Language Switcher

V2025

මෛත්‍රී පොහොට්ටුවට පොල්ල තිබූ හේතුව මෙන්න !

ඉදිරි ජනාධිපතිවරණදී 'පොහොට්ටුවේ' අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ලබා දෙන බවටත්, ඒ සම්බන්ධයෙන් ඔක්තෝම්බර් 09 දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමටත්, අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවා එම තීන්දු තීරණ රට හමුවේ ප්‍රකාශ කිරීමටත් රාජපක්ෂ සොයුරන් හමුවේ එකඟවී ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඒ සියලු තීන්දු තීරණ පැය කිහිපයක් තුල දී හකුලා ගනු ලැබුවේ ඇයිද ? කියන කාරණය මේවනවිට දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහකට ලක්වෙමින් තිබේ.

ජනාධිපතිවරයා ඉහත කාරණා වලට එකඟත්වය පළකර තිබුනේ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්වීමට පෙර 'පොහොට්ටුවේ' ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ සමග සිදුකල සාකච්ජාවක දිය.  විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, 'පොහොට්ටු' පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මෙන්ම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල යන මන්ත්‍රීවරුන් ද එම අවස්ථාවට එක්ව සිටියේය.

ශ්‍රීලනිප සංවිධායකයින්ගේ බලපෑම !

Oct 06 Text 1කෙසේවුවද ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා, පෙරේදා (04) දිනයේ පක්ෂයේ ආසන සංවිධායකයින් කැඳවා ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ රහස් මතවිමසිමේ ප්‍රතිපල විමසා බැලූ අතර සංවිධායකයින් කිහිප දෙනෙකු හැර අන්සියලුදෙනාම පාහේ 'පොහොට්ටුව' සමග සන්ධානගතවීමට විරෝධය පළකර තිබිණ. 

පෙරේදා  (04) සවස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පැජට් පාරේ ජනාධිපති නිල නිවසේ දී රැස්වූ ශ්‍රීලනිප ආසන සංවිධායකයින් ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රීලනිපය ගත යුතු ක්‍රියාමාර්ගය ගැන සාකච්ඡා කර ඇති අතර එහි දී ප්‍රධාන ක්‍රියා මාර්ග 5 ක් පිළිබඳ මතය විමසා තිබේ.

කරුණු පහක් සංවිධායකයින් වෙත ලබාදී ඇති ජනාධිපතිවරයා, එම කරුණු සම්බන්ධයෙන් තම තමන් කැමති කාරණා  තුනක් අනුපිළිවෙලින් සඳහන් කරන්නැයි දැනුම්දී ඇත. එම කාරනා පහේ අන්තර්ගතය සැකෙවින් මෙසේය.

ඉදිරි ජනාධිපතිවරණයේදී,

1 ශ්‍රීලනිපයෙන් ජනාධිපති සිරිසේන ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතුය.
2 ශ්‍රීලනිපයෙන් වෙනත් අයෙකු ඉදිරිපත් කළ යුතුය.
3 පොහොට්ටු අපේක්ෂක ගෝඨා සමග සන්ධානයකට යා යුතුය.
4 පොහොට්ටු අපේක්ෂක ගෝඨා සමග සන්ධානයකට නොයා යුතුය.
5 ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය දිය යුතුය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචිමාර්ග පවසන්නේ තම පක්ෂය දේශපාලන තීන්දුවක් ගැනීම සඳහා මෙලෙස සංවිධායකයින් කැඳවා මතවිමසිමක් කරනු ලැබුවේ වසර 18කට පසුව බවයි.

ආසන සංවිධායකයින්ගේ තීරණය ප්‍රකාශ කරමින් ජනාධිපතිවරයා, ඒ සම්බන්ධයෙන් මධ්‍යම කාරක සභිකයින්ගේ මතය විමසා ඇත. එහිදී මධ්‍යම කාරක සභිකයින් බොහෝදෙනෙකු නොයෙකුත් අදහස් හා යෝජනා ඉදිරිපත් කර ඇති අතර අවසන් තීන්දුව ගැනීම ජනාධිපතිවරයා වෙත පවරා තිබිණ.

අද පෙරවරු 11.00ට ජනාධිපතිවරයාගේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම සඳහා මාධ්‍ය හමුවක් කැඳවන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයා theleader.lk වෙත ඊයේ (05) රාත්‍රී පැවසිය.

රුපවහිනී සජීවී විකාශයත් 'බකල්' !

අද දිනයේ තමන්ට වාසිදායක තීන්දුවක් ප්‍රකාශයට පත්වනු ඇතැයි බලාපොරොත්තුවෙන් යුතුව අද (06) පෙරවරුවේ පැවැත්වීමට නියමිත ශ්‍රීලනිප මාධ්‍ය හමුව 'දෙරණ' හා 'හිරු' නාලිකා ඔස්සේ සජීවී ලෙස විකාශය කිරීමට ද ගෝඨාබය රාජපක්ෂගේ සන්නිවේදන ඒකකය කටයුතු යොදා තිබිණ.

කෙසේවුවද ජනාධිපතිවරයා විසින් ගෝඨාබය රාජපක්ෂට සහය දැක්වීමේ තීන්දුව දින නියමයකින් තොරව කල් දැමීමත් සමග ඔහු විසින් රාජපක්ෂවරුන් 'පොහොට්ටු' පක්ෂය සැදීමට සුදානම් වන අවස්ථාවේදී දරු ස්ථාවරය පැහැදිලි කෙරෙන වීඩියෝවක් පහත වීඩියෝව මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

සබැඳි පුවත්:

ශ්‍රිලනිප තීන්දුව නාමයෝජනා ලබාදීමෙන් පසුව : විශේෂ මාධ්‍ය හමුවත් කල්දමයි !