Language Switcher

V2025

ගෝඨා යාපනයේ අධිකරණයට යන්න බයයි කියයි : ලලිත් - කූගන් නඩුවට අතුරු තහනමක් !

 
2011 වසරේ මානව හිමිකම් ක්‍රියාකාරිකයින් මෙන්ම ජවිපෙ දේශපාලනයේ නිරතවූ ලලිත් වීරරාජ් සහ  කුගන් මුරුගානන්දන් යන අය අතුරුදන්වීමේ සිද්ධියට අදාළව පැවැත්වෙන නඩු විභාගයක් සඳහා සාක්ෂි ලබාදීමට  ලබන 27 වන දා  පෙනී සිටින ලෙස යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම්  ගෝඨාභය රාජපක්ෂ වෙත නිකුත් කර ඇති නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝග නිකුත් කර ඇත.
 
ගෝඨාභය රාජපක්ෂ  විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ දීපාලි විජේසුන්දර සහ අචල වෙංගප්පුලි යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය නිකුත් කර තිබේ.
 
ගෝඨාභය රාජපක්ෂ  තම පෙත්සමෙන් සඳහන් කර තිබුණේ ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් යන අය අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර ඇති හෙබියස් කෝපුස් නඩුවට අදාළව සාක්ෂි දීම සඳහා තමාට මේ මස 27 වන දා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා එම අධිකරණය මගින් සිතාසි නිකුත් කර ඇති බවයි.
 
එහෙත් ආරක්ෂක හේතුන් මත තමාට එම  අධිකරණය හමුවට ගොස් සාක්ෂි දීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බව සඳහන් කරන ගෝඨාභය රාජපක්ෂ මහතා උතුරු නැගෙනහිර ප්‍රදේශයෙන් බැහැරව වෙනත් ප්‍රදේශයක පිහිටි අධිකරණයක සාක්ෂි දීම සඳහා තමන් සූදානම් බව ද සිය පෙත්සමෙන් පෙන්වා දී තිබේ.
 
මෙම පෙත්සම ඊයේ (24) අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී පෙත්සම්කරු විසින් ඉල්ලා සිටින අතුරු තහනම් නියෝගය සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බව රජයේ නීතිඥවරයා  අධිකරණයට දන්වා සිටියේය.
 
 ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය ගෝඨාභය රාජපක්ෂට සාක්ෂි දීම සඳහා මේ මස 27 වන දා පෙනී සිටින ලෙස දන්වා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කර ඇති නියෝගය ක්‍රියාත්මක කිරීම වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.