Language Switcher

V2025

මීටර් 20ක් පොළව යට සිට කොළඹ හදන හැටි පාඨලී කියයි !

කොළඹ පොළව යට ඉඳන් ඉහළට ගොඩනගන විධිමත් වැඩපිළිවෙලක් අපි කි‍්‍රයාත්මක කළා. අපි කිසිම අවස්ථාවක බලහත්කාරය පාවිච්චි කර නැහැ. එක නිවසක් ඔබේ කැමැත්තෙන් තොරව අපි කඩා ඉවත් කර නැහැ. කිසි කෙනෙක් පෙළපාලි ගියේ නැහැ. කිසි කෙනෙක් සුදුවෑන් වලින් පැහැරගෙන ගියේ නැහැ. කිසි කෙනෙකුට පාරට ඇවිත් ටයර් පුච්චන අවස්ථාව අපි ලබාදුන්නේ නැහැ. මේ වසර 04 ඇතුළත නිවාස 15,000 ක අපේ ජනතාව ඒ අයගේ අත්වලින්ම පැරණි නිවාස කඩා අලූත් නිවාසවලට ගියා කියන එක අපි බොහොම ආඩම්බරයෙන් ප‍්‍රකාශ කරනවා යැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක  පවසයි. 

අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේ රුපියල් මිලියන15,924ක ආයෝජනයෙන් ඉදිකරන ලද නිවාස ඒකක 3,300කින් සමන්විත ‘මිහිජය සෙවණ’,හෙළමුතු සෙවණ’,‘රන්මිතු සෙවණ’මහල් නිවාස සංකීරණ ත‍්‍රිත්වය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. 

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගනයේදී මෙම උත්සවය පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, 

‘සංයුක්ත නිකායේ කින්දද කියන සූත‍්‍රයේදී බුදුරාජාණන් වහන්සේගේන් ප‍්‍රශ්න කිහිපයක් විමසනවා. ඒ ප‍්‍රශ්න තමයි ශක්තිය ලැබෙන්නේ කුමක් දීමෙන්ද? ශරීරයේ වර්ණය ඇතිවෙන්නේ කුමක් ප‍්‍රදානය කිරීමෙන්ද? ශරීරයට සැප ලැබෙන්නේ කුමක් ලබාදීමෙන්ද? ඒ වගේම පෙනීම ලැබෙන්නේ කුමක් ලබාදීමෙන්ද? සියළු දේ ලැබන්නේ කුමක් දානය දීමෙන්ද කියලා ප‍්‍රශ්න කරනවා. බුදු රජාණන් වහන්සේගේ පිළිතුර, ශක්තිය ලැබෙන්නේ ආහාර දීමෙන්. ආහාර දානය කිරීමෙන් ශක්තිය ලැබෙනවා. ශරීර වර්ණය ලැබෙන්න නම් වස්ත‍්‍ර, ඇඳුම් පැළඳුම් දානය දිය යුතුයි. සැප ලැබෙන්න නම් ගමන් බිමන් යන්න හොඳ යාන වාහන ලබාදිය යුතුයි. ඒ වගේම පෙනුම ලැබෙන්න නම් ආලෝකය ලබාදෙන්න  ඕනේ, පහන් එළිය ලබාදිය යුතුයි. සියළු දේ ලැබෙන්න නම් නිවාස, වාසස්ථාන ලබාදිය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ කියන්නේ සියළුම පිංකම්වලට වඩා ඉහළම පිංකම තමයි නිවාස ලාභය ලබාදීම. අද එවැනි නිවාස ලාභයක් නැතිව සිටි තමන්ගේ ලිපිනය කියාගන්නට බැරිව හිටපු 3,300 ක් ඔබ සියළු දෙනාටම ඒ නිවාස ලාභය ලැබෙන දිනය බවට පත්වීම අපි ඉතාම සතුටට පත් වෙනවා.

