Language Switcher

V2025

ග්‍රාමීය මට්ටමෙන් වැඩ්ම සංවර්ධනයක් සිදුකළේ මේ ආණ්ඩුවයි - අගමැති රනිල් 

මීට පෙර පැවැති ආණ්ඩුවලට ග්‍රාමීය මට්ටමින් මෙවැනි සංවර්ධනයක් සිදුකිරීමට හැකි වූයේ නැති නමුත්  වත්මන්  ආණ්ඩුව කෙටිකාලයක් තුළ සාමාන්‍ය ජනතාවට දැනෙන සංවර්ධනයක් ගම්මට්ටමින් සිදුකර තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

ඒ අනුව ඡන්ද මධ්‍යස්ථාන 15000 තුළ ව්‍යාපාර 15000 ට වඩා ආරම්භ කර තිබෙන බවත්  රටේ යටිතල පහසුකම් දියුණු කරමින් සංවර්ධන ක්‍රියාවලිය සීඝ්‍රයෙන් ඉදිරියට ගෙනැවිත් තිබෙන බවත් ඔහු පවසයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ බව සදහන් කර සිටියේ පූජාපිටිය නගරයේ පසුගියදා  පැවැති නව තැපැල් කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින්ය.

එහිදී රැස්ව සිටි පිරිස ඇමතූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.

පූජාපිටිය ප්‍රදේශයට අත්‍යාවශ්‍ය සම්පතක් වූ ස්ථීර තැපැල් කාර්යාලයක් ලබාදීමට අද අපිට හැකියාව ලැබුණා. හලීම් ඇමැතිතුමාගේ උනන්දුව මත මෙම ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ව සිටි කාලයේ සිටම හලීම් මැතිතුමා මෙම ප්‍රදේශය දියුණු කිරීමට ඉතා කැපවීමෙන් කටයුතු කළ බව කිව යුතුයි.

1977 දී හාරිස්පත්තුව ප්‍රදේශය දියුණු කිරීමට කටයුතු කළ හමීඩ් අමාත්‍යතුමන් සමග නියෝජ්‍ය ඇමැතිවරයෙකු ලෙස කටයුතු සිදුකිරීමට මට අවස්ථාව උදාවුණා. එම නිසා හාරිස්පත්තුව ප්‍රදේශය පිළිබඳව මට හොඳ අවබෝධයක් තිබෙනවා. විශාල මුදල් ප්‍රමාණයක් ආයෝජනය කරමින් එකල මෙම ප්‍රදේශ දියුණු කිරීමට හමීඩ් ඇමැතිතුමා ක්‍රියා කළ අයුරින්ම අද හලීම් ඇමැතිතුමා ද මෙම සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යනවා.

මෙම දියුණුව පූජාපිටියට පමණක් සීමා වූ දියුණුවක් නොවෙයි. සමස්ථ මහනුවර දිස්ත්‍රික්කය තුළම ග්‍රාමීය මට්ටමේ විශාල සංවර්ධනයක් අපි ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව යටිතල පහසුකම් වර්ධනය කරමින් ගම්වල දියුණුවක් ඇති කිරීමට අපි කටයුතු කරනවා. අලූත් ගොඩනැගිලි මෙන්ම මාර්ග පද්ධති දියුණු කරමින් "අයිරෝඩ්" ව්‍යාපෘතිය හරහා මාර්ග 100 ක් පමණ අපි ආරම්භ කර තිබෙනවා. ජල පහසුකම්, පොදු පහසුකම්, ගම්වලට වැඩි වශයෙන් ලබාදීමටත්, "ළගම පාසල හොඳම පාසල" ව්‍යාපෘතිය යටතේ පාසල් ගොඩනැගිලි ලබාදෙමින් ග්‍රාමීය අධ්‍යාපනය දියුණු කිරීමටත් අපි පියවරගෙන තිබෙනවා. එපමණක් නොව ග්‍රාමීය වශයෙන් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා ක්‍රියා කළා.

මීට පෙර පැවැති ආණ්ඩුවලට ග්‍රාමීය මට්ටමින් මෙවැනි සංවර්ධනයක් සිදුකිරීමට හැකි වූයේ නැහැ. නමුත් අපේ ආණ්ඩුව කෙටිකාලයක් තුළ සාමාන්‍ය ජනතාවට දැනෙන සංවර්ධනයක් ගම්මට්ටමින් සිදුකර තිබෙනවා. ඒ අනුව ඡන්ද මධ්‍යස්ථාන 15000 තුළ ව්‍යාපාර 15000 ට වඩා ආරම්භ කර තිබෙනවා. රටේ යටිතල පහසුකම් දියුණු කරමින් සංවර්ධන ක්‍රියාවලිය අපි සීඝ්‍රයෙන් ඉදිරියට ගෙනැවිත් තිබෙනවා.  

මේ තත්වය මත ඉදිරි වසර 5 තුළ අපගේ ප්‍රමුඛ අරමුණ වන්නේ රැකියා අවස්ථා වැඩි කරමින් පුද්ගල ආදායම ඉහළ නැංවීමයි. යටිතල පහසුකම් වර්ධනය කිරීම හරහා ලැබෙන සේවාවන් සමග ඉදිරියේදී රටේ අලූත් ආර්ථිකයක් ගොඩනැගෙනවා. අපි දැනටමත් ඒ සඳහා අවශ්‍ය පදනම දමා තිබෙනවා. එහි පළමු පියවර ලෙස යටිතල පහසුකම් වර්ධනය කිරීම තුළින් රටේ ශක්තිමත් අපනයන ආර්ථිකයක් ඇති කිරීමට අවශ්‍ය පියවර අප ගෙන තිබෙන බව කිව යුතුයි.

වඩාත් හොඳ රැකියා අවස්ථාවන් තරුණ තරුණියන් බලාපොරොත්තු වෙනවා. මෙම ප්‍රදේශවල දියුණුවත් සමග ඉදිරි වසර පහක කාලය තුළ සංචාරක ක්ෂේත්‍රයේ මෙන්ම, ස්වයං රැකියා සඳහා ද හොඳ අවකාශයක් ගොඩනැගෙනවා. අපි නිර්මාණය කර ඇත්තේ ඒ දියුණුව කරා යන මාර්ගයයි. මීට පෙර කිසිදු ආණ්ඩුවක් හරහා යටිතල පහසුකම් දියුණු කරමින් මෙවැනි බිම් මට්ටමේ සංවර්ධනයක් සිදුවූයේ නැහැ. අපි එම දියුණුව රටට ලබාදී තිබෙනවා. අපගේ ආණ්ඩුව ඇති කළ සංවර්ධන ක්‍රියාවලිය මගින් ඉදිරි වසර පහ තුළ රැකියා අවස්ථා වැඩි කිරීම අපගේ අරමුණයි.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රාවුෆ් හකීම්, රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය සහ පාර්ලිමේන්තු සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල, සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම්, නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක යන මහත්වරුන් ප්‍රමුඛ දේශපාලනඥයින් සහ තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්.මොහොමඩ්, තැපැල්පති රංජිත් ආරියරත්න ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද රැසක් සහභාගීවී සිටියහ.

04