Language Switcher

V2025

මේ ජනාධිපතිවරණයේදී පරාජය කළ යුත්තේ කාවද ? : පුරවැසි හඬ මෙන්න !

මෙවර ජනාධිපතිවරණයේදී  ප‍්‍රචණ්ඩ පුරුෂෝත්තමවාදී දේශපාලන බලය පරාජය කොට මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යා හැකි ආර්ථික සාධාරණත්වය ස්ථාපිත කළ හැකි, රාජ්‍යයේ සියළු ම ජනතාවට සමානාත්මතාවය දැක්විය හැකි රාජ්‍ය නායකයෙකු, ප‍්‍රජාතන්ත‍්‍රවාදී කදවුර දිනවමින් පත්කරගත යුතුව තිබෙන බව පුරවැසි හඬ සංවිධානය සඳහන් කරයි.

ඒ සඳහා රාජපක්ෂ කඳවුර පරාජය කිරීම අත්‍යාවශ්‍ය හා අනිවාර්යයෙන් ම කළ යුතු දෙයක් බව කිව ඉතිහාසය විසින්  පෙන්වා දී තිබෙන බවත්  මේ ජනාධිපතිවරණයේ දී නිදහසත් ජනවර්ග අතර සමගියත් පුද්ගල සමානාත්මතාවත් කොන් කරනු ලැබ ඇති සියයට හැටක් වූ අවිධිමත් ආර්ථික කටයුතුවල නියුක්තිකයන්ගේ සංවර්ධනයත් වෙනුවෙන් ඔබගේ වටිනා ඡන්දය භාවිත කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින බවත් පුරවැසි සංවිධානය වැඩිදුරටත් රටේ ජනතාවට දන්වා සිටියි.

පුරවැසි හඬ සංවිධානය මේ බව සඳහන් කරන්නේ විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි. 

"ආඥාදායක දේශපාලන කඳවුර පරාජය කිරීම සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කඳවුර දිනවීමේ ජාතික අවශ්‍යතාව" යන ශීර්ෂයෙන් නිකුත්කර ඇති එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.

2019 ජනාධිපතිවරණයේ උණුසුම පැතිරීමත් සමඟ නැවතත් ජනතා ගැළවුම්කරුවන්ගේ, සුපිරි වීරයන්ගේ, සෞභාග්‍ය උදාකරන්නන්ගේ සහ ධනවාදය පරාජය කරන වීරයන්ගේ උද්වේගකර කාතාවලින් දේශපාලන අවකාශය දුෂණය වූ පරිසරයකට අපි පැමිණ සිටිමු. වර්තමානයේ ලාංකේය රාජ්‍යය මුහුණපා තිබෙන සැබෑ අසීරුතා පිළිබඳ සාකච්ඡුාව  නිසරු ප‍්‍රලාපයන් හා බොරු පොරොන්දුවලින් වැසී ගොස් තිබේ. එක පැත්තකින් යහපාලන මූලධර්මයන්ට පහර ගැසීමත්  අනෙක් පසින් ආඥාදායක පාලකයෙකූ පිළිිබඳ භීතිකාව ජනතාවට සංනිවේදනය වෙමින් තිබීමත් නිරීක්ෂණය කළ හැකි ය. 

දේශපාලනයේ සැබෑ සත්‍යය කුමක් විය හැකි ද? යන ප‍්‍රශ්නය නැවත වතාවක් අප හමුවට පැමිණතිබේ. එසේම ඒ සඳහා පවතින විශාල න්‍යායික පිළිතුරු ප‍්‍රමාණයක් ද බොහෝ දෙනෙකු විසින් ගොනු කෙරෙමින් තිබේ. එවන් තත්වයක් හමුවේ පුරවැසියන් වශයෙන් රාජ්‍යය ගොඩ නැඟීමේ අභියෝගයට අප මුහුණ දිය යුත්තේ කෙසේද? මෙවර මැතිවරණයේ දී අපට තිබෙන ප‍්‍රධාන ම අභියෝග මොනවාද? ආදී ගැටළු කිහිපයක් පිළිබඳ ඔබගේ අවධානය යොමු කිරීමට හා ඒ සම්බන්ධ කතිකාවට දායක වීමට මෙම මාධ්‍ය නිවේදනය මඟින් අපේක්ෂා කරමු. මූලිකවම පවතින ජනප‍්‍රිය විග‍්‍රහයෙන් ඔබ්බට ගොස් යථාර්ථය සමඟ බද්ධවූ ව්‍යාපෘතියක් යෝජනා කිරීමට දායක කරගත හැකි කරුණු කිහිපයක් මෙහි දී ඉදිරිපත් කරමු.

