Language Switcher

V2025

අම්පාරේ ගියත් SP මාරපනගේ අගුණ නෑරේ : පොලිස්පතිතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි !

19 වන ව්‍යවස්ථා සංශෝධනය සමග ස්වාධීන පොලිස් කොමිසමක් ස්ථාපිතව ඇතත් සමහර පොලිස් ලොක්කන්ගේ අම්බරු හැසිරීම් හේතුවෙන් සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුවම අපකීර්තියට පත්වන බව රහසක් නොවේ.
 
මේ තත්ත්වය ඇතිවීමට මූලික හේතුව වන්නේ රටේ සිවිල් නීතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් කැපවී සිටින පොලිසියේ ඇතමුන් විසින්ම එය උල්ලංඝනය කිරීම නැතිනම් බලය අවභාවිත කර නීතිය නවන්න යාම නිසා බවත් අමුතුවෙන් කිවයුතු නැත.
 
මෙම කරුණේදීද ඇතැම් පොලිස් නිලධාරීන් කොතරම් නීති නවන සහ නීතියට පිටුපා කටයුතු කරනවාද කියතහොත් ඇතමුන්ගේ හැසිරීම් ඉතාම ලැජ්ජා සහගත සහ එකී නිල ඇඳුම ඇඳීමට තවදුරටත් සුදුසුද යන ප්‍රශ්නය මතු කරයි. 
 
ඒ සිදුකරන නීති හෝ විනය විරෝධී කටයුතු සම්බන්ධව දඬුවම් ලැබූවත් දිගින් දිගටම විනය විරෝධී සහ නීති විරෝධී කටයුතු කරන තරම් ඇබ්බැහියක් පෙන්නුම් කරන නිසාය.
 
අම්පාරේ පොලිස් අධිකාරිගේ නිල රථය ගාල්ල  ඉමදූවේ ගරාජයක !
 
මාතර හිටපු පොලිස් අධිකාරි ජී.එච්. මාරපන ගැනත් ලැබෙන්නේ එවැනි තොරතුරුය.  ආසන්න සිදුවීම වන්නේ මේ වන විට විනය පරීක්ෂණයක් හේතුවෙන් අම්පාර වෙත ස්ථාන මාරුවක් ලබාසිටින ඔහු සිය නිල රථය  ගාල්ල ඉමදූව ප්‍රදේශයේ ගරාජයක අලුත් වැඩියා කරන්න සිදුවන තැනට වැඩහදා ගැනීමය.
 
වාර්තා වන ආකාරයට නම් අම්පාරේ සිට මේ ඉමදූව ප්‍රදේශය වෙත හැල්මේ එන්න තරම් , ඒ ඇවිත් එන්ජිම සීස් වන තැනට පත්කර ගන්න තරම් හේතුවක් මොහුට තිබී ඇත.
 
එහෙත් ඒ කොහෙත්ම රාජකාරි කටයුත්තක් සඳහා නම් නොවන බව තහවුරු කරන්නේ එන්ජිම ආශ්‍රිත අලුත් වැඩියාව කාටත් හොරා ගාල්ල ඉමදූව ප්‍රදේශයේ ගරාජයක රහසේ සිදුකරන්න කටයුතු යොදා තිබීමය.
 
නිල ඇඳුමත් ඉමදූවේ !
 
අප දන්නා ආකාරයට නම් පොලිසියේ රථවාහන හිතූ හිතූ ආකාරයට අරයාගේ මෙයාගේ ගරාජ් වල දමා අලුත් වැඩියා කටයුතු සිදුකළ නොහැකිය. අනෙක් අතට රාජකාරි නොවන කටයුත්තක් වෙනුවෙන් පැමිණි අවස්ථාවේ එවැනි තත්ත්වයක් ඇතිකර ගැනීමත් නොතකා සිටිය යුතු කරුණක් නොවේය.
 
ඊටත් වඩා නින්දිත කරුණ වන්නේ මේ පොලිස් අධිකාරිගේ නිල ඇඳුම ඉමදූව පොලිස් ස්ථානාධිපති ගේ කාර්‍යාලය තුළ දින කිහිපයක් තබා තිබීමය.
 
තමන්ට කොහෙත්ම අදාල නොවන ප්‍රදේශයක, කොහෙත්ම අදාල නැති ආකාරයට පොලිස් නිල ඇඳුම දමා ගියේ විශේෂ රාජකාරි කටයුත්තක් වෙනුවෙන්ද යන්නත් සොයා බැලීම වැදගත්ය. 
 
ඒ ගැනත් විවිධ කතා වාර්තා වන නමුත් ඒ ගැන ලිවීම අපේ ක්‍රමය නොවේ. මෙහිදී අප මතුකරණ කරුණ වන්නේ ජනතා බදු මුදලින් වැටුප් ලබන, නීතිය සහ සමාජ විනය රකින දිවුරුම් දී සිටින ආයතනයක තරු සහිත නිලයක් දරන්නෙකු දිගින් දිගටම නටන නාඩගම ගැනය. 
 
එසේම තවත් සිහිකළ යුතු වැදගත් කරුණක් ඇත. ඒ මේ වන විටත් සහකාර පොලිස් අධිකාරී (ගාල්ල iv) යූ.පී. සෙනවිරත්න සතු නිල නිවස  ජී.එච්. මාරපන මාතර පොලිස් අධිකාරි ලෙස කටයුතු කරන කාලයේ  බලහත්කාරයෙන් අත්කරගෙන ඇති බවට මේ වන විටත්  පොලිස්පති වෙත පැමිණිල්ලක් ලැබී තිබීමය. 
 

වාර්තා වන ආකාරයට මාතර පොලිස් අධිකාරිවරයා මෙසේ නිලනිවස බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇත්තේ ඔහුට හිතවත් උප පොලිස් පරීක්ෂකවරයෙකුට එම නිලනිවස ලබාදීම සදහාය.

ජී.එච්. මාරපන පොලිස් අධිකාරීවරයාට අම්පාරේ යන්න සිදුවූයේ අන්න එවැනි තුට්ටු දෙකේ හැසිරීමක් හරහා පොලිස් දෙපාර්තමේන්තුව කෝලම් මඩුවක් බවට පත්කිරීම නිසාය.

එහෙත් මේ පසුගිය දින වල ඉමදූව නාඩගම හරහා ඔහු ඔප්පු කර ඇත්තේ අම්පාරේ ගියත් මාරපනගේ අගුණ නෑරේ යන්නය. එබැවින් රටේ සිවිල් නීතිය ආරක්ෂා කර මහජන ආරක්ෂාව සහතික කරන  පොලිස් දෙපාර්තමේන්තුව මෙවැනි නිලධාරීන් ගැනත් විමසිල්ලෙන් සිටීම වැදගත් නැද්ද ? පොලිස්පති තුමනි, මේ ඔබේ අවධානය පිණිසයි..!