Language Switcher

V2025

නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට හූ විතරයි : ගෝලයන්ට කන්නත් නැති වෙයි !

ජනාධිපතිවරණය අවස්ථාවේ පොදුජන පෙරමුණට සහයදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව සඳහන් වුවත් එය නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ මතය පමණක් වන තත්ත්වයක් උද්ගතව ඇති බව වාර්තා වෙයි.

විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩාර්ලි පාරේ පිහිටි මුලස්ථානය පවා පොදුජන පෙරමුණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ කටයුතු සඳහා සහය නොදෙන තැනකට පත්ව තිබේ. 

එසේම එහි කාර්ය මණ්ඩල සාමාජිකයන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ස්ථාවරය ගෙන ජනාධිපතිවරණය අවස්ථාවේ නිර්පාක්ෂිකවීමට තීන්දුකර ඇති බවත් දැනගන්නට ඇත. 

ඒ නිසා මේ වන විට ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සම්බන්ධීකරණ නිලධාරීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන්ට සිය කටයුතු කරගෙන යාමට ස්ථානයක් පවා අහිමිව ඇති අතර ඊට විකල්පයක් ලෙස පසුගිය දිනවල  නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ගලගොඩ අත්තේ ඥානසාර හිමිගේ පන්සල ආසන්නයේ ස්ථානයක් ගෙන එහි සිට මැතිවරණ කටයුතු සිදුකිරීමට සලස්සවා ඇත.

එහෙත් මේ වන විට ලැබී ඇති ආරංචිමාර්ග සඳහන් කරන්නේ එම ස්ථානයේ සිටින නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ කාර්ය මණ්ඩල සාමාජිකයන්ට තේ පානය තබා හරිහැටි ආහාර වේලක්වත් නොලැබෙන තත්ත්වයක් හේතුවෙන් බරපතල දුෂ්කරතාවයට පත්ව සිටින බවයි. එබැවින් ඔවුන්ගේ කාර්ය කටයුතු රැසක් ඇණහිට ඇති බවත් වාර්තා වෙයි.

මේ අතර පසුගියදා සිය මාධ්‍ය ඒකකයේ නිලධාරීන් කැඳවා ජනාධිපති සිරිසේන දන්වා ඇත්තේ මාධ්‍ය ඒකකය සතු කිසිවක් පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂකයාගේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ලබා නොදෙන ලෙසයි. මැතිවරණය ආසන්න වන විට විවිධ පුද්ගලයන් එම භාණ්ඩ හෝ වෙනත් පහසුකම් ඉල්ලා පැමිණිය හැකි බවත් ඒ කිසිවෙකුට ඒවා ලබාදීම ජනාධිපතිවරයා තහනම් බව දන්වා ඇති බවත් එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.

වඩාත් අනුවේදනීය සිදුවීම වන්නේ එක් පසෙක මර බිය සහ තනතුරු වරදාන අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පොදුජන පෙරමුණේ මැතිවරණ වේදිකාව මත පාක්ෂිකයන්ගේ හූ තැබීම් නින්දා අපහාස වලට ලක්වන විට ඔවුන්ගේ ගෝලයන් හාමතේ උන්හිටි තැන් නැතිව වැටෙන තැනකට පත්ව තිබීමය.