Language Switcher

V2025

නෙලුම් කුලුණ කතාවට කුලප්පු වූ මහින්ද : මිග් ගනුදෙනුවට නිහඬ වූ හේතුව මෙන්න !

කොළඹ නෙළුම් කුළුණ ඉඳි කිරීමේ ව්‍යාපෘතියේදී චීන සමාගමක් හරහා මහ පරිමාණයේ මුල්‍ය වංචාවක් සිදුකර ඇතයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එම කුලුන විවෘත කිරීමේ උත්සවයේදී කළ ප්‍රකාශය අසත්‍ය බවට ප්‍රතිචාර දක්වමින් වහාම මාධ්‍ය නිවේදනයක් නිකුත්කළ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ගෝඨාබය රාජපක්ෂගේ 'මිග් ගණුදෙනුව' සම්බන්ධයෙන් එල්ලවන විවේචන වලට ප්‍රතිචාර දැක්වීමට උනන්දුවක් නැත්තේ ඇයිදැයි 'කලම්බු ටෙලිග්‍රාෆ්' වෙබ් අඩවියේ කර්තෘ උවිඳු කුරුකුලසූරිය විමසා සිටියි.

සිය twitter පිටුවේ සටහනක් තබමින් එම විමසීම කර තිබෙන, 'කලම්බු ටෙලිග්‍රාෆ්' කර්තෘවරයා, එහි වැඩි දුරටත් මෙසේ සඳහන් කර ඇත.

"අපි ඔක්කොම දැන් දන්නවා,  සිරිසේන ලෝටස් ටවර් එකේ බිලියන දෙකක්
ලෝකෙවත් නැති කොම්පැනියකට ගෙව්වා කියලා බොරු කීව කියලා.
මහින්ද රාජපක්ෂ දඩබඩ ගාලා නිවේදනයකුත් නිකුත් කරානේ ඒ ගැන.
ඇයි ඒ උනන්දුව නැත්තේ මිග් ගණුදෙනුව ගැන.

ලෝකේ කොහෙවත් නැති බෙලිමිස්සා කියන
සමාගමට තමා ඒ ගෙවීම ගෝඨාභය කරේ.
ඇයි දැන් ගෝඨා හරි මහින්ද හරි ඒ ගැන
නිවේදනයක් නිකුත් නොකරන්නේ?
ලංකාවේ ආණ්ඩුවෙන් බෙලිමිස්සා එකට ගෙව්ව ගානයි,
යුක්‍රේන ආණ්ඩුවේ සමාගම වෙත යුක්‍රිමැෂ් එකට
ඇත්තටම ලැබුණ මුදලයි අතර වෙනස ඩොලර් මිලියන 7යි."

Uvindu Twiter

මිග් යානා ගනුදෙනුවේ සුලමුල මෙන්න

Sep 23 text 12000 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව බෝම්බ ප්‍රහාරක මිග්-27 වර්ගයේ යානා 6 ක් මිල දී ගැනීම සඳහා වන ටෙන්ඩරයක්, සිංගප්පූරුවේ පිහිටි අවි ආයුධ වෙළඳ ව්‍යාපාරයක් වන ‘ඞී එස් එලයන්ස්’ නැමැති සමාගමට ප්‍රදානය කෙළේය.

මේ සමාගම නියෝජනය කෙළේ එහි අධ්‍යක්ෂවරයෙකු වන ලී තියාන් සූ හෙවත් ටී. එස්. ලී නැමැත්තෙකි. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ මේ කියන ‘ඞී එස් එලයන්ස්’ සමාගම අතර ඇති කර ගත් ගිවිසුම ප්‍රකාරව, යුක්රේනියානු රාජ්‍යයට අයත් අවි ආයුධ අපනයන සමාගමක් වන ‘යුක්රින්මාෂ්’ ආයතනයෙන් ‘ඞී එස් එලයන්ස්’ සමාගම මේ ගුවන් යානා මිල දී ගෙන එම සමාගම මගින් ඒවා ශ්‍රී ලංකා යුද හමුදාවට විකුණනු ලැබේ. ඒ, එක ගුවන් යානයක් ඩොලර් මිලියන 1.2 ක් වන මිලකට ය.

