Language Switcher

V2025

කරූ නොඑයි : සටන අගමැති රනිල් සහ සජිත් අතර !

කතානායක කරු ජයසුරිය ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව එක්සත් ජාතික පෙරමුණේ නායකයින් වෙත දැනුම් දී ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (20) පස්වරුවේ එජාපෙ නායකයින් අරලියගහ මන්දිරයේ දී රැස්වූ අවස්ථාවේ දී කතානායකවරයාගේ එම ස්ථාවරය දැනුම් දී ඇත්තේ ඔහුගේ බැණා කෙනෙකු වන නවින් දිසානායක අමාත්‍යවරයා ය.

කතානායකවරයාගේ එම තීරණයට මුලික වශයෙන් බලපා ඇත්තේ, ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අගමැතිවරයා විසින් ගෙන ආ යෝජනාවට ආණ්ඩු පක්ෂයේ ඇති බහුතරයක් අමාත්‍යවරුන් විරෝධය පළකිරීමයි.

අනතුරුව ඊයේ රාත්‍රීයේ අමාත්‍ය පාඨලී චම්පික හා සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ප්‍රධානියකු වන රවී ජයවර්ධන සමග පැය කිහිපයක් පුරා පැවති සාකච්ජාවෙන් අනතුරුව කතානායකවරයා ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් නොවීමට තීරණය කර තිබිණ.

මේ අතර කරු ජයසූරියගේ මාධ්‍ය ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, කථානායක කරූ ජයසූරිය විසින් ජනපති අපේක්ෂකත්වය ලබා දෙන ලෙස ලිඛිත ඉල්ලීමක් කර ඇති බවට අද දින ප්‍රධාන ජාතික පුවත්පතක පළව ඇති පුවත නිවැරදි නොවන බවයි.

ජනපතිවරණයට ඉදිරිපත් වන ලෙස තමන්ට පාර්ශව ගණනාවකින් ලැබුණු ඉල්ලීම් පිළිබඳව ප්‍රතිචාර දක්වමින් කරු ජයසූරිය විසින් පසුගිය (සැප් 17)  දින ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරන ලද බවත් එමඟින් ප්‍රතිපත්තිමය කරුණු කිහිපයක් දක්වා ඇති නමුත් එය ජනපති අපේක්ෂකත්වය ඉල්ලුම් කර නිකුත් කළ නිවේදනයක් නොවන බව ද එම නිවේදනයේ සඳහන්ය.

''මීළඟ පරම්පරාව නියෝජනය කරන්නේ සජිත්''

ඒ අතර 'ඩේලි මිරර්' පුවත්පත සමග පවත්වා ඇති සංවාදයක දී කතානායක කරු ජයසුරිය පවසා ඇත්තේ, මීළඟ පරම්පරාව නියෝජනය කරන සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා, ඔහුට පවරණ සෑම වගකීමක්ම ඉහළින්ම ඉ‍ටු කරන අයකු බවයි.

එජාප ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බව ප්‍රකාශ කර ඇති සජිත් ප්‍රේමදාස ඇමතිවරයාගේ හැකියාව පරිණත බව අගය කර කරමින් කතානායකවරයා එබව සඳහන් කර ඇත.

සටන අගමැති රනිල් සහ සජිත් අතර !

ඒ අනූව එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන්නේ ජනාධිපති අපේක්ෂකත්වය සදහා පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වීමට නියමිත බවත් ඒ වෙනුවෙන් විරෝධතා හෝ බෙදීමක් ඉල්ලා සිටියහොත් මේ වන විට ඉදිරිපත්වී සිටින සජිත් ප්‍රේමදාස සහ අග්‍රාමාත්‍යවරයා අතර ජන්ද විමසීමක් සිදුවනු ඇති බවය.