නෙළුම් කුලුණ ඉදිකිරීම සඳහා අත්තිකාරම් වශයෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම ඇමෙරිකානු ඩොලර් 15,644,980ක් (රුපියල් 2,832,567,781.65) ගෙවූ බවත් එම සම්පූර්ණ මුදල කුලුන ඉදිකිරීමේ කටයුත්ත සඳහා පමණක් යොදාගත් බවත් ඒරෝස්පේස් ලෝන්ග් මාච් ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් සමාගම (ඇලිට්) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
චීනයේ එක්ස්පෝට්-ඉම්පෝට් බැංකුව හරහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම 2012 වසරේ ඔක්තෝබර් 9 වැනිදා චයිනා නැෂනල් ඉලෙක්ට්‍රොනික්ස් ඉම්පෝටර්ස් සහ එක්පෝටර්ස් කෝපරේෂන් (සී.ඊ.අයි.ඊ.සී) සමාගමේ ගිණුමට අදාළ අත්තිකාරම් මුදල ගෙවා ඇතැයි ද ඇලිට් සමාගම නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
නෙළුම් කුලුන ඉදි කිරීම සඳහා 2010 වසරේ අගෝස්තු මාසයේදී සී.ඊ.අයි.ඊ.සී සමාගම සමඟ එක්ව එක් සමාගමක් ස්ථාපිත කළ බව ද ඇලිට් සමාගම සඳහන් කරයි. නෙළුම් කුලුන ඉදිකිරීමේ ව්‍යාපෘතියට අත්සන් තැබුවේ 2012 වසරේදී බවත් 2015 වසරේදී කුලුන ඉදිකිරීමේ ඉදිරි කටයුතුවල පූර්ණ වගකීම සී.ඊ.අයි.ඊ.සී ලබාදුන් බවත් ඇලිට් සමාගම සිය නිවේදනයේ සඳහන් කර ඇත. එය ජාත්‍යන්තර ව්‍යාපාරික පිළිවෙත්වලට අනුකූල බව ද ඇලිට් සමාගම සිය නිවේදනයෙන් පෙන්වා දී ඇත.
නෙළුම් කුලුන විවෘත කිරීම ව්‍යාපෘතියේ සුවිශේෂී සංධිස්ථානයක් බවත් එපමණක් නොව එය ශ්‍රී ලංකාව සහ චීනය අතර තිබෙන මිත්‍රශීලි සහයෝගීතාවයේ සංකේතයක් බවත් ඇලිට් සමාගම සඳහන් කර ඇත. රාජ්‍ය සමාගමක් වන අප සමාගම රටවල් 40කට වැඩි සංඛ්‍යාවක ක්‍රියාත්මක වන බවත් පාරිභෝගිකයන්ගේ ඉහළම විශ්වාසය දිනාගෙන ඇති බවත් ඇලිට් සමාගම තවදුරටත් සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාව සහ චීනය අතර තිබෙන මිත්‍ර සබඳතා පෝෂණය කරන අතර ඉදිරියේදීද ශ්‍රී ලංකාවේ ආර්ථික සහ සංවර්ධන කටයුතුවලට සම්බන්ධ වන බව ද ඇලිට් සමාගම වැඩිදුරටත් සිය නිවේදනයේ සඳහන් කර ඇත.
නෙළුම් කුලුන ඉදි කිරීම සඳහා ත්‍රෛපාර්ශවීය ගිවිසුමකට අත්සන් තැබූ බවත් ඉන් එක් සමාගමක් පිළිබඳ කිසිදු තොරතුරක් නැති බවත් කුලුන ඉදි කිරීම සඳහා අත්තිකාරම් වශයෙන් ගෙවූ රුපියල් කෝටි 200ක් අතුරුදන් වී ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් දා චෝදනා කළේය. නෙළුම් කුලුන ඉදි කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු ද කරුණු පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත් කළ අතර ඇලිට් සමාගම වෙනත් ස්ථානයක තිබෙන බව එම නිවේදනයේ දැක්විණි. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරියේදී නිකුත් කරන බවද ඔහු සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

