Language Switcher

V2025

පළමු මනාපය  අනුරට : දෙවැනි මනාපය ගෝඨාට විරුද්ධව  - ලාල් කියයි  (වීඩියෝ )

ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායකට ඡන්දය දීමට බලාපොරොත්තුවන යම් පුද්ගලයකු ගෝඨාබය රාජපක්ෂ ජයගනු ඇතැයි බියට පත්ව සිටිනම් අනුර කුමාර දිසානායක වෙනුවෙන් අංක 1 ලබාදී ගෝඨාබය රාජපක්ෂට එරෙහි අපේක්ෂකයකුට දෙවැනි මනාපය පාවිච්චි කරන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත සඳහන් කරයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් කාන්ත ඒ බව  සඳහන් කලේ පසුගියදා  ඇඹිලිපිටියේ පැවැත්වූ ජාතික ජනබලවේගයේ ජන රැලිය අමතමින්ය.
රට ගොඩනැගිය හැකි වැඩපිළිවෙලක් ඉදිරිපත් කර ඇත්තේ ජාතික ජනබලවේගය පමණක් බවද ඔහු එහිදී සඳහන් කර සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලාල් කාන්ත සහෝදරයා මෙසේද පැවසීය.
''අපේ කතා ගොඩක් නැහැ. අපි කරන්නේ මොකක්ද? ගියා ඡන්ද පත්‍රිකාව ගත්තා දොලොස් වෙනියට තියෙන්නේ මාළිමාව ලකුණ අපි ඉස්සරහින් ඡන්දේ ලකුණු කරා කතිරේ ගැහුවා.
 හැබැයි අපිට තියෙනවා ඡන්ද තුනක් අනුර සහෝදරයාට ඡන්දේ දෙන අය වෙන තර්ක විතර්ක නැතුව අනිත් ඔක්කෝම අතහැරලා දාලා එහෙන් මෙහෙන් කැලී මුකුත් නැතුව සම්පූර්ණයෙන් සුද්ද වෙලා යන අය කතා දෙකක් නැහැ අනුර සහෝදරයාට කතිරේ ගහනවා මාළිමාව ඉස්සරහින්. 
හැබැයි අපිට එහෙම නොවිච්ච අයත් ඉදලා හිටලා හම්බෙනවා ඔගෝල්ලන්ට හම්බෙනවද දන්නේ නැහැ. අපිට ඡන්දයක් දෙන්න ඔනේ ඒක තමයි දැන් මේ වෙනකොට කල්පනා කරන්නේ හැබැයි දෙන ගමන්ම කල්පනා කරනවා ගෝඨා එයිද නැත්නම් පොඩ්ඩක් හරි මිස් වෙලා අරයා එයිද? පොඩ්ඩක් හරි මේක  මිස් වෙලා අනිකා එයිද? ඔහෝම සාකච්ඡා තියෙනවා.
 අපිට කියන්න තියෙන්නේ මෙච්චරයි අපිට එක දීලා අනුර සහෝදරයාට එක දීලා මාළිමාවට එක දීලා එහෙම නැත්නම් කතිරේ ගහලා ඔය දෙක හරි තුන හරි කාට ගැහුවත් අපිට කමක් නැහැ. තමන් කැමති ඕන කෙනෙකුට ඒක ගහගන්න කියලා කියන්න කවුරු හරි එහෙම ඇහුවොත්. ඇහුවොත් විතරයි. 
එහෙම පොඩ්ඩක් දෙගෙඩියාවන් තියෙන අය ඉන්නවා අඩු වැඩි වශයෙන් ඉන්නවා. ඒ නිසා කියන්න අනුර සහෝදරයාට මාළිමාවට එක ගහලා ඔයා දෙක අරයට ඔනේනම් ගහා ගන්න නැත්නම් අනිත් කෙනාට ගහා ගන්න එයා පරද්දන්න ඔනේනම් මෙයාට ගහා ගන්න. මෙයා පරද්දන්න ඔනේනම් එයාට ගහා ගන්න. ඔන කෙනෙකුට ගහාගන්න.
 හැබැයි අපි ජනතාවට කියන්න ඔනේ අංක 1 අනුර දිසානායක සහෝදරයාට පාවිච්චි කිරීමෙන් තමයි ජාතික ජන බලවේගය ශක්තිමත්ව ඉදිරියට ගන්න ඒ ඡන්ද දායකයාට පුලුවන් වෙන්නේ . රටට අද මේ ව්‍යාපාරය අවශ්‍යයි. මං දැක්කා කවුද කියලා තියෙනවා කලා කරුවගේ නම කියන්නේ නැහැ රජයේ රස්සාවක් කරන කෙනෙක් ජාතික ජන බලවේගය තමයි මේ රට ගොඩගන්න තියෙන අවසාන ව්‍යාපාරය. වෙනත් ව්‍යාපාරයක් නැහැ. එහෙමන්ම් මගේ කතාව මන් අවසන් කරනවා ජාතික ජන බලවේගයට ජය වේවා. මාළිමාව ලකුණට ජය වේවා. අනුර කුමාරට ජය වේවා.''
විද්වතුන්ගේ වැඩි අවධානයක් !

