරුවෝ, ජනකාන්ත නායකයන් අද පෙළ ගැසෙනවා. මේ අයට රටට අනාගත දැක්මක් සහිත වැඩ පිළිවෙළක් තියනවාද?

2020 පාලන බලය ඉල්ලන ගැලවුම්කරුවන්ගෙන්වත් ජනකාන්ත නායකයින්ගෙන් වත් මේ රටට සෙතක් වෙන්නේ නැහැ. මේ ගැලවුම්කරුවන්ට රටේ අනාගත දැක්මක් සහිත වැඩ පිළිවෙලක් ඇත්තේ නැහැ. ජනාධිපති මැතිවරණයට සමාගාමීව මොනයම් හෝ ප්‍රකාශයක් එළිදක්වයි. හැබැයි ඒ ප්‍රකාශනයත් ක්‍රියාත්මක කරන්න තරම්වත් ඒ නායකයන් ශක්තිමත් නැහැ. උදාහරණයක් කියනවා නම්, 1994 සිට 2015 දක්වා රටේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා කියලා තම ප්‍රතිපත්ති ප්‍රකාශනවල සඳහන් කළ ජනාධිපතිවරු ඒ දේ අද වෙනකල් සිදු කරලා තියනවාද? ඒක මදිද මේ රැවටිලිකාර පාලකයන් ගැන තේරුම් ගන්න.

සංවාදය- එන්. ලංකා මාගම්මන

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found