ආර්ථික අර්බූදය !

මහබැංකුව වාර්තා කරන අන්දමට මෙම වසරේ (2019) ආර්ථික වර්ධන වේගය සියයට එකක් දක්වා (1.6%) අඩුවෙමින් තිබේ. මෙය ආර්ථිකයට හිතකර තත්වයක් නොවන බව බැලූබැල්මට පැහැදිළි ය. ආර්ථික වර්ධනය සියයට 5%ක්වත් නොමැති තත්වයක් යනු මෙරට ආර්ථිකය දුර්වල අඩියකට වැටුණු අවස්ථාවකි. මෙම දුර්වල ආර්ථිකය හා බැඳුණු හේතු මොනවාද? නිවැරදි ආර්ථික කළමනාකරණය, දේශපාලන නායකත්වය සහ ජාත්‍යන්තර ආර්ථික ප‍්‍රවණතාවයන් හැරුණු විට නිලධාරී තන්ත‍්‍රයේ වැරදි තීරණ, රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාවය සහ වංචා දුෂණ ආදී හේතු ගණනාවක් ඒ පිළිබඳව දැක්වීමට හැකි ය. 

මෙහිදී නව ලිබරල් ආර්ථික ප‍්‍රවණතාවයන් පිළිබඳ අධි තක්සේරුවකින් යුතුව දකින වාමාංශික දෘෂ්ටිවාදය විසින් පවතින ආර්ථික අර්බුදය පිළිබඳ ප‍්‍රමාණාත්මක හෝ රැුඩිකල් විග‍්‍රහයක් ඉදිරිපත් නොකරනු ලබන බව අපගේ මූලික විවේචනය යි. වමේ පක්ෂ හා දේශපාලන සංවිධාන සිය වෘත’ය සමිති හරහා පෙනී සිටිනුලබන්නේ අතිශය අකාර්යක්ෂම සහ නාස්තිකාර නිලධාරී තන්ත‍්‍රයක් ආරක්ෂා කිරීමට බව පැහැදිලි සත්‍යයකි. ජනතාවගේ අවශ්‍යතාවයන්ට කඩිනමින් ප‍්‍රතිචාර නොදක්වන, තම නිලය භාවිත කොට රාජ්‍යයේ වරප‍්‍රසාද භුක්ති විඳින නිලධාරී පංතියක් යනු නවලිබරල් රාජ්‍යයක අංගයක් නොව දුෂිත සුබසාධන ක‍්‍රමයක අතුරුවිපාකයක් බවත් අපගේ තර්කයයි. 

දිගින් දිගටම රාජ්‍යය සේවා අස්ථාවර කරමින් වැඩවර්ජන දියත් කරන විධායක ශේණියේ නියුතු වුවන්, පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහි නමුත් පෞද්ගලික රෝහල්වල සහ තමන්ගේ ම පෞද්ගලික ආයතනවලින් මුදල් උපයන වෛද්‍ය වෘතිකයන්, පර්යේෂණ නොකරන හෝ ජාතික හා අන්තර්ජාතික අදහස් අවකාශයට දායක නොවන විශ්වවිද්‍යාල ආචාර්යවරු ආදී ඉහළ වැටුප් ලබන පිරිස් සේම දේශපාලනය ව්‍යාපාරයක් කරගත් දේශපාලන පංතිය විසින් සාමාන්‍ය ජනතාව පීඩාවට පත්කරමින් ඔවුන්ගේ මුර්ත නිෂ්පාදනය සුරාකෑමට දායකවන බව කිසිදු වාමාංශික කණ්ඩායමකට ප‍්‍රතික්ෂේප කළ නොහැකි සත්‍යයකි. 
නවලිබරල්වාදය නමැති මුව හමට තඩිබාමින්, මේ සියළු දුෂිත පංතීන්ගේ අතකොළු බවට පත්වූ දේශපාලනයක් ගෙනයන වාමාංශය විසින් ධනවාදය පරාජය කොට රාජ්‍යය බලය ලබාගන්නා තෙක් මෙම තත්වයන්ට එරෙහිව යාමට ඔවුන්ට නොහැකිබව පවසමින් සැබෑ ප‍්‍රශ්න ම`ගහරිමින් සිටිති. එම තත්වය යටතේ අන්තවාදී ජාතිවාදය විසින් රාජ්‍යය ම ගිළගනු ලැබ ඇති බවද  අපට දැක ගැනීමට හැකිය.