මෙවර ජනාධිපතිවරණය පසුගිය ජනාධිපතිවරණ සියල්ලට සාපේක්ෂව වෙනස් වටිනාකමක් අත්කරගෙන තිබෙන අතර ඒ  මනුෂ්‍ය ඝාතන, මූල්‍ය අක්‍රමිකතා, පැහැරගැනීම්, අතුරුදහන් කිරීම්, අවි ජාවාරම් ඇතුළු  අපරාධ සම්බන්ධව සෘජු සහ වක්‍ර චෝදනා රැසක් ඇති ගෝඨාභය රාජපක්ෂ මෙවර ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව තිබීම නිසාය.

අන්තවාදී සංවිධාන කිහිපයක සහය ඇතිව  විශ්‍රාමික හමුදා ජුන්ටාවක් සමඟ පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය අත්පත්කරගත් ඔහු, යම් ආකාරයකට ජනග්‍රහණය කළහොත් දරුණු  ෆැසිස්ට් පාලනයක් ඇතිවීමේ නියත අනතුරක් සම්බන්ධව විද්වතුන් රැසක් මේ වන විටත් පෙන්වාදී අවසන්ය. එවැනි පසුබිමක වාමාංශික මත දරන පිරිස් ද තම බලවේග ශක්තිමත් කරන අතරේ ෆැසිස්ට් ආඥාදායකත්වයක් ඇතිවීම පරාජය කිරීමේ සටනට සහභාගී වීම සාධනීය කරුණක් බව විද්වත් මතය වී තිබේ.

ජාතික ජනතා බලවේගයේ වගකීම - පුරවැසි හඬ දන්වයි !

මේ අතර ඒකාධිපතිවාදී සහ මිලිටරිවාදී නැඹුරුවකින් යුතු ගෝඨාභය රාජපක්ෂ කඳවුර පාරාජය නො කරන්නේ නම් අනාගතයේ දී ප‍්‍රධාන වශයෙන් ම අනතුරට ලක්විය හැක්කේ වම නියෝජනය කරන, යහපාලනයට ලැදි සහ නව ලිබරල් ඒකාධිපතිවාදී පාලනයකට එරෙහි බලවේගය බව පුරවැසි හඬ සංවිධානය පෙන්වා දෙයි.

නිවේදනයක් නිකුත් කරමින් පසුගියදා එම සංවිධානය මේ බව සඳහන් කර තිබු අතර එහි වැඩිදුරටත් මෙසේද දක්වා තිබිණ.

කොතරම් දුර්වලතා තිබුණ ද සජිත් පේ‍්‍රමදාස නියෝජනය කරනුයේ් ප‍්‍රජාතන්ත‍්‍රවාදී කඳවුර යි. එම කඳවුරේ ආර්ථික ප‍්‍රතිපත්තිය වෙනම කතා කළයුතු මාතෘකාවක් බව අපගේ මතය යි. නමුත් ආඥාදායක රාජපක්ෂ කඳවුර ඡන්ද බලයෙන් පරාජය කිරීමේ ඉහළ ම හැකියාව ඇත්තේ එක්සත් ජාතික පෙරමුණ කේන්ද්‍රකොටගත් කඳවුරට බව සක් සුදක් සේ පැහැදිලි ය. අනෙක් පසින් සජිත්ගේ කඳවුරට පිටින් වැඩෙමින් පවතින තෙ වැනි ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී කඳවුරක් ද පවතී. ඒ ජාතික ජනබලවේගය යි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය ආරක්ෂා කරන පිරිසක් ලෙස ඔවුන් ද විශාල අවධානයක් දැනට දිනා ගෙන ඇත. දුෂණයට සහ ජාතිවාදයට එරෙහි මැද පංතික ජනතාවගෙන් යම් ප‍්‍රතිශතයක් ඒ බලවේගය වටා එක් විය හැක්කේ සාම්ප‍්‍රධායික දේශපාලන කඳවුරු දෙක ම එපා වීම හේතුවෙනි. අනෙක් අතට තවත් බොහෝ නව ව්‍යාපාර ගණනාවක් ම මෙම ජනාධිපතිවරණයට තරග  කරන අතර ඒ අතුරින් ප‍්‍රමුඛතම කණ්ඩායම් ආමන්ත‍්‍රණය කරමින් සිටිනුයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පක්ෂ, ජාතිවාදයට හා පවුල්වාදයට එරෙහි ජන කණ්ඩායම්වලට යි.

කෙසේමුත්, සමස්ථයක් වශයෙන්, ගෝඨාභය රාජපක්ෂට එරෙහි බලවේගය කොටස් වශයෙන් බෙදී පවතින නමුත් එක් වී සාමූහික ව වැඩ කළහොත් රාජපක්ෂ කඳවුරේ ආඥාදායකත්වය බලයට ඒම වැලැක්වීමේ ශක්තිය එම කණ්ඩායම සතු බව ආසන්න අතීතයේ දී ම අවස්ථා රැසක දී සනාථ කොට ඇත. ඒකාධිපතිවාදී සහ මිලිටරිවාදී නැඹුරුවකින් යුතු ගෝඨාභය රාජපක්ෂ කඳවුර පාරාජය නො කරන්නේ නම් අනාගතයේ දී ප‍්‍රධාන වශයෙන් ම අනතුරට ලක්විය හැක්කේ වම නියෝජනය කරන, යහපාලනයට ලැදි සහ නව ලිබරල් ඒකාධිපතිවාදී පාලනයකට එරෙහි බලවේගය යි. ආඥාදායක පාලනයක මතුවීම තුළ පවතින අතිශය අන්තරාදායක බව හා භයානකකම තවදුරටත් අපි කෙටියෙන් පහත දක්වමු.