මේ ගුවන් යානාවලින් භාගයක ඉරණම යහපත් නොවුණි. ඉන් එකක්, මිල දී ගෙන මාස කිහිපයක් ඇතුළත, යුක්රේනියානු ජාතික ගුවන් නියමුවාගේ ජීවිතයත් විනාශ කරමින් කටුනායක ගුවන් තොටුපොළ අසලදී බිමට කඩා වැටුණි. දෙවැනි ගුවන් යානයකුත් වෙනත් ආපදාවකට ලක්වූ අතර තවත් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපොළට එල්.ටී.ටී.ඊ. සංවිධානය එල්ල කළ ප්‍රහාරයේදී විනාශයට පත්විය.
Udayanga gotabaya Migගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් ඩොනල්ඞ් පෙරේරා 2006 ජනවාරියේ දී වාර්තාවක් ඉදිරිපත් කරමින්, ශ්‍රී ලංකා ගුවන් හමුදාව මේ කියන මිග්-27 වර්ගයේ ප්‍රහාරක යානා මිලදී ගැනීම අතහැර දැමිය යුතු බවත්, ලංකාවේ ගුවන් හමුදාවට අයත් යානා සංචිතය නවීකරණය කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඇතුළු වෙනත් රටවල්වලින් විකල්ප යානා සොයා බැලිය යුතු බවත් පෙන්වා දී තිබුණි.

කෙසේ වෙතත්, ඊළඟ මාසයේ දී ගුවන් හමුදාපතිවරයාගේ ඒ අදහස එකහෙලා කණපිට හැරුණි. ඒ, ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් කැඳවන ලද හදිසි රැස්වීමකින් පසුව ය. 

මේ රැස්වීම කැඳවන ලද්දේ 2006 පෙබරවාරි 6 වැනි දා ය. ස්ථානය, ආරක්ෂක අමාත්‍යාංශයයි. එම රැස්වීමට ගෝඨාභයගේ මස්සිනා කෙනෙකු වන උදයංග වීරතුංගත්, ඔහුගේ ව්‍යාපාරික සගයෙකු වන යුක්රේනියානු ජාතික ඩිමිට්‍රෝ පෙරෙගුඩෝව් යන අයත් සහභාගී වුහ. එකී රැස්වීමේ නිමිත්ත වුණේ, මේ කියන දෙන්නා විසින් මිග්-27 යානා කිහිපයක් ශ්‍රී  ලංකා ගුවන් හමුදාවට විකිණීම පිළිබඳ සාකචඡාවකි.

ගුවන් හමුදාපතිවරයා ඔවුන්ගේ කතාවට සාවධානව සවන්දුන්නේය. එහෙත් ඊට කලින් ‘ඞී එස් එලයන්ස්’ සමාගම විසින් සපයන ලද මෙවැනි ගුවන් යානා පිළිබඳව ඇති අප්‍රසන්න අත්දැකීම් නිසා ඒ ගැන තමන් තුළ ප්‍රසාදයක් නැති බව ඔහු කීය.

එහිදී, ‘ඞී එස් එලයන්ස්’ සමාගම මේ ගනුදෙනුවේ කොටස්කාරයෙකු නොවන බව උදයංග වීරතුංග කියා සිටි අතර ගුවන් හමුදාපතිවරයා තමන්ගේ කලින් අදහස වෙනස් කරගෙන, පෙරෙගුඩෝව්ගේ සහ උදයංග වීරතුංගගේ යෝජනාව පිළිගන්නා තැනකට ගියේය.

මේ ගනුදෙනුකරුවන් දෙන්නාගේ යෝජනාව ඊට පසුව දා ගුවන් හමුදාපතිවරයා තමන්ගේ නිලධාරීන්ට ඉදිරිපත් කළ අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් පැනනගින පරිපාටිමය ගැටළු ගණනාවක් එම නිලධාරීන් විසින් පෙන්වා දෙනු ලැබුණි.

Sep 23 text 2මේ යෝජනාව, ශ්‍රී ලංකා රජය විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාරයක් වශයෙන් ඉදිරිපත් කරන ලද්දක් නොවන නිසා, නියමිත රාජ්‍ය ප්‍රසම්පාදන ප්‍රමිතීන්ට අනුගත ටෙන්ඩර් පරිපාටියකින් තොරව එය භාර ගැනීමේ ප්‍රශ්නයක් ඇති බව ඔවුන්ගේ අදහස විය.