රාජ්‍යය සේවය !

වර්තමාන රාජ්‍යය සේවයේ නියුතු ප‍්‍රමාණය ලක්ෂ පහළොවකට වැඩි ය. නමුත් රටට අවශ්‍යය වන්නේ ලක්ෂ අටක පමණ රාජ්‍යය සේවයක නිරත පිරිසක් පමණි. ඉන් පෙනී යන්නේ රාජ්‍යය සේවය දේශපාලන පොරොන්දු හමුවේ සහ අවසංවර්ධිත කර්මාන්තකරණය නිසා රැුකියා උත්පාදනය කරන මූලික මාධ්‍යය බවට පත්වී ඇති බවයි. 2018 මහබැංකු වාර්තාවට අනුව රාජ්‍යය සේවක වැටුප් සඳහා රුපියල් බිලියන 626 ක් ද විශ‍්‍රාම වැටුප්  සඳහා තවත් රුපියල් බිලියන 196 ක් ද අවශ්‍ය වෙයි. සමස්ත රාජ්‍යය ආදායමින් සියයට හතළිස් තුනක් වැටුප් ගෙවීමට වැයවන විට රාජ්‍යය සුභසාධනයට සහ රාජ්‍යයේ හව්හරණක් හෝ විධිමත් සේවා නියුක්තියක් නොමැති ලක්ෂ හැටපහකට අධික පිරිසක් සඳහා රාජ්‍යයට දැක්විය හැකි දායකත්වය සීමාවී තිබේ. එසේම ජාතික නිෂ්පාදිතයෙන් සියයට අනුවක් පමණ ණය ආපසු ගෙවීමට වැය කරන විට ශ‍්‍රී ලංකාව නැමති රාජ්‍යය පවතින්නේ කෙස්ද යන ගැටලූව යමෙකුට ඇතිවිය හැකි ය.

රාජ්‍යයේ ආර්ථික සහ දේශපාලන ක‍්‍රියාවලියෙන් ආන්තීකරණයට ලක්ව සිටින අවිධිමත්  ආර්ථික අංශයේ නියුතු ජනතාව පත්ව ඇති ආර්ථික අවිනිශ්චිතතාව සහ සමාජීය අගාධය මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූවන්, සමාජවිරෝධි ක‍්‍රියාවන්ට යොමුවුවන්, සහ නිසි පරිදි සේවානියුක්තියට ලක්නොවූ විශාල ශ‍්‍රමබලකාය මගින් ප‍්‍රකාශයට පත් වේ. ගොවියන්ගේ සහ ධීවරයන්ගේ නිෂ්පාදන යෙදවුම්වලින් විශාල වශයෙන් අතරමැඳියා සහ දේශපාලකයා ගසාකන විටත්, එම ජනතාව අතිවිශාල සමාජීය සහ මානසික අර්බුදයන්ට හසුවී සිටින විටත්, සමස්ථ තරුණ ශ‍්‍රමබලකායෙන් ලක්ෂ පහළොවකට වැඩි පිරිසක් ත‍්‍රීරෝද රථ රියදුරන් බවට පත්වී තම ශ‍්‍රමය නිවැරදිව මුර්ත නිෂ්පාදනයකට දායක නොකරන විටත් රටක ආර්ථිකය සංවර්ධනය වන්නේ කෙසේද යන්න ප‍්‍රහේලිකාවකි. 

