මරණ තර්ජන කළ ශ්‍රී ලංකා තානාපති නිලධාරියා “බ්‍රිතාන්‍යයෙන් පන්නන්න”

මරණ තර්ජන කළ ශ්‍රී ලංකා තානාපති නිලධාරියා “බ්‍රිතාන්‍යයෙන් පන්නන්න”

බ්‍රිතාන්‍ය රාජ කුමාරයකුද කැඳවාගෙන ජයට නිදහස් දින සමරු පැවැත්වීමට විරෝධය පෑ දෙමළ උද්ඝෝෂකයන්ට ලන්ඩනයේදී ප්‍රසිද්ධියේ මරණීය තර්ජන කළ ජ්‍යෙෂ්ඨ ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරියකු රටින් පිටුවහල් කරන ලෙස සර්වපාක්ෂික මන්ත්‍රී කණ්ඩායමක් එරට විදේශ අමාත්‍යවරයාගෙන් දැඩි ලෙස ඉල්ලා තිබේ.

ලන්ඩනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ 70 වැනි නිදහස් සමරු උත්සව පැවැත්වෙන අවස්ථාවේ දෙමළ ජනතාවට එරෙහි පීඩනයට විරෝධය පාමින් එළියේ උද්ඝෝෂණයේ යෙදී සිටි සිය ගණනක් ඉදිරියට නිල ඇඳුමින් සැරසී ගුවන් හමුදා නිලධාරියකුද සමග පැමිණි දූත මණ්ඩල ආරක්ෂක පරිවාරක නිලධාරියා උගුර හරහා කිහිප වතාවක් දකුණතේ ඇඟිලි යවමින් ගෙල සිඳීම සංඥා කර දක්වනු වීඩියෝ පටයක්ද මන්ත්‍රීවරුන්‌ විසින් විදේශ අමාත්‍ය බොරිස් ජොන්සන් වෙත ලබා දී ඇත.

London Tamil independence day 2

“ආරක්ෂක පරිවාරක නිලධාරියා විරෝධතා කරුවන්ට මුහුණ ලා හිඳිමින් ගෙල හරහා කිහිප වතාවක් ඇඟිල්ල යවනු රූපගත කර තිබේ – එය අයකුගේ බෙල්ල කැපීමේ සලකුණකි – එය පැහැදිලිවම එහි සිටි දෙමළ ජනතාව බියගැන්වීමට ගත් උත්සාහයකි,” යි මරණ තර්ජනය හෙලා දකිමින් බ්‍රිතාන්‍ය විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩල කටයුතු භාර අමාත්‍ය බොරිස් ජොන්සන් ට තද ලිපියක් ලියන දෙමළ ජනතාව සඳහා වන සර්ව පාක්ෂික මන්ත්‍රී කණ්ඩායම අවධාරණය කර තිබේ.

අමුත්තාගේ නොමනා හැසිරීම

“මේ රටේ අමුත්තකු ලෙස නිල සේවයක යෙදෙන අයකු විසින් මේ විදහා දක්වා ඇත්තේ අයෝග්‍ය, නොමනා සහ තර්ජනාත්මක හැසිරීමකි,” යනුවෙන් ජොආන් රයන් සහ ශොවාන් මැක්ඩොනා ගේ අත්සනින් පෙබරවාරි 5 දා යවන ලද ලිපියේ සඳහන් වේ.

“මේ කරුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස්වරියට වහාම කරුනු දක්වා බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු ගේ තානාපති වරපත්‍ර අහෝසි කර පිටමං කරන ලෙස උදක්ම ඉල්ලා සිටිමු.”

London Tamil independence day

විරෝධතාවයේ යෙදුනු තමන්ට එරෙහිව කරන ලද බියගැන්වීම පිළිබඳව කරන ලද පැමිණිලි ගණනාවක් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අගනාගරික පොලිසිය පරීක්ෂණ අරඹා තිබෙන බව දෙමළ සහයෝගිතාව හා එක්ව විරෝධතාව සංවිධානය කළ දෙමළ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශකයකු ගගනට පැවසීය.

සේයා: Dhanuvintha

(radiogagana.com)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න