Language Switcher

V2025

ඔලිම්පික් ක්‍රීඩක තහංචි කණපිට පෙරළෙන අධිකරණ තීන්දුවක්

රුසියාවේ ඔලිම්පික් ක්‍රීඩකයන් විසිඅට දෙනකුට එරෙහිව පනවා තිබුණ ජීවිතාන්තය සඳහා බල පැවැත්වුන ක්‍රීඩා තහංචි අහෝසි කෙරෙන අධිකරණ තීන්දුවක් ප්‍රකාශයට පත්කොට ඇත.

එම ඓතිහාසික තීන්දුව දී තිබෙන්නේ ක්‍රීඩාව තුළ මතු වෙන ආරාවුල් නිරාකරණය කිරීම භාර අධිකරණය (CAS) විසිනි.

එකී තහංචිය බල පැවැත්වුන ක්‍රීඩකයන්ට එරෙහිව දඬුවම් කිරීම සඳහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) විසින් ඉදිරිපත් කරන ලද සාක්ෂි ප්‍රමාණවත් නොවන බව එම අධිකරණයේ නිගමනය වී ඇත.

පැමිණිලි විසි අටක් සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලැබ ඇති සාක්ෂි නොසෑහෙන බව අධිකරණයේ තීන්දුව විය.

එහෙත් ක්‍රීඩකයන් එකොළොස් දෙනකුට එරෙහිව පනවා තිබුණ ක්‍රීඩා තහංචි අර්ධ වශයෙන් අනුමත කළ අධිකරණය "තහනම් උත්තේජක පාවිච්චිය සම්බන්ධයෙන් පනවා ඇති තහංචි ඔවුන් විසින් උල්ලංඝනය කරනු ලැබ ඇති බව කරුණු සහිතව තහවුරු වී ඇති" බව කියා සිටියේය.

මේ අධිකරණ තීන්දුවත් සමඟ 2014 'සෝචි' ඔලිම්පික් තරඟාවලියේ දී ප්‍රකාශිත ප්‍රතිඵල යළිත් ස්ථානගත කිරීමට සිදුවනු ඇත.

 99844503 337fadef c0dd 4494 9e54 d3581312c5ac
2014 සෝචි ඔලිම්පික් හිම ක්‍රීඩිකාවක්

සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කරුණු පැහැදිලි කළ ක්‍රීඩා අධිකරණය, තමන්ට පැවරුණ කාර්යය වූයේ එක් එක් ක්‍රීඩකයා සම්බන්ධයෙන් ඔවුන්ට එහි චෝදනා විභාග කිරීම මිස, රුසියාවේ ක්‍රීඩාව තුළ සංවිධානාත්මක මට්ටමින් තහනම් උත්තේජක භාවිතය සිදු කර ඇද්ද? නැද්ද? යන්න විභාග කිරීම නොවන බව කියා සිටියේය.

කෙසේවුවද, අධිකරණ තීන්දුව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) දුෂ්කර තත්වයකට පත් කරනු ඇතැයි වාර්තාකරුවෝ පවසති.

අධිකරණ තීන්දුවෙන් අනතුරුව ප්‍රකාශයක් කරන රුසියාව මේ මාසයේ දකුණු කොරියාවේ පැවැත්වෙන ඔලිම්පික් හිම ක්‍රීඩා උළෙලට සහභාගී වීමට තම ක්‍රීඩකයන්ට අවස්ථාව සලසන මෙන් ඉල්ලීමක් කළේය.

අදාළ නඩු තීන්දුව සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) එකී නඩු තීන්දුව ක්‍රීඩාව තුළ තහනම් උත්තේජක භාවිතයට එරෙහිව අනාගතයේ ගෙන යන සටනට හානිකර බලපෑමක් ඇති කරනු ඇතැයි කියා සිටියේය.

"මේ නඩු තීන්දුවට පාදක වූ කරුණු අපි ඉතා ප්‍රවේසමෙන් විශ්ලේෂණය කරනවා"

ඒ අනුව එම අධිකරණ තීන්දුවට එරෙහිව 'ස්විස්' ෆෙඩරල් අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) කියා සිටියි.

 99844501 4baecb3f caf2 44a5 99b9 3dd42addc582
2018 ඔලිම්පික් හිම ක්‍රීඩා තවත් දින කීපයකින් දකුණු කොරියාවේ දී ආරම්භ වෙයි

එසේම ක්‍රීඩා තහංචි බල පැවැත්වුන රුසියාවේ ක්‍රීඩකයන් විසිඅට දෙනාගේ කණ්ඩායමේ කිසිවකුට දකුණු කොරියාවේ 'ප්යෝන්ග් චෑන්' (Pyeongchang) නගරයේ පැවැත්වෙන 2018 ඔලිම්පික් හිම ක්‍රීඩා තරඟ සඳහා සහභාගී වීමට අවසරදීමක් ඉහත කී අධිකරණ (CAS) තීන්දුව මගින් අදහස් නොකෙරෙන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) පෙන්වා දෙයි.

මෙවර ඔලිම්පික් හිම ක්‍රීඩා තරඟ ආරම්භ වීමට දවස් අටක් තිබියදී ප්‍රකාශිත නඩු තීන්දුව "එක් පාර්ශ්වයකට සතුටක් මෙන්ම තවත් පාර්ශ්වයක බලාපොරොත්තු සුංකිරීමක්" වන බවත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) පවසයි.