මෙම තත්වය යටතේ ධනවාදයට  හෝ නවලිබරල්වාදයට සිදු කරන විවේචන වෙනුවට රාජ්‍යය උපරිව්‍යුහයට  අරක්ගත් නිලධාරී පන්තියට හා දේශපාලක තන්ත‍්‍රය පිළිබඳව විධිමත් විවේචනයක් එල්ල කරමින් එම තත්වයන් වෙනස් කළ යුතුව තිබේ. එය වමද දකුණද? යන යල්පැනගිය පැනයට එහා යන පරිවර්තනීය දේශපාලනයක් පිළිබඳ කතිකාවකි. එම දේශපාලන කතිකාව මතුපිටට ගෙන ඒම අපගේ අරමුණ යි.

දේශපාලන බලය සහ ජාතිවාදය !

වර්තමානයේ රාජ්‍යයේ දේශපාලන බලය අතිශයෙන් ම බිහිසුණු ජාතිවාදී ව්‍යාපෘතියක් සමඟ ගැටගැසී තිබේ. මූලික දේශපාලන බෙදුම් රේඛාව පවතින්නේ ජාතිවාදය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අතර මිස වම හෝ දකුණ අතර නොවේ. වාමාංශික සහ දක්ෂිනාංශික යන දෙපිරිස ම අඩුවැඩි වශයෙන් ජාතිවාදී කතිකාවේ ගොදුරු බවට පත් ව තිබේ. යුද්ධය නිසා ඇතිවූ විනාශය සිය බල ව්‍යාපෘතිය බවට පත්කරගත් පිරිසක් නිසා රාජ්‍යය තුළ ජනවර්ගයන් අතර විශාල අවිශ්වාසයක් ගොඩනැගී තිබේ. මෙවර ජනාධිපතිවරණයේ දී තීරණාත්මකම සාධකය බවට ජාතිය හා ආගම පත් ව ඇත්තේ ඒ පසුබිම තුළ යි. එ නිසා ප‍්‍රධාන අපේක්ෂකයන් සියලූදෙනා ම ප‍්‍රදර්ශනාත්මක ව ආගමික වතාවත්වල නියැලෙමින් සිටිති. නමුත් ගෝඨාභය රාජපක්ෂට බහුතර සිංහල බෞද්ධ කඳවුර තුළ වැඩි වශයෙන් පිළිසරණ සෙවීමට සිදු වීමෙන් පෙනී යන්නේ ඔහුගේ කඳවුර විසින් ප‍්‍රවර්ධනය කෙරුණු ජාතිවාදී කතිකාවේ ස්වභාවය විසින් ද්‍රවිඩ සහ මුස්ලිම් ජනතාව පත් ව ඇති භීතිකාවේ ස්වභාවයයි. 

ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් බහුතරය අතුරින් ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ ඉරණම ජාතිවාදය මගින් තීරණය වීමට නියමිත ය. එසේම රාජපක්ෂ කඳවුර විසින් සුළුජාතික ජනතාව වෙතට එල්ලකොට ඇති තර්ජනයේ ස්වභාවය නිසා ම ඔවුන් එම ජනතාව වෙතින් ප‍්‍රතික්ෂේප විය හැකි ය. නමුත් සිංහල දේශපාලන කඳවුර විසින් සජිත් පේ‍්‍රමදාස වැනි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණවලට පක්ෂ අපේක්ෂකයකු දෙවන තැනට පත්කළහොත් ඉන්පසු ෆැසිස්ට් පාලකයකු බලයට පත්වීම වැලැක්විය නොහැකි වනු ඇත.

අප විසින් යෝජනා කරන රාජ්‍ය නායකයා !

අප විසින් යෝජනා කරන රාජ්‍ය නායකයා මානව අයිතිවාසිකම්වලට ගරු කළ යුතු ය. දේශපාලන බලය අවභාවිත නො කරන අයෙක් විය යුතු ය. ව්‍යවස්ථාවට අනුව පාලනය කරන නීතියේ ආධිපත්‍යය ගරු කරන, නිදහස හා මිිනිස් අයිතිවාසිකම් රකින හා දැනට ඇති අවකාශ වඩා වර්ධනය කරන අයෙකු විය යුතු ය. 2015 ලබාගත් දේශපාලන ජයග‍්‍රහණ ආපසු හරවන පාලකයෙකු අපට අවශ්‍ය නැත. අපට අවශ්‍ය වන්නේ සියළුම ජාතීන්ට එක සේ සැලකිය හැකි සුළු ජාතීන්ට සවන් දෙමින් ඔවුන්ගේ අයිතීන් ගරු කරමින් ආගමික සහ ජාතික වශයෙන් රාජ්‍ය නොබෙදන රාජ්‍ය නායකයෙකි.