කෙසේ වෙතත්, ඒ වන විට දැඩි බලපෑමකට යටවෙමින් සිටි ගුවන් හමුදාපතිවරයා, සිය නිලධාරීන් මතු කළ ප්‍රශ්නයට පිළියමක් වශයෙන් ගත් ක්‍රියා මාර්ගය හරි අපූරු ය. ඔහු 2006 පෙබරවාරි 7 වැනි දාතමින් පෙරෙගුඩෝව්ට ලිපියක් ලියමින්, ඊට කලින් දා පෙරෙගුඩෝව් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව, ලංකාවේ ගුවන් හමුදාවේ යෝජනාවක් වශයෙන් පෙරලා ඔහුටම ඉදිරිපත් කෙළේය.

ඊට පසුව අවශ්‍ය ‘ටෙන්ඩර් පරිපාටිය’ ක්‍රියාත්මක විය. පෙරෙගුඩෝව් විසින් ඉදිරිපත් කරන ලද මිග් යානා යෝජනාව ගැන අගැයීමක් කිරීම සඳහා කමිටුවක් පත්කරන ලදි. ඒ සඳහා තරගයට, එනම් මේ යානා සැපයිය හැකි වෙනත් සැපයුම්කරුවෙකු ගැන සෙවීමක් මෙහිදී කෙළේ නැත. ගුවන් හමුදාව අනුගමනය කෙළේ, නීතියෙන් අවසරය ලැබෙන, කඩිනම් ප්‍රසම්පාදන ක්‍රියා පරිපාටියයි.

ඊට අනුව, අදාළ ගනුදෙනුව කෙරෙන්නේ ආණ්ඩු දෙකක් අතර නම්, එම ගනුදෙනුව සම්බන්ධයෙන් තරගකරුවන් කැඳවීමක් අවශ්‍ය නොකෙරේ. පෙරෙගුඩෝව් ඉදිරිපත් කළ ගනුදෙනුව හඳුන්වා තිබුණේ, කෙලින්ම යුක්රේනියානු රජයට අයත් ‘යුක්රින්මෑෂ්’ නැමැති ආයතනයෙන් ඉදිරිපත් වන යෝජනාවක් වශයෙනි.

අන්තිමේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවත්, ‘යුක්රින්මෑෂ්’ ආයතනයත් අතර 2006 ජුනි මාසයේ අත්සන් කරන ලද ගිවිසුම ඇත්තෙන්ම ආණ්ඩු දෙකක් අතර ඇති කර ගත් ගිවිසුමක් නොවේ. ඒ ගිවිසුම අනුව ශ්‍රී ලංකාව විසින් සියලූ ගෙවීම් කිරීමට තිබුණේ අභිරහස් තුන්වැනි පාර්ශ්වයකට ය. එය, ‘බෙලිමිස්ස හෝල්ඩින්ස් සමාගම’ වශයෙන් හඳුන්වා තිබුණි.

එහි ලිපිනය සටහන් වුණේ, ලන්ඩන් නුවර ස්ථානයකි. ෆැක්ස් අංකයක් ද සඳහන්ව තිබුණි. ලංකාව විසින් ගෙවීමට නියමිත මුදල ඩොලර් මිලියන 15 කට ආසන්න විය.

චන්ද්‍රිකාගේ ආණ්ඩුව ගෙවා තිබූ මිල මෙන් දෙගුණයක් !

රාජපක්ෂ ආණ්ඩුව එක් යානයක් ඩොලර් මිලියන 2.4 බැගින් වන මිලකට, ‘බෙලිමිස්ස හෝල්ඩින්ස්’ සමාගමෙන් මිග් යානා මිල දී ගෙන ඇති බව 2006 දෙසැම්බර් මාසයේදී ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පත හෙළිදරව්වක් කෙළේය. මෙය, මේ වර්ගයේම යානා සඳහා ඊට අවුරුදු 6 කට කලින් චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ආණ්ඩුව ගෙවා තිබූ මිල මෙන් දෙගුණයකි.

2007 ජුලි මාසයේදී ලසන්ත වික්‍රමතුංග ‘ද සන්ඬේ ලීඩර්’ පුවත්පත මගින් මේ ගනුදෙනුව තවදුරටත් හෙලිදරව් කෙළේය. එංගලන්තයේ ලියාපදිංචි කොට ඇති ‘බෙලිමිස්ස හෝල්ඩින්ස්’ නමින් සමාගමක් නොමැති බවත්, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමග ඇති කර ගත් ගිවිසුමේ සඳහන් ලිපිනය සහ ෆැක්ස් අංකය, භාණ්ඩ ප්‍රවාහනය කෙරෙන වෙනත් සමාගමක එකක් බවත් ඒ මගින් හෙලිදරව් කරන ලදි.

