බණ්ඩාරනායක ප්‍රතිපත්තිය සමඟ සමාජ විප්ලවයක් : සජිත්ගෙන් ප්‍රතිඥාවක් !

බණ්ඩාරනායක ප්‍රතිපත්තිය සමඟ සමාජ විප්ලවයක් : සජිත්ගෙන් ප්‍රතිඥාවක් !

මිනිසාගේ පරම යුතුකම මිනිසා ජීවත් කරවීමයි යන බණ්ඩාරනායක මැතිතුමාගේ ප්‍රකාශය මුළික කරගනිමින් ජනතාවට සේවය කරන පාලනයක් සහිත යුගයක් බිහි කරනවා යැයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු ඒ බව පවසා ඇත්තේ  ඊයේ (01) නව දේශයක දේශපාලන ගිවිසුම ජනගත කිරීමේ අවස්ථාවට එක් වෙමින්ය.

කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ පැවැති මෙම උත්සවයේදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි ශ්‍රී ලංකා කදවුර ඇතුළු පක්ෂ ගණනාවක් නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ සමග සන්ධානගතවීම වෙනුවෙන් ගිවිසුමට අත්සන් තබනු ලැබූ අතර එම උත්සවයේදි වැඩිදුරටත් අදහස් දැක්වූ නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මෙසේද පවසා තිබේ.

විනීත රාජ්‍ය පාලනයක් වෙනුවෙන් ප්‍රතිඥාවක් !

රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය, සංවර්ධනය, සෞභාග්‍ය, සමාජ සාධාරණත්වය, යුක්තිය ස්ථාපනය කිරීමේ මහා දේශපාලන ගමනේ තවත් වැදගත් පියවරක් සනිටුහන් කරන අවස්ථාවක්. එක්සත් ජාතික පෙරමුණ ඇතුළු පක්ෂ රැසක් වගේම හිටපු ජනාධිපතිනිය ප්‍රමුඛ එම පාර්ශවයත් එකට එක් වි රටේ විනීත රාජ්‍ය පාලනයක් යුක්ති ගරුක, ගුණ ගරුක ජන සමාජයක් නිර්මාණය කිරිම සදහා අද ප්‍රතිඥ දෙනවා. මෙහි අරමුණ අපේ මාතෘභුමිය තුළ රටේ ඒකීයභාවය, ස්වරිත්වය, භෞමික අඛණ්ඩතාවය සුරකිමින් බුද්ධාගමට ප්‍රමුඛතාවය ලබා දෙන අතර සෙසු ආගම් හා සෙසු ජාතීන් ආරක්ෂා කර ගනිමින් රට සැබෑ සෞභාග්‍යක් කරා ගෙන යාමයි.

මෙම ගමනේදි කෘතහස්ත රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරන්නට අපි සියලු දෙනා සැදි පැහැදි සිටිනවා. අප මාතෘභුමිය සීග්‍ර ආර්ථික සංවර්ධනයකට යොමු කරමින් සංවර්ධනයේ සහ සෞභාග්‍යයේ ප්‍රතිලාභ ජන සමාජයේ සියළු ස්ථරයන්ට යුක්ති ගරුකව සාධාරණව බෙදී යාමේ අවස්ථා උදා කර දෙනවා. එමගින් රට ශක්තිමත් කොට ජන සමාජය දියුණු කරනවා.

රටේ සැමට නීතිය එක හා සමානව !

මේ ගමන සමාජ ප්‍රජාතන්ත්‍රවාදය කේන්ද්‍රකරගත් ගමනක්. මේ ගමන රටේ සියළු ජන කොට්ඨාශවලට යුක්තිය ඉෂ්ට කරන ගමනක්. රටේ සියලු දෙනාට උත්තරීතර නීතිය එක හා සමානව ක්‍රියාත්මක කරමින් සමාජ, දේශපාලන, සංස්කෘතික සමානාත්මතාවය තුළින් මේ රටේ පොදු ජනතාවගේ මානව අයිතිය සුරක්ෂා කරමින් රට දියුණුව කරා ගෙන යන ගමනකටයි අපි සියලු දෙනා එකතු වි සිටින්නේ.

අපේ අරමුණ දැනුම කේන්ද්‍ර කරගත් ආර්ථිකයක් නිර්මාණය කිරීමයි. ජන සමාජය තුළ උගතුන් බිහි කරන, පාසල් යන දුවා දරුවන් ශක්ති සම්පන්න පුරවැසියන් බවට පරිවර්ථනය කරන ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය පරිවර්තනීය යුගයක් ආරම්භ කරන්නයි අපි මේ සුදානම් වන්නේ. ඒ වගේම දැනුම කේන්ද්‍ර කරගත ආර්ථිකය තුළ අපනයන කේන්ද්‍ර කර ගත් ආරර්ථිකයක් හදනවා. අපනයන කේන්ද්‍ර කරගත් ආර්ථික සංවර්ධන රටාවක් අපි නිර්මාණය කරනවා. අපනයන කේන්ද්‍ර කර ගත් ආර්ථික වර්ධනය මේ රටේ ඩිජිටල් හා කර්මාන්ත විප්ලවයක් හරහා නිර්මාණය කරන්නට අපි කටයුතු කරනවා.

රටේ පුරවැසි පරපුර ජවසම්පන්න කරන ගමනක්  !