එනිසා අප ඉදිරියේ පවතින්නේ ප‍්‍රචණ්ඩ දේශපාලන සංස්කෘතිය වෙත ආපසු යනවාද? නැතිනම් ප‍්‍රචණ්ඩත්වයට පුරුෂෝත්තමවාදයට මිලිටරිකරණයට එරෙහි  රාජ්‍ය නායකයෙකුපත් කර ගන්නවා ද යන ගැටලූව යි. ස්ත‍්‍රීන්ට සමතැන ලබා දෙන, පුරුෂෝත්තමවාදයට ඉඩ නොතබන රාජ්‍ය නායකයෙකු බිහි කර ගන්නවා ද යන ප‍්‍රශ්නය අද දවසේ අපගේ දේශපාලන න්‍යාය පත‍්‍රයේ ඉහළින් ම පවත’.  රාජ්‍යයේ දේශපාලන බලය සාධාරණ අයුරින් පාවිච්චි කළ හැකි නායකයෙකුු බිහි කර ගැනීමේ අපේක්ෂාව අපට තිබේ. 

ප‍්‍රචණ්ඩ දේශපාලන සංස්කෘතිය !

ඉදිරිපත් ව ඇති ප‍්‍රධාන අපේක්ෂකයන් අතුරින් ගෝඨාභය නියෝජනය කරනුයේ ප‍්‍රචණ්ඩ දේශපාලන සංස්කෘතිය යි. සමූල ඝාතන, කෲර වදහිංසා, අවමන්සහගත සැලකීම් අතුරුදහන් කිරීම් වැනි දේශපාලන බලය අවභාවිත කිරීම පිළිබ`ද ඉතිහාසයක් ඔහුට ඇත. ඔහුගේ දේශපාලන භාවිතය සපුරාම මිලිටරිකරණය වූ පුරුෂෝත්තමවාදී ප‍්‍රවේශයක් ගන්නා බව පැහැදිලි ය. එනිසා එම ප‍්‍රචණ්ඩ පුරුෂෝත්තමවාදී දේශපාලන බලය පරාජය කොට මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යා හැකි ආර්ථික සාධාරණත්වය ස්ථාපිත කළ හැකි, රාජ්‍යයේ සියළු ම ජනතාවට සමානාත්මතාවය දැක්විය හැකි රාජ්‍ය නායකයෙකු, ප‍්‍රජාතන්ත‍්‍රවාදී කදවුර දිනවමින් පත්කරගත යුතු ව තිබේ. ඒ සඳහා රාජපක්ෂ කඳවුර පරාජය කිරීම අත්‍යාවශ්‍ය හා අනිවාර්යයෙන් ම කළ යුතු දෙයක් බව කිව ඉතිහාසය විසින් අපට පෙන්වා දී තිබේ. මේ ජනාධිපතිවරණයේ දී නිදහසත් ජනවර්ග අතර සමගියත් පුද්ගල සමානාත්මතාවත් කොන් කරනු ලැබ ඇති සියයට හැටක් වූ අවිධිමත් ආර්ථික කටයුතුවල නියුක්තිකයන්ගේ සංවර්ධනයත් වෙනුවෙන් ඔබගේ වටිනා ඡන්දය භාවිත කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

මෙයට විශ්වාසී ,
සම කැඳවුම්කරුවන්
ආචාර්ය අතුලසිරි සමරකෝන් - 0712279246
කථිකාචාර්ය චින්තක රණසිංහ - 0718015838
ප්‍රධාන සංවිධායක ආයුර්වේද වෛද්‍ය පාලිත ශ‍්‍රී ගීගනගේ - 0775400006