ලසන්ත වික්‍රමතුංගගේ මේ නිරාවරණයෙන් පසු ආරක්ෂක අමාත්‍යාංශයත්, විශේෂයෙන් එහි ලේකම් ගෝඨාභය රාජපක්ෂත්, මිග් ගනුදෙනුවේ සුජාත භාවය වෙනුවෙන් කරුණු කීමට ඉදිරිපත් විය. තමන් මිල දී ගත් ගුවන් යානා, 2000 චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ පාලන කාලයේ මිල දී ගත් ගුවන් යානාවලට වඩා වැඩි ආයු කාලයක් ඇති ඒවා බව එහිදී ඔවුහූ කියා සිටියහ.

එසේම, මේ ගනුදෙනුව සඳහා ආණ්ඩු දෙකක් හැරුණු කොට තුන්වැනි පාර්ශ්වයක් නොසිටි බවත් කියා සිටියහ. තව ද, මේ ගනුදෙනුව ගැන තමා කිසිවක් නොදන්නා බවත්, තමාගේ කිසි සම්බන්ධයක් ඊට නැති බවත් ගොඨාභය රාජපක්ෂ තවදුරටත් කියා සිටියේය.

Lasantha Murder

ඉන් පසු 2007 සැප්තැම්බර් මාසයේදි ලසන්ත වික්‍රමතුංග ‘ද සන්ඬේ ලීඩර්’ පුවත්පත හරහා නැවතත් සටන පටන් ගත්තේය. එහිදී ඊට කලින් පුවත්පත් වාර්තාවේ පැවති හිස් තැන් කිහිපයක් ද ඔහු පිරෙව්වේය. 2006 පෙබරවාරි 6 වැනි දා ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති රැස්වීමේ මූලාසනයේ සිටියේ ගෝඨාභය රාජපක්ෂ බව එහිදී ඔහු පෙන්වා දුනි.

මිග් යානා ගනුදෙනුව පටන් ගත්තේ ඒ රැස්වීමෙන් පසුව ය. ඊට උදයංග වීරතුංගත් සහභාගී විය. ඒ වන විට ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් රුසියාවේ සහ යුක්රේනයේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් පත්කොට තිබුණි.

Sep 23 text 3 1ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ එවිට කෙළේ, අපහාසයට රුපියල් බිලියනයක වන්දි ඉල්ලා ගල්කිස්ස දිස්ත්‍රීක් අධිකරණයේ නඩු පවරන බවට ලසන්ත වික්‍රමතුංගට තර්ජනය කිරීමයි. ලසන්ත වික්‍රමතුංගගේ ප්‍රතිචාරය වුණේ, එසේ වුවහොත්, තමාට කරන ලද අපහාසයට ආරක්ෂක ලේකම්වරයාගෙන් රුපියල් බිලියන දෙකක වන්දි ඉල්ලා නඩු පවරන බවයි.

රාජපක්ෂගෙන් එවැනි වැඩි වන්දියක් ඉල්ලා නඩු පැවරීමට අදහස් කරන හේතුව ලසන්තගේ නීතිඥවරයා ගෝඨාභයගේ නීතිඥයාවරයාට ලියා දන්වා සිටියේ මෙසේ ය: ‘‘මගේ සේවාදායකයා ඔබේ සේවාදායකයාගෙන් වැඩි වන්දියක් ඉල්ලා සිටීමට හේතු වන්නේ, මගේ සේවාදායකයා එක දිගටම මේ රටේ රැඳී සිටිමින් එහි අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන අතරේ ඔබේ සේවාදායකයා මේ රට අතහැර ගොස් ඇමරිකාවේ පුරවැසිය භාවය ලබාගෙන එරටට දේශප්‍රේමීව සිටින බවට දිව්රුම් දුන් පුද්ගලයෙකුත් වන නිසා ය.’’ අවසානයේදී ගෝඨාභය රාජපක්ෂ ‘ද සන්ඬේ ලීඩර්’ පුවත්පතට එරෙහිව අපහාසයට වන්දි ඉල්ලා නඩු පැවරීය.