නිරන්තරයෙන්ම මෙතන අවධානයට යොමු උනා. කොළඹ නගරයේ අක්කර 900 ක වතු කියලා හඳුන්වන වතු 1,440 ක පවුල් 50,000 ක් තමන්ගේ ලිපිනය කියා ගන්න බැරිව ඉතාම දුක්ඛිත ජීවිත ගත කරන බව රහසක් නෙමෙයි. වැසිකිලි කැසිකිලි පහසුකමක් නැතිව උදයට ෂොපින් බෑග් එකට වැසිකිලි ගිහින් එළියට වීසි කරන  නගරයක් බවට මේ නගරය පත්වෙලා තිබිච්ච බව අපි සියළු දෙනාම දන්න දෙයක්. ඒ වගේම මේ නගරය දියුණු කරන්න විවිධ ආණ්ඩුවලින් විවිධ මෙහෙයුම් කරපු බවත් අපි පිළිගත යුතුයි. නමුත් මේ රටට නිදහස ලැබුණායින් පසුව මුලින්ම 1958 නිවාස යෝජනා ක‍්‍රම ඇතිවුණා මේ අවවරප‍්‍රසාධිත පවුල්වලට. ඒ 1958 සිට වසර 60ක් ඇතුළත, සේනානායක යුග, බණ්ඩාරනායක යුග, ජයවර්ධන යුග, පේ‍්‍රමදාස යුග, කුමාරතුංග යුග, රාජපක්ෂ යුග මේ සෑම යුගයකදීම ඒ හිටපු ජනාධිපතිවරුන්, ඇමතිවරුන් මෙම ගැටළුව විසඳීම සඳහා උත්සාහ කළා. ඒ අනුව වසර 60ටම ලබාදුන්නේ නිවාස 12,000 යි. මේ වසර 4 ක කෙටි කාලය ඇතුළත අපි නිවාස 12,000 ක අයිතිය ලබා දී තිබෙනවා පමණක් නෙමෙයි 2020 වන විට නිවාස 20,000 ක අයිතිය ඔබට ලබාදෙන්න කටයුතු කරනවා. අපි කොළඹ පිටින් ලස්සන කරන්නේ නැහැ.  අපි කොළඹ පටන් ගන්නේ මීටර් 20 ක් යට ඉඳන් උඩට මීටර් සිය ගණනක් ගොඩනගන වැඩපිළිවෙලක්. වසර 150 ක් පරණ කොළඹට පානීය ජලය ගෙන එන නල පද්ධතිය දැන් පිළිසකර වෙනවා. අවුරුදු 150 ක් පරණ මලාපවහන පද්ධතිය දැන් පිළිසකර වෙනවා. ඒ වගේම කොළඹ නගරයේ ගංවතුර උවදුර පාලනය කරන උමං මාර්ග,පොම්පාගාර ලබන වසර වෙනකොට සූදානම් වෙනවා කොළඹ ගංවතුරෙන් තොර නගරයක් බවට පරිවර්ථනය කරන්න. ඒ වගේම මේ දුගී ජනතාවගේ නිවාස ප‍්‍රශ්නය විසඳීම සඳහා 2024වන විට මේ පැල්පත් නැති දකුණු ආසියාවේ එකම නගරය බවට අපි කොළඹ නගරය පත්කරනවා කියන එක මේ අවස්ථාවේදී සඳහන් කළ යුතුයි. 

ඒ විතරක් නෙමෙයි කොළඹ අවට අනෙක් ප‍්‍රදේශවලටත් රත්මලානටත් අඩු ආදායම්ලාභී අපේ ජනතාව සඳහා නිවාස යෝජනා ක‍්‍රමයක් ගෙන එනවා. ඒ වගේම කෝට්ටෙට,පෑලියගොඩට, මහරගම, හෝමාගම යන ප‍්‍රදේශවලටත් අපි අඩු ආදායම්ලාභී නිවාස යෝජනා ක‍්‍රම මේ වසරේදී ගෙන එනවා. එමගින් මේ කොළඹ නගරයේ දුගී ජනතාවට, සාමාන්‍ය ජනතාවට ජීවත්විය හැකි තට්ටු නිවාස සංකීර්ණයක් ගෙන එන්න අපි වැඩපිළිවෙල යොදා තිබෙනවා යැයි පැවසීය.