රට තුළ තිබෙන කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය, සම්ප්‍රදායානුකූල කර්මාන්ත ක්ෂේත්‍රය, නවීන තාක්ෂණය හා රජය මැදිහත් වූ සුබසාධනය තුළ තවදුරටත් ශක්තිමත් කරනවා. අපේ වැඩපිළිවෙල තුළ ප්‍රතිලාභ ලැබෙන්නේ අපේ ජනතාවටයි. පවුල කේන්ද්‍ර කරගත් පවුලේ සාමාජිකයන් කේන්ද්‍ර කර ගත් රටේ පුරවැසි පරපුර ජවසම්පන්න කරන ගමනක් අපේ වැඩසටහන තුළ අපි ක්‍රියාත්මක කරනවා. අපේකම, ගමේකම, රටේකම, නගරේකම අපේ සංස්කෘතිය සභ්‍යත්වය සුරකිමින් ශිලාචාර ශිෂ්ඨ සම්පන්න ජනසමාජයක් අපි ගොඩ නගනවා. දුෂණයෙන්, වංචාවෙන්, හොරකමෙන්, ප්‍රොඩාවෙන්, මුසාවෙන්, මුලාවෙන් තොර රටට යහපත් ජනතාවට සෙතක් සැලසෙන රාජ්‍ය සේවයක් අපි ඇති කරනවා. අපි හොදින් හදුනාගෙන තිබෙනවා ජනතාව ලබා දෙන මේ භාරකාරත්වය තාවකාලික දෙයක් බව. තාවකාලික බාරකරත්වය අපි පණමෙන් සුරකිමින් ජනතාව අප කෙරෙහි තබන විශ්වාසය පරම පවිත්‍රභාරකාරත්වය හද පත්ලෙන්ම අපි සුරකිනවා.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තින් සුරකින රටේ සුවහසක් ජනතාවට සෙත සැලසෙන පරාර්ථකාමී රාජ්‍ය සේවාවක් රාජ්‍ය පාලනයක් අපි දියත් කරනවා. මේ රටේ බදු ගෙවන්නන්ගේ අරමුදල්වලින් ලබා ගන්නා වූ රාජ්‍ය ආදායම රටේත් ජනතාවගේත් සුබ සිද්ධිය උදෙසා කැප කරන්නට ආයෝජනය කරන්නට අපි සැදී පැහැදි සිටිනවා.

බණ්ඩාරනායක ප්‍රතිපත්තිය පෙරට !

අපේ ප්‍රධානතම ඉලක්කය මිනිසා ජිවත් කරවීමයි. මිනිසාගේ පරම යුතුකම මිනිසා ජීවත් කරවීමයි. දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩි බණ්ඩාරනායක මැතිතුමාගේ එම උතුම් වදන අදටත් ලංකාවේ පමණක් නොව ලොව පුරා රැව් පිළිරැව් දෙනවා. මේ උතුම් අවස්ථාවේ අපේ අරමුණ සහ බලාපොරොත්තුව මේ රට සෞභාග්‍ය සම්පන්න සශ්‍රීක වූ උතුම් ගුණධර්මයන් තුළින් පෝෂණය වූ ශක්තිමත් රාජ්‍යක් බවට පත් කිරීමයි.

අපේ රජය තුළ ජාතික අවශ්‍යතාවය පමණක් කේන්ද්‍ර කරගත් ක්‍රියාදාමයන් අපි ක්‍රියාත්මක කරනවා. දේශීය හා ජාත්‍යන්තර වශයෙන් අපගේ සියළුම ක්‍රියාකාරකම් අපි ක්‍රියාත්මක කරන්නේ රටේ උන්නතිය තකායි. රටක් ලෙස ශක්තිමත් කශේරුකාවකින් ලෝකයත් සමග ගණුදෙනු කරමින් රටට ප්‍රතිලාභ අත් වෙන දේ කරන්න අපි කැප වී සිටිනවා. මොනව අයුරකින්වත් රටට වින කරන, රට පාවා දෙන, රටේ ජාතික අවශ්‍යතාවය කෙලෙසන කිසිම ක්‍රියාමාර්ගයකට අපි අවතිර්ණ නොවන බව අපි ප්‍රකාශ කරනවා.

කාන්තාව කේන්ද්‍ර කරගත් සංවර්ධන විප්ලවයක් !

මේ ව්‍යයාමය හරහා රට තුළ ඇගට පතට දැනෙන හරාත්මක ගුණාත්මක සංවර්ධන රටාවක් තුළින් අපේ මාතෘභූමිය සැබවින්ම සෞභාග්‍ය සම්පන්න කරනවා. ඒ නිර්මාණය වන සෞභාග්‍ය රට තුළ ජිවත් වන ගොවි, කම්කරු, ධීවර, දුප්පත්, සුළු, මධ්‍යම පාන්තික  රාජ්‍ය සේවයක යන හැම කොට්ඨාශයකටත් නූපන් දරුවාගේ සිට වැඩිහිටියා දක්වා දැවැන්ත සංවර්ධන යුගය දියත් කරන්න අපි සැදී පැහැදි සිටිනවා. තරුණ පරපුර කාන්තා පරපුර කේන්ද්‍ර කරගත් සංවර්ධන විප්ලවය හෙවත් පරිවර්තන යුගය බිහි කරන්න අපි කැප වෙනවා.

අද අත්වැල් බැදගත් සියලු පක්ෂ සමග එක්සත්ව එක්සිත්ව එකමුතුභාවයේ ශක්තිය තුළින් අපි අපේ මාතෘභූමිය දිනවනවා.

අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකිම්, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදින්, ජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨලි චම්පික රණවක , ඇතුළු පක්ෂ නායකයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න