මේ නඩුව විභාගයට ගැනීමට ටික දිනකට පෙරාතුව ලසන්ත වික්‍රමතුංග ඝාතනය කෙරුණි. එබැවින් ඊට මුහුණදීමට අවස්ථාවක් ඔහුට ලැබුණේ නැත. අනතුරුව, ‘ද සන්ඬේ ලීඩර්’ පුවත්පතේ අයිතිය මාරු විය. අලූතෙන් එම පුවත්පත මිල දී ගත් අයවළුන් ගෝඨාභය රාජපක්ෂට අදාළ ලිපි ඉල්ලා අස්කර ගනිමින් ඒ සඳහා ප්‍රසිද්ධ සමාවක් ඉල්ලා සිටීමට පොරොන්දු වීම හරහා අපහාස නඩුව බේරුමක් කර ගැනීමට සමත් විය.

කුප්‍රකට ‘බෙලිමිස්ස හෝල්ඩින්ස්’ හොර සමාගමක් !

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් මේ ගනුදෙනුව 2015 දී නැවත විභාග කිරීමට පටන් ගත් පසු, ඉහත කී කුප්‍රකට ‘බෙලිමිස්ස හෝල්ඩින්ස්’ සමාගම බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඞ් නැමැති දූපත් සමූහයේ පිහිටා ඇති හොර සමාගමක් බව සොයාගෙන තිබේ.

එක දිගටම එහි හිමිකාරීත්වය තිබී ඇත්තේ ටී. ඇස්. ලී නැමැත්තාට සහ ‘ඞී එස් එලයන්ස්’ නැමැති කූට කල්ලියටයි. මොවුන්ගේ බැංකු ගිණුමක් සිංගප්පූරුවේ ඇති බවත්, ‘ඞී එස් එලයන්ස්’ සමාගමේ ගිණුමකුත් ඒ බැංකුවේම ඇති බවත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මේ වන විට සොයාගෙන තිබේ.

මේ අතර, යුක්රේන බලධාරීන් විසින් ද මේ මිග් යානා ගනුදෙනුව ගැන වෙනම පරීක්ෂණයක් දියත් කොට ඇත. එකී පරීක්ෂණවලින් සොයාගෙන ඇති පරිදි, ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාව සමග යුක්රේන ආණ්ඩුව කිසි ගිවිසුමකට එළඹ නැත.

කෙසේ වෙතත්, මේ ගනුදෙනුවේ ප්‍රතිඵලයක් වශයෙන් 2007 දී ලංකාවට ගෙන එන ලද මිග් ගුවන් යානා යුක්රේන ආණ්ඩුව විසින් ‘ඞී එස් එලයන්ස්’ සමාගමට විකුණා ඇත්තේ, එක ගුවන් යානයක් ඩොලර් මිලියන 1 ටත් අඩු මිලකට ය. අතරමැදි පිරිසක් ඒ මිල දෙගුණයකටත් වඩා වැඩි කොට ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාවෙන් එක ගුවන් යානයකට ඩොලර් මිලියන 1.4 ක මුදලක් තමන්ගේ සාක්කුවට දමාගෙන තිබේ.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් ප්‍රශ්න කරන ලද ගුවන් හමුදා නිලධාරීන් කිහිප දෙනෙකුම පෙන්වා දී ඇති පරිදි, ගෝඨාභය රාජපක්ෂ සහ උදයංග වීරතුංග නොවන්නට මෙවැනි ගුවන් යානා ගනුදෙනුවක් මොන විදිහකින්වත් නොපවතිනු ඇත.

දැනට, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ අනවරත ප්‍රයත්නයන්ට ස්තුතිවන්ත වන්නට, ‘ද සන්ඬේ ලීඩර්’ පුවත්පත මගින් එදා හෙළිදරව් කළ සියලූ තොරතුරු සත්‍ය බව ඔප්පු වී තිබේ. ඒ සමගම, මරණයෙන් පසුව වුව ලසන්ත වික්‍රමතුංගත් නිවැරදි බව ඔප්පු කොට තිබේ.

(colombotelegraph.com - 2019 ජනවාරි 6 වැනි දා ‘සන්ඬේ ඔබ්සර්වර්’ පුවත්පතේ පළවූ “Anatomy of the MiG Deal” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා)